Home ගොසිප් පුවත් කකුල නැතිව වාහන පදින්න මුල්ම ලයිසම ලැබුණේ මන්ත්‍රි මාන්නප්පෙරුමට

කකුල නැතිව වාහන පදින්න මුල්ම ලයිසම ලැබුණේ මන්ත්‍රි මාන්නප්පෙරුමට

0
4


දෙතුන් සතියකට ඉහතදී කටුනායක අධිවේගී මාර්ගයේ අධි වේගයෙන් ගොස් දෙව්මරු තුරුලට ගිය සනත් නිශාන්ත ඇමැතිවරයා වරක් ආරච්චිකට්ටුව නගරය මැද හෙල්මට් නැතිව යතුරු පැදියකින් ඉගිල්ළුණේය. හෙල්මට් නැතිව යතුරු පැදියක් පැදීම වරදක් වුවද සනත් නිශාන්ත ඇමැතිවරයෙක් වීම නිසා පොලිසිය අහක බලා ගත්තේය.
සනත් නිශාන්ත සේම අජිත් මාන්නප්පෙරුමද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පත් වූ ඔහු යහපාලන කාලයේ පරිසර රාජ්‍ය ඇමැතිවරයාය. ඔහු ගම්පහ හිටපු නගරාධිපතිය.
ඉංජිනේරුවකුද වන අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාගේ දකුණු කකුල නැත. ඔහුගේ කකුල අහිමි වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකිනි. ඒ වෙලේ ඔහුගේ වාහනය පැදවූයේ රියැදුරාය. රියැදුරාගේ වරදට වන්දි ගෙව්වේ මන්ත්‍රිය. කකුලත් නැතිව රිය ධාවනය කිරීම නීතියේ හැටියට වරදකි. ඒත් අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා කකුලක් නැතිව රිය පදවන්නේය. ඒ සනත් නිශාන්ත ඇමැතිවරයා මෙන් දේශපාලන බලයෙන් නොවේ. ලයිෂමක බලයෙනි. කකුලක් නැති නිසා කෘත්‍රිම පාදයක් පැලඳගෙන ඔටෝ වාහන පැදවීමට ලංකාවේ මුලින්ම බලපත්‍රයක් හිමි වූ මුල්ම ශ්‍රී ලාංකිකයා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාය.
එවැනි කතාවක් අපි පනහ දශකයේදී ද ඇසුවෙමු. ඒ බණ්ඩාරනායක ආණ්ඩුව වාහනවලට එතෙක් පැවැති ඉංග්‍රීසි අකුර සහිත අංක තහඩුව වෙනුවට ‘ශ්‍රී’ අකුර හඳුන්වා දුන් ​මොහොතේදීය. ඒ වෙලේ අගමැති බණ්ඩාරනායකට කියා එදා මුල්ම ‘ශ්‍රී’ අකුර හිමි වාහන අංක තහඩුව ගත්තේ සර් ජෝන් කොතලාවලය. 1 ශ්‍රී 1 දරන එම කැඩිලැක් වාහනය තවමත් රත්මලානේ කඳවල වලව්වේ ඇත්තේය. කොතලාවල ඉල්ලූ සැණින් අංක තහඩුව ලැබුණද අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාට මේ බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගැනීමට මාර කට්ටක් කන්නට සිද්ධ වූයේය.

රිය අනතුරින් දකුණු පාදයට දැඩි හානි වීම නිසා ඔහුගේ එම පාදයේ දණහිසෙන් පහළ කොටස කපා ඉවත් කෙරුණි. ඉනික්බිතිව කෘත්‍රිම පාදයක් සවි කෙරුණි. එවැනි පුද්ගලයන් දැන් හැඳින්වෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ලෙසය. එනමුත් එහෙම තමා හඳුන්වනවාට මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා කැමැති නැත. ‘‘මම කැමැති අාබාධිත යන වචනයෙන් හඳුන්වනවාට. ඒකේ තියෙන වරද මොකක්ද?’ ඔහු අසන්නේය.
