කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න

0
9


කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 17

බොහෝ දෙනා තිසරණය පිළිබඳව දන්නේ නැහැ. නිතරම පන්සිල් ගත්තාට එහි වැදගත්කම දන්නේ නැහැ. කාලිංග මාඝගේ සිට ආපු විදේශ ආක්‍රමණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ අපට ලබා දීපු තිසරණයෙන් යුක්ත ආර්ය සම්ප්‍රදාය අපෙන් ගිලිහී ගියා. තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ මුල් කරගෙන තමන්ගේ චින්තන රටාව ගොඩනැගීම. මේ සඳහා උදාහරණයක් මම කියන්නම්. යම් අයෙකුගේ ඉන්ද්‍රිය අසංවර වෙලා රාගයක් ඇතිවෙනවා. එය අසම්මත රාගයක් කියලා හිතමු. සාමාන්‍ය මනුෂ්‍යයා කරන්නේ ඒ ගැන මෙනෙහි කර කර ඉන්න එක. තිසරණයෙන් යුක්ත ආර්ය සම්ප්‍රදාය කියන්නේ ඒක නෙමෙයි. එම සම්ප්‍රදායේ සිටින කෙනෙක් එවැනි විටකදී කරන්නේ, එකවරම ශාස්තෘන් වහන්සේ මෙනෙහි කරන එකයි.

‘බුදුරජාණන් වහන්සේ මෙවැනි අපවිත්‍ර සිතුවිලි නැති කෙනෙක්නේ… බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහවලින් තොර වූ කෙනෙක් නේ… ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ මට ලැබේවා…! ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ රාග, ද්වේශ, මෝහ දුරු කරන ධර්මයක්නේ… ඒ ධර්මයේ සරණ මට ලැබේවා…! ඒ සරණ ලබා ගත්ත ශ්‍රාවක පිරිස මාර්ග ඵල ලබලා, රාග, ද්වේශ, මෝහ දුරු කළා. ඒ ශ්‍රාවක සංඝයාගේ සරණ මට ලැබේවා…!’ මේකට තමයි තිසරණය මෙනෙහි කරනවා කියන්නේ. ඔය ක්‍රමයට මනසෙන් මෙනෙහි කරන තත්ත්වය ඇතිකරගන්නා තුරු, යමෙකුට සරණ නැහැ. ඒ සරණ නැති නිසා තමයි මිත්‍යාවන්ට මේ රටේ මේ තරම් තැනක් ඇවිල්ලා තියෙන්නේ. ඔය ක්‍රමයට සරණ මෙනෙහි නොකරන කෙනෙක් සුගතියට යන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ,

යේ කෙචි බුද්ධං සරණං ගතාසේ – න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං – දේවකායං පරිපූරෙස්සන්ති’ යනුවෙන්. එහි අදහස වන්නේ,

‘යමෙක් බුදුන් සරණ යයිද
ඔහු සතර අපායට නොයයි.
මිනිස් කය අත්හල ඔහු,
දෙවියන් අතර උපදී’ යන්නයි.

එසේ බුදුසමිඳුන් සරණ කරගත් අයෙක් උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, තම ජීවිතයට සරණ කරගෙන, ගුණ හඳුනාගෙන ම ඔහු ධර්මය සරණ යයි. ඒ ධර්මයට අනුව දිවි ගත කිරීමට වෙහෙසෙන බුදු පිරිස ගැන ද ඔහුගේ සිත පහදියි. එවිට ඔහු ඒ ශ්‍රාවක පිරිස ද තම ජීවිතයේ සරණ කරගනී. සඟ ගුණ හඳුනාගෙන ඇති කරගත් ප්‍රසාදයෙන් යුතුව ම ශ්‍රාවක සඟරුවන සරණ යයි. මේ අයුරින් බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන ගැන ඇතිකර ගන්නා ශ්‍රද්ධා ලාභය දෙවි මිනිසුන් හට ලැබිය හැකි උතුම්ම ලාභය යි.

අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ මේ ශ්‍රද්ධාලාභයේ වටිනාකම ගැන හොඳින් දැනසිටි දෙවිවරුන් සිටිය බව පේනවා. සංයුක්ත නිකායේ පළමු පොත් වහන්සේගේ දේවතා සංයුත්තයේ ‘සතුල්ලපකායික’ වර්ගයේ අන්තර්ගත ‘සද්ධා සූත්‍රය’ එයට නිදසුනකි.

