කරන්ට් කපපු වෙලාවක විදුලි බල මණ්ඩලේට බැණ බැණ ඉන්නවට වඩා කරන්න පුළුවන් දේවල්! – Sri News

0
5

මේ දවස් වල නොරොච්චෝලෙත් අවුල් ගිහින්, ඒ මදිවට වැස්ස ෂෙඩූල් එකත් අප්සෙට් ගහලා තියෙන්නේ. ඒ හින්දා ජලපෝෂක ප්‍රදේශ වලට වැස්ස නැතුව විදුලි බලාගාර රිම් එකෙන් දුවන්නේ. නියඟේ නිසා විදුලිබල පරිභෝජනෙත් වැඩියි. දැන් ඔය කරුණු කාරණා එක්ක කරන්න තියෙන්නේ මොකද්ද? ඒ තමයි පහුගිය දවස් ටිකේ වගේ හොරෙන් හොරෙන් කරන්ට් කපන්නේ නැතුව පිළිවෙලකට රටටම යම් වෙලාවකට කරන්ට් එක අත්හිටුවන එක. ඒ වෙලාවට අපි කරන්නේ මොකද්ද? විදුලි බල මණ්ඩලේටයි, දේශපාලකයන්ටයි, කැලෑ එළි කරන එවුන්ටයි, රටටයි, වැස්ස වලාහක දෙයියන්ටයි බණින එක. හැබැයි අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? එකක් තමයි ඉටිපන්දම් ටිකක් කඩෙන් ගෙනැල්ලා, භූමිතෙල් ටිකක් කඩෙන් ගෙනැල්ලා තියාගන්න එක. පරණ පැට්‍රෝල්මැක්ස්, භූමිතෙල් ලාම්පු එහෙම සුද්ධ බුද්ද කරලා තියාගන්න එක. චාර්ජ් කරන ලයිට් එහෙම තියෙනව නං කලින්ම චාර්ජ් කරගෙන තියාගන්න එක.

හැබැයි ඊට වඩා ප්‍රයෝජනවත් දේවල් තියෙනවා රෑට කරන්ට් කපපු වෙලාවට කරන්න. ඒ සමහර දේවල් මෙතුවක්කාලෙකට ජීවිතෙන් මග ඇරිච්ච දේවල් වෙන්නත් පුළුවන්.

 

කවද්ද අන්තිමට පොතක් කියෙව්වේ? මතකත් නෑ නේ. හැමෝම පොත් කියවන්නම ඕන කියලා නියමයක් නෑ තමයි. හැබැයි පොතක් පතක් කියවන එක හොඳ පුරුද්දක්. ගොඩක් දෙනෙක්ගේ පොත් කියවන පුරුද්ද ඈලියාවට ගිහිල්ලා තියෙන්නේ ටීවී එකයි, ස්මාට්ෆෝන් එකයි කම්පියුටර් එකයි නිසා තමයි. හැබැයි කරන්ට් නැති වෙලාවට ඔය තුනෙන් එකක්වත් නැහැනේ. අන්න ඒ නිසා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන හරි නරකද පොතක් පතක් කියෙව්වොත් ඒ වෙලාවට? ලයිට් එළියට හුරු වෙලා ලාම්පු එළියෙන් පොතක් කියවන එක පොඩ්ඩක් අමාරුයි කියලා දැනෙයි මුලදී. ඒත් ඉක්මනටම ඇහැ ලාම්පු එළියෙන් පොත් කියවන්න හුරු වෙයි.

 

අපි පොඩි කාලේ තිබුණා පොඩි බජව් සංස්කෘතියක්. ඒකට දැන් වගේ බෝතල් ඕන වුනේ නෑ කාටවත්. එක්කෝ ගෙදර අය වටවෙලා පැරණි රසාංග ගායනා කරනවා. එහෙම නැතිනම් යාලුවෝ සෙට් එක එකතු වෙලා අලුත් රසාංග ගායනා කරනවා. කරන්ට් එක ගියපු වෙලාවක හාත්පසම බොහොම නිස්කලංකයි. සිංදුවක් ගමේ මේ කොණේ කිවුවත් එහා කොණටම ඇහෙනවා. ඉතින් නරකද ගෙදර අම්මයි තාත්තයි අයියයි අක්කයි කීප දෙනාම එකතු වෙලා පොඩි පැරණි රසාංග රාත්‍රියක් කළොත්? හැබැයි ඉතින් හරක් දෙල් කොළ පාගන්නැහේ මේස වලට තඩිබාන්නවත්, ගැරඬි කකුල් කඩාගෙන දුවන්න සිංදු කියන්නවත් යන්නෙපා. ඊට වඩා තාලෙට, මාත්‍රාවට, හෙමිහිට සංගීත රසවින්දනයක් ලැබුවට කමක් නෑ.

