කරුණාවේ විශ්වීය මුද්‍රාව බඳු ලෝක නායකත්වයේ ආධ්‍යාත්මික මිණි පහණ – Sri News

0
11


ටිබෙට් දේශය සමග ශ්‍රී ලංකාවට ඇති සබැඳියාව වඩා පුළුල් ඉතිහාසයක් තෙක් නොවිහිදුණ ද ආසන්නතම වශයෙන් ටිබෙටය සමග අපට ඇති සමීපස්ථම සබඳතාව ටිබෙටයේ සිකීම් මහින්ද (එස්. මහින්ද) ස්ථවිරයාණන් වහන්සේ ය. ආගමික මෙන්ම ධර්ම ශාස්ත්‍රීය මාධ්‍ය ඔස්සේ විප්ලවීය නවෝදයක් වෙනුවෙන් ඇප කැප වෙමින් ප්‍රාණසම මෙහෙවරක යෙදුණු මහින්ද හිමියන් සේම, ලෝක නායකත්වය හමුවේ පරමෝත්කෘෂ්ටත්වයට පත් ආධ්‍යාත්මික නායකයාණන් වහන්සේ ලෙස විශ්වීය වශයෙන් සබහුමානිත ශුදාත්ම දලයි ලාමා නාහිමිපාණන් වහන්සේ සහ උන්වහන්සේගේ බෝධිසත්ව ගුණෝපේත ජීවන ප්‍රයාණය දෙස අධ්‍යනශීලිව බැලීමට වත්මන කාලෝචිත වටිනාකමක් ඇතැයි සිතීම වරදක් නැත.

ව්‍යවහාරික වර්ෂයෙන් 1935 දී ටිබෙටයේ අම්දෝ දිස්ත්‍රික්කයේ කුඩා දුගී ග්‍රාමයක ජන්ම ලාභය ලත් කුල කුමරුවන් වයස අවුරුදු 5ක් තරම් ළාබාල වියේදීම ටිබෙටයේ පාලකයා එනම් දලයි ලාමාවරයා බවට පත්වන්නට භාග්‍යවන්ත වන්නේය.

උන්වහන්සේ වයස අවුරුදු හයේදී අධ්‍යාපනය ආරම්භ කළ අතර වයස අවුරුදු 25 දී ගෙෂේ ලාරම්පා උපාධිය (බෞද්ධ දර්ශන පිළිබඳ ආචාර්ය උපාධිය) සම්පූර්ණ කළේය. වයස අවුරුදු විසි හතර වන විට දී උන්වහන්සේට ඩ්‍රෙපුං, සේරා සහ ගන්ඩන් යන පැවිදි විශ්වවිද්‍යාල තුනෙහිම අතිශයින්ම අභියෝගාත්මක මූලික පරීක්ෂණවලින් සමත් වන්නට හැකියාව ලැබුණි.

එකල ටිබෙටයේ සෑම වසරකම මුල් මාසයේදී පවත් වන්නට යෙදුනු වාර්ෂික Monlam Festival උත්සවය අතරතුර උන්වහන්සේ පෙනී සිටීමට නියමිත වූ සිය භික්ෂූ අධ්‍යාපනයේ අවසන් විභාගය ටිබෙටයේ අගනුවර වූ ලාසාහි ජොඛෑන් ආයතනයේ ද පැවැත්වුණු අතර උදය කාලයේදී තර්ක ශාස්ත්‍රය පිළිබඳ පරීක්ෂණය විද්වත් භික්ෂූන් වහන්සේ තිස් නමක් විසින් පවත්වන ලදුව පසුව දහවල් කාලයේදී සිදුකළ පරීක්ෂණයේදී උන්වහන්සේට මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව විද්වත් භික්ෂූන් වහන්සේ පහලොස් නමක් සමග විවාද කිරීමට සිදු වූ අතර, සවස් වරුවේ දී විද්වත් භික්ෂූන් වහන්සේ තිස්පස් නමක් සමග පැවිදි විනය පිළිබඳවත්, තවත් විද්වත් මණ්ඩලයක් විසින් පාරභෞතික විද්‍යාව පිළිබඳ උන්වහන්සේගේ දැනුම පරීක්‍ෂා කරන ලදී.