දෙවියන් අතර ඇතිවන සංවාදවලදී අප බුදුරජාණන් වහන්සේගේ ක්‍රියා කළ අයුරු විවිධාකාරයි. ඇතැම් දෙවිවරුන්ගේ ජීවිතයේ හටගත් ගැටලු උන්වහන්සේ විසින් විසඳනු ලැබුවා. ඇතැම් දෙවිවරුන්ගේ දහම් ගැටලු නිරාකරණය කර සතුටු කරවනු ලැබුවා. එහෙත් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඇතැම් ප්‍රකාශ සංශෝධනය කළ අවස්ථාත් තිබෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ඇතැම් දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කරනු ලැබුවා. එබඳු ප්‍රකාශ සූත්‍ර පිටකයේ ඒ අයුරින් ම සඳහන්ව තිබෙනවා. මේ සූත්‍රයේදීත් උන්වහන්සේ දෙවිවරුන්ගේ ප්‍රකාශ අනුමත කොට තිබෙනවා.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ඡේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා බොහෝ සතුල්ලපකායික දෙවිවරු රැය පහන්වෙන වෙලාවේ මුළුමහත් ජේතවනය ම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටගත්තා. ඒ දෙවිවරු අතරින් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මේ අර්ථවත් ගාථාව පැවසුවා.

“ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාගේ දෙවැන්නා වෙන්නේ. ශ්‍රද්ධාව යමෙක් තුළ පිහිටලා ඇත්නම්, ඔහු කීර්තියට පත්වෙනවා. පිරිවර සම්පත් ඇතිවෙනවා. ඔහු ශරීරය අත්හැරීයාම ස්වර්ගයේ උපදිනවා.”

එවිට ඒ දෙව් පිරිස අතරින් තවත් දෙවි කෙනෙක් මේ ගාථාවන් පැවසුවා.

“ක්‍රෝධය අත්හරින්න ඕන. මාන්නය විශේෂයෙන් ම දුරු කරන්න ඕන. හැම බන්ධනයක්ම ඉක්මවා යන්න ඕන. නාමරූප දෙකේ නො ඇලෙන, කෙලෙස් රහිත ඒ රහතන් වහන්සේ තුළට කෙලෙස් පැමිණෙන්නේ නැහැ.

බාල වූ ප්‍රඥා රහිත වූ ජනතාව ඉන්නේ ප්‍රමාදයෙන් ම යි. නමුත් ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදීබව සුරකින්නේ ශ්‍රේෂ්ඨ ධනයක් රකිනවා වගේ. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. කාමාශාවේ ඇලී යන්න හොඳ නැහැ. අප්‍රමාදීව ධ්‍යාන වඩන විට ඔහු පරම සැපයට පත්වෙනවා.”

එදා පැමිණි ‘සතුල්ලපකායික’ දෙවිවරු තමයි මේ අර්ථවත් ගාථාවන් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ප්‍රකාශ කළේ. ඒ දේශනය තුළ භාග්‍යවතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන සඳහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්දව ම ඒ අරුත්බර ගාථා ඉවසන්නට ඇති.

තිසරණයේ මේ පිහිට පිළිබඳව උපමාවක් තියෙනවා, ‘ඡත්තං මහන්තං යථා වස්සකාලේ’ කියලා. වැස්ස කාලයට විශාල කුඩයක් යට ඉන්නවා වගේ කියන එක තමයි එකේ තේරුම. මෙතැනදී වැස්ස කියන්නේ කෙලෙස් වැස්ස. කරදර කම්කටොළු, අභ්‍යන්තර බාහිර පීඩා තමන්ගේ ම දුර්වලකම්වලින් ඇතිවෙන පීඩා, කර්ම දෝෂවලින් ඇතිවෙන පීඩාවලින් ආරක්ෂා වන්න තමයි මේ කුඩය තියෙන්නේ. තිසරණය මෙනෙහි කර කර සිටීම තමයි මේ කුඩය. මේ කුඩය නැති නිසා තමයි, කරදර වැස්සේ තෙමෙන්නේ.

ඔබ වහන්සේ අපට මේ දේශනා කරන ආර්ය මාර්ගය අපේ ලෝකෝත්තර ජීවිතයට වගේම ලෞකික ජීවිතයේ දියුණුව සඳහාත් දායක කරගන්න පුළුවන්.

