කරදරයක් නැතුව ලංකාවේ මීටර් ටුක් ටුක් පාවිච්චි කරන්නේ මෙහෙමයි! – Sri News

0
4

දැන් ලංකාවේ තියෙන්නේ හයර් දුවන ත්‍රීවිල් නැතිනම් ටුක් ටුක් දෙජාතියයි. එක්කෝ මීටර් තියෙන, එහෙම නැතිනම් මීටර් නැති. මීටර් තියෙන ත්‍රීවිල් නම් නානාප්‍රකාරයි. හැබැයි ඒ හැම එකකම මීටර් තියෙනවාද නැද්ද කියන එක දැනගන්න පොඩ්ඩක් මීටරෙන් බලන්න වෙනවා. මොකද සමහර එව්වල මීටර් කියලා ගහලා තිබුණත් මීටර් නෑ. සමහර එව්වල මොකුත් ගහලා නැති වුනත් මීටර්  තියෙනවා. හොඳම දේ තමයි අත දාලා ටුක් ටුක් එක නැවැත්තුවට පස්සේ ‘අයියා, මීටර්ද?’ කියලා අහන එක. එතකොට ටුක් ටුක් බුවා කිවුවොත් ‘මීටර් නෑනේ මල්ලි, ඔයත් ආදර්ශ කණිෂ්ට විද්‍යාලෙටද ගියේ?’ කියලා, පොරගේ ටුක් ටුක් එකේ මීටර් නෑ, ඌටත් මීටර් වැඩ නෑ. එහෙම නැතුව ‘මීටර්, නගින්න’ කිවුවොත් අන්න බයක් නෑ. කොහොම වුනත් ලංකාවේ ටුක් ටුක් එකක් තමන්ගේ හිතේ කරදරේකුත් නැතුව, ටුක් ටුක් අයියගේ හිතේ කරදරේකුත් නැතුව පාවිච්චි කරන්න නං පොඩි පොඩි ක්‍රම සහ විධි ටිකක් තියෙනවා. ආන්න ඒ ක්‍රම සහ විධි ගැන තමයි මේ කථා කරන්න යන්නේ.

 

ගොඩක් වෙලාවට අපි ඔය පික්මී, ඌබර් අනං මනං නම් වලින් තියෙන ඇප් එකකින් ටුක් ටුක් එකක් බුක් කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. එහෙම බුකින් එකක් දාලා ඉන් පස්සේ ඉතින් ටුක් ටුක් මහත්තයා ලඟට එනකල් මැප් එක දිහා බලාගෙන ඉන්නවා. ඔන්න සමහර වෙලාවට ටුක් ටුක් මහත්තයා අපි ඉන්න තැනට නොයා හෙන ඩොටේක යනව පේනවා. ඉන් පස්සේ අපිට යන්න තියෙන වැඩේටත් පරක්කු වෙලා, අපි පොරගේ පරම්පරාවම මතක් කරලා බණිනවා!

ඊට වඩා ලේසි නැද්ද, ඇප් එකකින් ටුක් ටුක් බුකින් එකක් දැම්මට පස්සේ ටුක් ගාලා කෝල් එකක් ගන්න එක? සමහරුන්ට මැප් එක වරදින්න පුළුවන්. අන්න ඒ නිසා කථා කරලා ඉන්න තැන අනුව එන්න ඕන විදිය දන්නවද කියලා ෂුවර් කරගන්න. දන්නෙ නෑ වගේ නම් පාර කියන්න.