මන්ත්‍රිවරයාගේ ආබාධිත බව පරහට හිටියේ අනතුරෙන් වසර කිහිපයකට පසුවය. ඔහු තම රියැදුරු බලපත්‍රය කල් ඉකුත්වීම නිසා එය අලුත් කරවා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තාව ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය. දකුණු පාදයේ ආබාධයක් ඇති නිසා රියැදුරු බලපත්‍රය ගැනීමට නොහැකි බව එහිදී මන්ත්‍රිවරයාට අදාළ නිලධාරීහු පෙන්වා දුන්හ. එදින රියැදුරු බලපත්‍රය අලුත් කරවා ගැනීමටත් තමා පැමිණියේ තනිවම වාහනය පදවාගෙන බව මන්ත්‍රිවරයා කොතෙක් කීවත් ඔහුට අදාළ යෝග්‍යතා සහතිකය ගැනීමට හැකියාවක් ලැබී නැත.
“මගේ දකුණු කකුලේ දණහිසෙන් පහළ අයින් කරලා, යකඩ කකුලක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මම වාහන පදින්න වගේම ඇවිදින්නත් අමුතුවෙන් පුරුදු වුණා. ඒත් කකුලේ ආබාධය නිසා මට ලයිසන් එක ගන්න බෑ, ඕනි නම් මටම විශේෂ වාහනයක් හදාගෙන එන්න කියලා කිව්වා. ඒ කියන්නේ ඇක්සලේටරය සහ බ්‍රේක් අතින් හසුරවන්න පුළුවන් වාහනයක් හදාගෙන එන්න කියන එකයි. ඒ වාහන ගෙන්වන්නෙ නැහැ. ගැරේජ් එකකට ගිහින් වුවමනා විදිහට හදාගන්න වෙනවා. ඒක හරිම අසාධාරණයි. මම කිසි ප්‍රශ්නයක් නැතිව වාහනය පදවාගෙන ගියා. ඒත් ලයිෂන් දෙන්න බෑ කිව්වා. අනික් එක වෛද්‍යවරුන්ට සුදුසු වාහන සම්බන්ධයෙන් නිර්දේශ කරන්න බැහැ. අදාළ යෝග්‍යතා සහතිකය දීම පමණයි වෛද්‍යවරුන්ගේ කාර්යය වෙන්නේ. වාහනය සම්බන්ධයෙන් නිර්දේශ කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තියෙනවා” ප්‍රශ්නය තමාගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශනික වන බවටත්, තුවාලයේ වේදනාව දන්නේ තුවාලයක් ඇති පුද්ගලයාම පමණක් බවටත් වන කියමන්වල නිවැරදිම තේරුම මන්ත්‍රිවරයාට එදා අවබෝධවන්නට ඇත.

ආබාධිත සහිත වූවන්ට රියදුරු බලපත්‍ර ගැනීම සිහිනයක්ම වූ කාලයක් තිබිණි. මෝටර් රථ වාහන පනත අනුව ආබාධ සහිත වූවන්ට, සෞඛ්‍ය යෝග්‍යතාවය තහවුරු කළ නොහැකි වූවන්ට ‍රියදුරු බලපත්‍රයක් ගැනීමට හැකියාවක් නැත. ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍රය දීමේදී සිදුවූයේ, අදාළ පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය සලකාබලා ඊට ගැළපෙන ලෙස වාහනයක් සකස් කරවා ගැනීමෙන් අනතුරුව ඒ සඳහා බලපත්‍රය නිකුත් කිරීමයි. එම වාහනය අනිවාර්යෙන්ම ආබාධිත පුද්ගලයාගේ නමට තිබිය යුතුය. රියැදුරු බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ අදාළ වාහනයේ අංකයට පමණක් වන අතර දෙන රියැදුරු බලපත්‍රයේ එම අංකය සඳහන් කරනු ලබයි. එමෙන්ම එම වාහනය අනිවාර් යෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු අතර ආබාධිත පුද්ගලයාට එම වාහනය හැර වෙනත් වාහනයක් පැදවීමට අවසර හිමි නොවේ.
