කල්පිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා මෙතෙක් අත්අඩංගුවට නොගත්තාට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

0
7

කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙතෙක්  සමත් වී නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි පොලිස් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

සිද්ධියට මුහුණ පා ඇති එම ආධුනික පොලිස් කොස්තාපල්වරිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිළි කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින්ද වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුව එහි විමර්ශන පැවරුණේ කටුපොත පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය වෙතයි.

අදාළ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම කාර්යංශයේ ස්ථානාධිපතිනිය පසුගිය ජනවාරි මස 29 වනදා කල්පිටිය පොලිස් ස්ථානයට ගියද එම ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර පිටව ගොස් තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් අසනීප නිවාඩු වාර්තා කළ කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 04 වනදා නැවත සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 07 වනදා කටුපොත පොලීසියේ නිලධාරී කණ්ඩායමක් නැවත කල්පිටිය පොලීසියට පැමිණ තිබුණා.

එහෙත් කටුපොත පොලීසියේ නිලධාරීන් පැමිණීමට සුළු වේලාවකට පෙර කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා නැවත වතාවක් අසනීප නිවාඩු වාර්තා කර ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ. 

චෝදනාවට ලක්ව ඇති පොලිස් ස්ථානාධිපතිවරයාව මීට මාස 05 කට පමණ පෙර උතුරු මැද පළාතට ස්ථාන මාරු කර තිබෙනවා.

ලිංගික සහ මූල්‍ය චෝදනා එල්ල වීම හේතුවෙන් පොලිස් කොමිසම විසින් පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කර තිබුණා.

කෙසේවෙතත් දේශපාලන සබඳතා මත එම පොලිස් ස්ථානාධිපතිවරයා මාසයක් පමණ කෙටි කාලයකදී සිය ස්ථානමාරුව අවලංගු කරගෙන යළිත් කල්පිටිය පොලිස් ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. 
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here