 

මේක සාමාන්‍යයෙන් ඇප් එකකින් ටුක් ටුක් එකක් දානකොට අපේ පැත්තෙන් වෙන වැරැද්දක්. සමහර වෙලාවට අපි ඉන්න තැන කොහේ හරි ජී.පී.එස්. හරියට වැඩ කරන්නේ නැති හද්ද ඩොටේක නං, ටුක් එකක් දානකොට වුනත් ජී.පී.එස් පිස්සු කෙලලා අපි ඉන්න ලොකේෂන් එක හරියට වැටෙන්නේ නැති අවුල් යනවා. අන්න ඒ නිසා පැන්න ගමන් ඔබාගෙන ඔබාගෙන යන්නෙ නැතුව පොඩ්ඩක් බලන්න මැප් එකේ පෙන්නන ලොකේෂන් එක හරිද කියලා. කොහේ හරි මගක ඉඳලා ඇප් එකෙන් ටුක් එකක් දානවා නං, ලේසියෙන් කියන්න පුළුවන් ලෑන්ඩ් මාක් එකක් ලඟ ඉන්න. “සිරිසේන අයියගේ කඩේ”, “ට්‍රාන්ස්පෝමරේ ගාව” වගේ එකක් වුනත් අවුලක් නෑ!

 

ඔය ඇප් වලින් නම් ගොඩක් වෙලාවට තමන් යන තැන දුන්නට පස්සේ අදාළ ගාණ මෙච්චරක් විතර වෙන්න පුළුවන් කියලා ඇස්තමේන්තු අගයක් වැටෙනවා ටුක් ටුක් එකක් බුක් කරන්න කලින්ම. හැබැයි පාරේ නිකං දුවන මීටර් ටැක්සි වල ඒ සීන් බෑ. ආන්න ඒ නිසා කරුණා කරලා මීටර් ටැක්සි එකක් නැවැත්තුවට පස්සේ ගාණ ගැන ෂුවර් එකක් නැති නම් අහලා බලන්න මෙතනට යන්න කීයක් වගේ වැටෙයිද කියලා. ගොඩක් ටුක් ටුක් ඩ්‍රයිවර්ලට යන තැන අනුව කීයක් වගේ යයිද කියන එක අනුමාන කරන්න පුළුවන්.

ඒ වගේම, පාරේ යන මීටර් ටුක් ටුක් වල පටන් ගන්න ගාණ, කිලෝමීටරේට ගාණ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි රුපියල් පහක් එහා මෙහා වුනත් දුර හයර් එකකට නං ඒක ලොකු වෙනසක් සිද්ධ කරන නිසා හොඳම දේ තමයි නගින්න කලින් පටන් ගන්න ගාණ සහ කිලෝමීටරේට ගාණත් පොඩ්ඩක් අහලා දැනගන්න එක! ඒක ටුක් ටුක් අයියගේ හිතටත් හොඳයි, අපේ හිතටත් හොඳයි. 

 

සමහර ටුක් ටුක් අයියලා ඉන්නවා ඓතිහාසික ඇණ පැකට් වෙන. නරකකටම නෙවෙයි, සමහරු කථා කරන්න ආස නිසා, සමහරු පොඩි ෂෝර්ට් සර්කිට් ගතියක් තියෙන නිසා, එහෙමත් නැතිනම් සමහරු ප්‍රමාණයත් ඉක්මවලා මිත්‍රශීලී නිසා. හැබැයි ඉතින් ටුක් එකට නැග්ග වෙලේ ඉඳලා අපෙන් ප්‍රශ්න අහන එක, අපිට ධර්මයෙන් අර්ථයෙන් දේශනා පවත්වන එක, කැඩිච්ච රේඩියෝ එකක් වගේ අපිත් එක්ක කියෝන එක අපිට ඇණ වෙනවනේ. ආන්න ඒ වගේ වෙලාවට පොඩි පොඩි සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට කථාව මැද්දකින් නවත්තලා කියන්න පුළුවන් පොඩි නෝට් එකක් බලාගන්න තියෙනවා කියලා, නැත්තං පොඩ්ඩක් නින්දක් දාන්න තියෙනවා කියලා. ඔය එකක්වත් හරියන්නෙ නැත්තං කරන්න තියෙන්නේ පොඩි මහන්සි පාට් එකක් දාලා, මනුස්සයට හූ මිටි තියන එක, ප්‍රශ්න වලට උත්තර දෙන එක නවත්තන එක. නෑහුනා වගේ ඉන්න එක. ආන්න එතකොට මනුස්සයටම තේරෙනවා කරදර කරන්න හරි නෑ කියලා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here