කර කර රසට හැපෙන Chicken Pockets පාන් වලින් හදමුද? – Sri News

0
15

රස කෑමක් කියන්නෙ බඩගින්න නිමන්න වගේම මනස සුවපත් කරන්නත් හොඳ විසඳුමක් කියල ඔබ දන්නවනේ.

රස කෑමක් රසවිඳින එක වගේම ඔබ අතින් හදන කෑමක් රසයි කියල අනික් අය කරන අගය කිරීම් වලටත් අපි බොහෝ දෙනෙක් කැමතියි.

ඒ නිසාම රසවත් අලුත් කෑම වර්ග පිළියෙල කරන්නත් ඒව අපේ ආදරණීයයන් සමඟ බෙදාගන්නත් අපි බොහෝදෙනෙක් කැමතියි.

අන්න ඒම අලුත් කෑම වර්ග හොයන ඔබට කර කර ගතියට හැපෙන රස මුසුවුනු bread chicken pockets (බ්‍රෙඩ් චිකන් පොකට්ස්) හදාගන්න විදිහ කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.

එහෙනම් මුලින්ම බලමු අපිට අවශය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

(05 දෙනෙක් සඳහා)

පාන් පෙති 10 ක්

බිත්තර ගෙඩි 02 ක්

බිස්කට් කුඩු

පිරවුම සඳහා –

සෝදා පිරිසිදු කරගෙන අඟලක පමණ ප්‍රමාණයට කොටු කපාගත් කුකුල් මස් 400 g ක්

රස අනුව, ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු

සෝස් සඳහා – (අත්‍යාවශ්‍යම නැත)

කෑලි මිරිස්

මයෝනීස් කොප්ප ½ ක්

තක්කාලි සෝස් කෝප්ප ¼ ක්

කුඩාවට කපාගත් සලාද කොළ (lettuce/ iceberg/ butterhead) 04 ක් පමණ

තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම පිරවුම සඳහා අවශ්‍ය කුකුල් මස් සූදානම් කරගමු.

ඒ සඳහා භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වූ විට කුකුල් මස් කැබලි ටික එකතු කරගන්න.

කුකුල් මස් කැබලි බැඳීගෙන එන විට රස අනුව මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් කුකුල් මස් කැබලි නැවත හොඳින් බැඳෙන තුරු තබා ලිපෙන් ඉවත්කර තබාගන්න.

ඊළඟට අපි bread pockets හදාගමු.

මුලින්ම පාන් පෙති වල වටේ ඇති දාරය කපා මැද කොටස වෙන් කරගන්න.

දැන් පාන් පෙති දෙක එක මත එක තබා රෝලින් පින් එකක් හෝ වෙනත් බෝතලයක් භාවිතා කර හොඳින් තුනී කරගන්න.

තුනී කරගත් පාන් පෙති දෙක උඩින් රවුම් පියනක් තබා වටේ කොටස ඉවත්කර මැද රවුම් හැඩය වෙන් කරගන්න.

දැන් රවුම් හැඩයේ පාන් 05 ක් ඔබට ලැබිලා ඇති.

වෙනම භාජනයට බිත්තර 02 ක් සහ ලුණු කුඩු බිඳක් එකතු කර හොඳින් කලවම් කරගන්න.

භාජනයක් ලිපතබා ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් එකතු කර රත්වීමට තබන්න.

දැන් සූදානම් කරගත් පාන් බිත්තර සාරු වල පොඟවා ඉන්පසු බිස්කට් කුඩු වල හොඳින් දවටා ගන්න.

රත්වූ තෙලට බිස්කට් කුඩු දවටාගත් පාන් දමා දෙපැත්ත හරවමින් රන්වන් පාට වනතුරු බැඳගන්න.

තෙලට දැමූ විට පාන් බෝල ලෙස පිම්බී බැඳෙන බව ඔබට දැකගන්න පුළුවන්.

Bread pockets නිමෙන තුරු සෝස් මිශ්‍රණය සාදාගමු.

වෙනම භාජනයක් ගෙන එයට මයෝනීස්, තක්කාලි සෝස්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් නිමී ඇති bread pockets සෙමින් දෙකට මැදින් කපාගෙන මැද සිදුර විවෘත කරගන්න.

පාන් පෙති වල ඇතුලට හොඳින් සෝස් ආලේප කරගන්න.

ඊට උඩින් සාදාගත් කුකුල් මස් සහ සලාද කොළ එකතු කරගන්න.

ඔබ කැමති නම් ගාගත් චීස් ස්වල්පයක්, මයෝනීස් හෝ තක්කාලි සෝස් උඩින් දාන්නත් පුළුවන්.

දැන් ක්‍රිස්පි රසට හැපෙන chicken bread pockets සූදානම් කරගෙන අවසන්.

ලස්සන වගේම රසට තේ වෙලාවට, රාත්‍රී කෑමකට වුනත් පිළියෙල කරගන්න පුළුවන් bread pockets වල ඇතුළත පිරවුම සඳහා මාළු, බිත්තර සහ අල වගේම එළවළු සලාදයක් වුනත් යොදාගන්න පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here