 

කවදද අන්තිමට නිස්කලංකේ එළියට වෙලා රාත්තිරී අහස දිහා බලාගෙන හිටියෙ කියලා මතකද? ඇත්තටම මේ අපේ ජීවිතෙන් මග ඇරුණු පුංචි පුචි දේවල්. එළියේ පුටුවක් තියාගෙන වාඩි වෙලා, එහෙම නැතිනම් බිම වාඩිවෙලා තරු විසුල රාත්‍රී අහස දිහා බලාගෙන ඉන්න එක භාවනාවක් වගේ. ඒ වෙලාවට දැනෙන නිස්කලංක බව කිසිම මෙඩිටේෂන් ඇප් එකකින් ගන්න බෑ. ඒ මොහොතේදී අපිට දැනෙයි හැල්මේ දුවන තරගකාරී ලෝකෙන් සම්පූර්ණයෙන්ම අත්මිදිලා, ඊට වඩා විශාල විශ්වයක් එක්ක ඒකාත්මික වෙලා ඉන්නවා කියන හැඟීම. මේක භාවනාවක්ම තමයි…

 

මේකත් අපි පොඩි කාලේ කරලා තියෙන වැඩක්. කාමරේකට එකතු වෙලා, ලයිට් ඔක්කොම ඕෆ් කරලා ඔන්න එක එක්කෙනා තමන් දන්න හොල්මන් කතා කියනවා. මේකේ ආතල් එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම අන්ධකාරේ ඉඳලා හොල්මන් කතා කියනකොට අර බය හිතෙන ඉෆෙක්ට් එකත් නිකම්ම ලැබෙන නිසා. ඔන්න කරන්ට් කැපුවහම අන්ධකාරය සම්පූර්ණයි. දැන් තියෙන්නේ  ලාම්පු, ඉටිපන්දම් නිවලා ගෙදර කීප දෙනා එක්කහු කරගෙන හොල්මන් කතා කියන්න. ඕන නම් තව බය හිතෙන ඉෆෙක්ට් එක ගන්න එකම ඉටිපන්දමක් විතරක් පත්තු කරලා තිබ්බත් කමක් නෑ. හැබැයි ඉතින් බය වෙලා කරුවලේ පුටු පෙරලගෙන දුවන්න ඔට්ටු නෑ.

 

දැන් හැමෝම අතේ ස්මාට්ෆෝන් තියෙනවනේ. ඔය හැම ස්මාට්ෆෝන් එකකම හොඳ කොලිටියේ කැමරාත් තියෙනවා. ඒ වගේම ඡායාරූපකරණයටම ආස අය ගාව දැන් DSLR කැමරා එහෙමත් තියෙනවනේ. දැන් තියෙන්නේ ෆොටෝ ගන්න. කළුවරේ මොන ෆොටෝද කියලද අහන්න ගියේ? ඔව්, සාමාන්‍යයෙන් අපි දන්නේ ෆොටෝ ගන්න හොඳ ආලෝක තත්ත්වයන් තියෙන්න ඕන කියලනේ. හැබැයි අපි කියනවට අද කරන්ට් කැපුවහම ඉටිපන්දමක් පත්තු කරලා, ඒ ඉටිපන්දම් දැල්ලේ ෆොටෝ ගන්න ට්‍රයි එකක් දෙන්න. ඉන් පස්සේ ඉටිපන්දම් එළියෙන් හරි, ලාම්පුවේ එලියෙන් හරි වෙන වෙන වස්තු වලින් වැටෙන හෙවණැලි ෆොටෝ වලට අහුකරගන්න ට්‍රයි එකක් දෙන්න. ඉටිපන්දම් කීපයක් පත්තු කරලා, එක එක තැනින් තියලා එක්ස්පෙරිමන්ට් කරන්න. ඉටිපන්දමකින් ආලෝකවත් වෙන මුහුණු වල ලයිට් ඇන්ඩ් ෂේඩ් ෆොටෝ ගන්න ට්‍රයි එකක් දෙන්න. අන්තිමට කරන්ට් කපන එක නවත්තන කාලේ වෙනකොට අන්ධකාර ෆොටෝග්‍රැෆි වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙයි!

 

මෙන්න කළුවරේ කරන්න පුළුවන් තව හොඳ වැඩක්. කැලරිත් දහනය වෙන නිසා ජිම් එකට යන වෙලාවත් ඉතුරුයි. ඔව්, ඔව්, ඩිස්ටි ඩිඩින් ගේම් එකකට එන්ටර් වෙන එක ගැන තමයි මේ කියන්නේ. ආයෙ දෙන්නත් එක්ක කළුවරේ කාමරේට වුනාට පස්සේ මොන තහංචියක්ද. අනික දෙන්නා දෙමාල්ලෝ ඉන්නේ තනියෙන් නම් ආයෙ කාමරේටම යන්න ඕනැත් නෑනේ. හැබැයි පුතෝ එක දෙයක් ගැන පරිස්සම් වෙන්න ඕන. ඒ තමයි කරන්ට් නැහැ කියන්නේ හැමතැනම බොහොම නිස්කලංකයි කියන එක. පොඩි සද්දයක් වුනත් දුරට ඇහෙනවා කියන එක!

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here