මේසා විශාල භික්ෂු ශාස්තෘන් වහන්සේලා පිරිසක් ඉදිරියෙහි පවත්වන ලද විභාගවලින් උන්වහන්සේට ගෞරව සම්මාන සහිතව සමත් වීමට හැකිවීම ද විශිෂ්ට නායකත්වයක ගැඹුර පිළිබඳ සඵත කරවන සුවිශේෂී සාධකයන් නව අවිවාදයෙන් පිළිගත හැකිය.

වයස අවුරුදු 15 දී ටිබෙටයේ දේශපාලනික නායකත්වය ද ලබාගන්නා උන්වහන්සේ අවාසනාවකට චීන ආක්‍රමණ හමුවේ, ටිබෙට් වැසියන්ගේම යහපත පිණිස ටිබෙටය හැරදා, කවදත් අසල්වැසි දේශයන්ට සහෝදරත්වයේ දෑත් දිගුකළ ඉන්දියාවේ රැකවරණය ලබාගැනීමට උත්සුක වන්නේය. එහිදී ඉන්දියාවෙන් අවස්ථානෝචිත රැකවරණය උන්වහන්සේට සේම අනුගාමික පිරිසට ද නොඅඩුව හිමිවීමත් සමග කාලානූරූපී වෙමින් ශක්තිමත්ව වර්ෂ 1959 සිට චීනය විසින් ටිබෙටය අත්පත් කරගැනීමට එරෙහි අවිහිංසාවාදී විරෝධයේ ප්‍රධානියා ලෙස එහිමියෝ අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ සේක.

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙරක් නොපෙනෙන ගුණ සමුදායෙන් සුපෝෂිත මහා දර්ශනය දැක අප මේ රුදුරු සසර කතරේ නිර්වාණය නැමැති ගමනාන්තය සොයා පියනගන්නෙමු. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශ්‍රේෂ්ට ප්‍රේමයේ නියමාරුත් සොයමින් අප උන්වහන්සේ අපට සමීප කළ ප්‍රේමයේ උත්තරීතරත්වය සේවිතව ජීවිතයේ සැබෑ සුවදායකත්වය සොයාගන්නෙමු. මේ ලෝ තලේ මිහිපිට අප දුටු වටිනාම සුධර්මතාවන් වූවේ ද බුදු හිමියන්ගේ යෝධ දර්ශනයත්, ජේසුතුමන්ගේ ශ්‍රේෂ්ට ප්‍රේමයත් ය.

එහෙයින් එවැනි ප්‍රතාපවත් වූ ද සාංසාරිකව ශ්‍රියාවන්ත වූ ද චරිත සොයමින් ලෝකය පුරාවට ගවේෂණාත්මක අධ්‍යනයෙන් සැරි සරනා අපට ආගමික, සමාජීය, දාර්ශනික, දේශපාලනික සහ කලා සංස්කෘතිකමය වශයෙන් ලොව නවෝදයක් උදාකළ චරිත සුචරිත මැද අප දක්නා විෂමාකාර චරිතයක් පිළිබඳ තව තවත් වර්තමානිකයන් පුළුල් කියැවීමක් ඇති කරගැනීම වටින්නේය.