මෙම ක්‍රමවේදය අසාධාරණ බව කී මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා මේ පිළිබඳ විමසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටද ගොස් තිබිණි. එහිදී ද ඔහුට ලැබී ඇත්තේ ගම්පහ වෛද්‍ය මධ්‍යස්ථානයේදී ලැබුණු පිළිතුරයි.
“මගේ ආබාධය වාහන පදවන්න බාධාවක් නෙමෙයි කිව්වට කවුරුවත් ඇහුවේ නෑ. පොත් කන්දක් ගොඩ ගහගෙන, පින්තූර පෙන්න පෙන්න සෑහෙන වෙලාවක් ඒ අය මට නීතිමය තත්ත්වය පැහැදිලි කළා. ආබාධිත අයගේ හැකියාව ඔවුන් දන්නේ නෑ. අාබාධයක් වුණාම විකල්ප ක්‍රම හරහා තමන්ට අවශ්‍ය දේවල් කර ගන්න ඒ පුද්ගලයා හැඩ ගැහෙනවා. අත් දෙකම නැති ළමයි කකුලෙන් ලියලා ඒ නවයම අරන් නැද්ද? අර්ජුන රණතුංග වමතින් පිත්ත හසුරුවන කෙනෙක්. හැබැයි ඔහුගේ නායකත්වයෙන් 1996 ලංකාවට කප් එක ගෙනාවේ නැද්ද? පීනන්න දන්නේ නැතිව පීනන්න දන්න මිනිස්සුන්ට පීනන්න උගන්වනවා වගේ වැඩක් මේ නිලධාරීන් කරන්නේ.”
මෙම අසාධාරණ ක්‍රමවේදය වහාම වෙනස් විය යුතු බව සිතූ මන්ත්‍රිවරයා ඊට පසු දිනයක මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතාවක් කළේය. එහිදී අදාළ කාරණාව පිළිබඳව සලකා බලන බවට ප්‍රවාහන අමාත්‍යවරයා දැනුම් දුන්නේය. මේ කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමු කළේය. ආබාධිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍රය දීම පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රින්ද ඇතුළත් කමිටුව ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. එහි සභාපතිවරයා වශයෙන් පත් කෙරුණේ ඔහුය. රියැදුරු බලපත්‍රය දීමේ ක්‍රියාවලියට සම්බන්ධවන ඉහළ නිලධාරීන් බොහෝ දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව සකස්වීම විශේෂත්වයකි.
මේ අතරතුර වෙනත් කටයුත්තක් සඳහා ඔහුට සිංගප්පූරුවට යාමට සිදුවිය. සිංගප්පූරුවේදී ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍රය දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අධීක්ෂණය කළේය. සිංගප්පූරුව වැනි රටවල ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍රය දීමේදී ලංකාවේ තරම් කරුණු කාරණා සලකා බලන්නේ නැති බවත්, අදාළ ආබාධිත පුද්ගලයාට වාහන පැදවීමට ඇති හැකියාව පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් පසුව රියැදුරු බලපත්‍රය දෙන බවත් ඔහුගේ නිරීක්ෂණයයි.
ආපසු ලංකාවට පැමිණි මන්ත්‍රිවරයා මෙම කරුණු පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කළේය. අවසානයේදී ආබාධිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍රය දිය යුතු බවට නිලධාරීහු බොහෝ දෙනෙක් පිළිගත්හ. ඒ අනුව වාහන පැදවිය හැකි ආබාධිත සහිත වූවන්ට රියැදුරු බලපත්‍රය දිය යුතු බවට මෝටර් රථ කොමසාරිස්වරයා චක්‍රලේඛයක් නිකුත් කළේය. නමුත් බොහෝ දෙනකුගේ බලවත් විරෝධය මැද පසුදාම එම චක්‍රලේඛය හකුළා ගැනීමට වූයේ කොමසාරිස්වරයාද අපහසුතාවයට පත්කරමිනි. මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා පවසන ආකාරයට මෙම අවලංගු කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාය. මොන තරම් බාධක ආවත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා ආබාධිත පිරිස සඳහා රියැදුරු බලපත්‍ර ගැනීමේ දුෂ්කරක්‍රියාව අත්නොහැර උඩුගං බලා පිහිනීමය.