අනිවාර්යයෙන් ම… අද මේ ජාතිය මෙතරම් ව්‍යසනයකට ලක්වෙලා තියෙන්නේ තිසරණයෙන් ඈත්වෙලා තියෙන නිසා. මේ ජාතිය තමන්ගේ ම ජාතියට ගරහනවා. තමන් අදහන ආගමට ගරහනවා. තමන්ගේ ජාතියේ වටිනාකම්වලට ගරහනවා. ‘නමෝ බුද්ධාය’ කියලා අද වැඩක් පටන් ගන්නේ කීයෙන් කීදෙනාද…? අනගාරික ධර්මපාලතුමා තමන්ගේ සියලු ලිපි ලියන්න පටන් අරගෙන තියෙන්නේ ‘නමෝ බුද්ධාය’ කියලා. ආර්ය සම්ප්‍රදායෙන් ඈත්වෙලා නිසා තමයි මේ සියල්ල අමතක වෙලා, අත්හැරලා දාලා තියෙන්නේ.

බුදුරජාණන් වහන්සේ තමන් උපන් ජාතියට මොනතරම් සේවය කළා ද, මොනතරම් හිතෛශීවන්තව කටයුතු කළා ද කියලා භික්ෂූන් වහන්සේලා පිරිසක් එක දවසක් කතා වෙනවා. එහෙම කතා කර කර ඉන්න කොට බුදුරජාණන් වහන්සේ ඒ සඟ පිරිසගෙන් අහනවා ‘මහණනි, මම එන්න පෙර කුමක් පිළිබඳව ඔබලා කතා කර කර හිටියාද…?‘ කියලා.

එතකොට උන්වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේට මේ මාතෘකාව කියනවා.

‘මහණෙනි, මම මේ ආත්මයේ පමණක් නොවෙයි, මම තිරිසන් ආත්මයේ ඉපදී සිටියදීත් ක්‍රියා කළේ මේ විදිහටයි‘ කියලා උන්වහන්සේ කාක ජාතකය දේශනා කරනවා.

එක ආත්මයක බෝධිසත්වයෝ කපුටු ආත්මයක ඉපදිලා, කපුටු සේනාවකට නායක වෙලා හිටියා. එක දවසක බරණැස් රජ මාළිගාවේ තොරණේ කපුටු දෙදෙනෙක් වහලා හිටියා. එදා බරණැස් රජතුමාගේ පුරෝහිතයා, ගංගා නම් ගඟෙන් නාලා, සුවඳ විලවුන් තවරාගෙන, මල් මාලා දාගෙන නැවුම් සළු පොරෝගෙන එතැනින් යනවා. එතකොට එක කපුටෙක් කියනවා ‘මට මේ පුද්ගලයාගේ හිස මත වර්චස් හෙලන්න හිතෙනවා’ කියලා. අනික් කපුටා මේ අදහසට කැමති වුණේ නැහැ. ‘කවදාවත් අධිපතියෙකුගේ හිසට වර්චස් කරන්න එපා, ඒ අධිපතියා බලය අරගෙන ගහන්න පුළුවන්’ යැයි අවවාද කළා. එහෙම කියන කොට අර පුරෝහිතයාගේ හිසට මේ කපුටා වර්චස් හෙලුවා. එතකොට ම අනික් කපුටා ‘උඹ වරද්දා ගත්තා…’ කියලා කෑගහගෙන ගියා. මේ ගැන පුරෝහිත බ්‍රාහ්මණයා කපුටු සංහතියත් එක්කම වෛර බැඳ ගත්තා.