මේ සලෝක ධාතුවේ ආධ්‍යාත්මික නායකයාණන් ලෙසින් අසංඛ්‍ය දන සමුදායක ගෞරවාදරය ලබනා අත්‍යුදාර ගෞර්වාර්හ දලයි ලාමා මහ නාහිමිපාණන් වහන්සේ 1989 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබන සේක. එමෙන්ම බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව වැනි විෂයන් පිළිබඳ ක්ෂේත්‍රික කෘති 100ට වැඩි සංඛ්‍යාවක් උන්වහන්සේ විසින් රචනා කොට පළ කර ඇත. එමෙන්ම මේ මොහොත වන විටත් ලෝකයේ උද්ගත පාරිසරික ගැටලු පිළිබඳ ලෝකයේ ප්‍රාමාණික විද්‍යාඥයන් සමගින් සාකච්ඡාවන් පවත්වන උන්වහන්සේ සෑම විෂයක් පිළිබඳවම සතු දැනුම පුදුම සහගත ය. දානය, පරිත්‍යාගය, අවිහිංසාව, අක්‍රෝධය වැනි සුපේෂල මෘදු කුසලතා මිනිසුන් වෙත සමීප කරවීමට උන්වහන්සේගේ ධර්ම ධූත මෙහෙවර ලෝ පසිඳු ය. ලොවක් ආදරය කරන මිනිසුන්, තාරකාවන් උන්වහන්සේ වටා එක්රොක් වෙමින් උන්වහන්සේට ආදරය කරන්නේ ද උන්වහන්සේ සතු වූ මහා අව්‍යාජ ගුණය නිසාවෙන්ම ය.

මා ඉහතින් සටහන් කළ බුදු හිමියන්ගේ යෝධ දර්ශනයත්, ජේසුතුමන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමයත් හැරුණු විට මා මෙලොව සුජීවත් කාලයේ අසා විඳ ඇති වටිනාම හරය වන්නේ දලයි ලාමා හිමිපාණන්ගේ කරුණා භාෂණයයි. උන්වහන්සේගේ ආගම සොබා දහම ය, භාෂාව කරුණාව ය. උන්වහන්සේගේ වේදිකාව කිසි කලෙක අහස උසට උස් වූයේ නැත, හේතුව උන්වහන්සේ නිති වැඩ සිටියේ ජන ගංගාවක් මධ්‍යයේ මේ මිහිතලයේම ය. පෘථග්ජන මනුසත හමුවේ උන්වහන්සේගේ උත්තුංග දර්ශනය, සරල බව, අල්පේච්ඡ බව සහ නිහතමානීත්වය බුදුන් දවස සිටි අසූමහා ශ්‍රාවකයාණන් වහන්සේලා පිළිබඳ අප අධ්‍යනයෙන් මවාගත් රූපකායන් ජීවමාන කරවන්නකි. කෙසේ නමුදු මේ උත්තුංග මනුෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ සියැසින් දැකගැනීමට නිමේෂයකුදු භාග්‍ය ලබාගැනීමේ මහත් බලාපොරොත්තු මම දල්වා සිටින්නෙමි.

අදටත් තම උපන් බිම වන ටිබෙටයට පා තබන්නට එතුමන්ට වරම් නොමැති වීම මහත් ඛේදයක් වුවත් අටලෝ දහමින් නොසැලී මහමෙරක් සේ අනන්ත ගුණ බෙලෙන් නැගී සිටින උන්වහන්සේ ටිබෙටය හැරයාමෙන් පසුව ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ධර්මසාලා නගරය ස්වකීය සදාතනික වාසස්ථානය බවට පත්කොට ගෙන වැඩ වසන සේක.

සුවහස් කල් සිය කරුණා භාෂණයේ වොරැදෙමින් වැඩවසන්නට දලයි ලාමා හිමිපාණන් හට සුඛායු පතමින්, එළඹෙන 6 වැනිදාට යෙදෙන 87 වැනි ජන්ම දිනය වෙනුවෙන් මගේ සුබාශිංසනය මේ සමග ගෙනෙමි !

අත්‍යුදාර ගෞරවාර්හ, කරුණා ගුණෝපේත, පූජනීය දලයි ලාමා මහ නාහිමියනි, හිතායු ! සුඛායු !! දීර්ඝායු !!!



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here