ඔය අතර එක දාසියක් වී වේලන්න ගත්තා. එතකොට ඇඟේ දිග ලොම් තියෙන එළුවෙක් ඇවිල්ලා මේ වේලෙන්න දාපු වී කන්න ගත්තා. වරින් වර එළුවාව පළවා හැරියත් ආයෙත් ආයෙත් ඌ එන්න ගත්තා. හතරවැනි වාරයේදී ගිනි පෙල්ලකින් එළුවට, මේ දාසිය ගැහැව්වා. එළුවාගේ ඇඟේ මයිල් ගිනි ගත්තා. ඇඟ ගිනි ගත්ත එළුවා, ඇත් හලේ පිදුරු ගොඬේ ගිහිල්ලා උගේ පිට ඇතිල්ලුවා. එතකොට පිදුරුගොඩ ගිනි ගත්තා. ඒ එක්කම මුළු ඇත්හල ම ගිනි අරගෙන, ඒකේ වහලය ඇත්තුන්ගේ පිටට කඩාගෙන වැටුණා. ඇත්තුන්ගේ පිට වණ වුණා. රජතුමා මේ ඇත්තුන්ට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු කැඳෙව්වා. බෙහෙත් කළා. ඒත් ඇත්තුන්ට සුවයක් ලැබුණේ නැහැ. ඒ පාර මේ ගැන පුරෝහිතගෙන් ඇහැව්වා. පුරෝහිත මේකට ඖෂධයක් විදිහට කිව්වේ, කපුටන්ගේ මේද තෙල. ඒ පාර කපුටෝ දහස් ගණනක් මර මර මේද තෙල හොයන්න ගත්තා. කොච්චර මැරුවත් මේද තෙල් නැහැ. තමන්ගේ ඉපදී ඉන්න සංහතියට සිදුවෙන මේ විනාශය කපුටු නායකයා ලෙස බෝසතාණන් වහන්සේට ආරංචි වුණා. ඒ නායක කපුටා, පාරමී ධර්මයන් සිහිකරලා, මෛත්‍රී පාරමිතාව හිසේ මුදුන් පත් කරගෙන, මාලිගාවේ ජනේලයෙන් ගිහිල්ලා, රජතුමාගේ ආසනය යටට රිංගුවා. සේවකයෝ කොච්චර ගන්න හැදුවත් මේ කපුටු නායකයා එළියට ආවේ නැහැ.

ඒ පාර රජතුමා විසින් එළියට ගන්න එක නවත්වලා ‘මගේ ළඟට පිහිට හොයාගෙන ආවේ, එන්න දෙන්න…‘ කියලා පැවසුවා. කපුටු නායකයා ඉදිරියට ආවා. ඇවිල්ලා ‘සතර අගතියෙන් වැඩ කිරීම රජෙකුට ගැලපෙන්නේ නැහැ නේද… මහරජ යමෙක් යමක් කළ යුත්තේ ප්‍රතිඵල දැනගෙන… කපුටන්ගේ මේද තෙල් නැති බව ඔබ දන්නේ නැද්ද…’ කියලා රජතුමාගෙන් ඇහැව්වා.

තමන් දන්නේ නැති බව රජතුමා පැවසුවා. ඒ සමග ම කපුටන්ගේ මේද තෙල් නොමැතිවීම සඳහා හේතුවත් රජතුමා විමසුවා. ඒ සඳහා හේතු දෙකක් කපුටු නායකයා ඉදිරිපත් කළා. එකක් නිතර බයෙන් වාසය කිරීම. අනික අන්‍යයන්ගේ පහර කෑමට ලක්වීම, කියලා නායක කපුටා ඒ ගැන පැහැදිලි කරලා දුන්නා. රජතුමා මේ ගැන පැහැදිලා, එදා ඉඳලා කපුටන්ට අභය දානය දුන්නා.

මේ කතාව විස්තර කරපු බුදුරජාණන් වහන්සේ ‘මහණනි, මම බෝසත් කාලයේ කපුටු ආත්මයේදීත් මගේ ඥාතීන්ව විනාශයෙන් බේර ගන්න කැපවුණා‘ කියා වැදෑරුවා.

මේ වගේ උපන්න ජාතිය විනාශයට පත් වෙන දේවල් කිසිවෙක් කරන්න හොඳ නැහැ. අපේ ජාතියේ මුලට ගියාම මහ රහතන් වහන්සේලා, ශ්‍රේෂ්ඨ නර විරුවන්, වීරයන් තමයි ඉන්නේ. ඒ ගැන හිතන්නේ නැතුව, ආර්ය ගුණ ධර්මය නොදැන සමහරු මේ ජාතියට ගරහනවා. අසත්පුරුෂයා සහ සත්පුරුෂයා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි. ඒක අසත්පුරුෂයාට බැහැ.

ආර්ය ගුණ ධර්ම පුරුදු කරන කෙනාට තමයි ආර්ය ගුණ ධර්ම හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ. ආර්ය ගුණ ධර්ම නැති කෙනා කරන්නේ, ආර්ය ජාතියට ගරහන එකයි.

මතු සම්බන්ධයි

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

The post කරදර අපල වැස්සේ නොතෙමී ඉන්න දහම් කුඩයක් මෙන්න appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here