මේ වන ලංකාවේ ලක්ෂ දොළහකට ආසන්න ප්‍රමාණයක් විවිධ හේතු කාරණා නිසා ආබාධිත තත්ත්වයට පත්ව සිටිති. ඒ අතරින් බොහෝ දෙනකු එම තත්ත්වයට පත් වූයේ යුද්ධයේ ප්‍රතිඵලයක් හැටියටයි. යුද බිමේදී පුද්ගල නාශක හෙවත් ජොනි බට්ටන්ට අහු වූ සෙබළුන්ට පාද නැත. තවත් පිරිසක් රිය අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වෙති. මන්ත්‍රිවරයා පවසන ආකාරයට දේශපාලන බල පුළුවන්කාරකම් යොදාගෙන තමාට රියැදුරු බලපත්‍රය ගැනීමේ හැකියාව තිබුණත් එසේ නොකර මේ වෙනුවෙන් සටන් කළේ ආබාධිත සියලුම දෙනා වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණිනි.
“කොහොම හරි සටන් කරලා දෙවෙනි වතාවේ අරමුණ ඉෂ්ට කර ගන්න පුළුවන් වූණා. ඉන්පසුව මම නැවතත් යෝග්‍යතා සහතිකය ගන්න ගම්පහ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගියා. දැන් කකුලේ ප්‍රශ්නේ නෑ. හැබැයි ඇස් පෙනීම දුර්වල නිසා යෝග්‍යතා සහතිකය දෙන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ මම නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ගියා. එතැනදි ඇස් පෙනීමේ ප්‍රශ්නයක් නෑ කිව්වා. මන් හිතන්නේ සමහර වෛද්‍යවරු මාත් එක්ක තරහයි. මේ විදිහේ සිදුවීම් ගණනාවකින් පසුව යෝග්‍යතා සහතිකය ගෙන, මගේ රිය පැදවීමේ හැකියාව තහවුරු කරලා කොහොමහරි ඔටෝ වාහන බලපත්‍රය ගත්තා. මේ එක තැනකදීවත් මම කාටවත් දේශපාලන බලය හිතට ගෙන බලපෑම් කළේ නෑ. ඒත් මේ බලපත්‍රය ගන්න එක මට ලේසි වුණෙත් නෑ.”
අවසානයේදී විශේෂ චක්‍රලේඛයක් මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ “දකුණු කකුල සහ එක් අතක් අහිමි ආබාධිත ප්‍රජාවට වාහන පැදවීමේ හැකියාව සැලකිල්ලට ගෙන ඔටෝ වාහන පැදවීමේ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට” අවශ්‍ය අවසරය දුන්නේය. ප්‍රවාහන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතියද මෙයට හිමිවිය. මෙලෙස ආබාධ සහිත වූවන්ට රියැදුරු බලපත්‍රයේ දීමේ යම් අවදානමක් ඇති බවටද මේ වන විට මතයක් සමාජගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේ මෙවැනි කතාවකි.
“අංග සම්පූර්ණ මිනිස්සු අතිනුත් ඕනෑ තරම් වැරදි අඩුපාඩු වෙනවනේ. ඒ නිසා ආබාධිත පිරිසට රියදුරු බලපත්‍රය දීමේත් යම්කිසි අවදානමක් තියෙනවා. හැබැයි පුද්ගලයෙක්ට යම්කිසි ආබාධයක් තියෙනවා කියලා කියන්නේ ඔහු ඔහුගේ වැඩකටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා සංවේදීව කටයුතු කරනවා. අනිත් කාරණාව අපි මේ බලපත්‍රය දෙන්නේ ආබාධිත පුද්ගලයන්ට වාහන පදවන්න තියෙන හැකියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම අවුරුදු දෙකක කාලයක් මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරීමකින් පසුව තමයි රියැදුරු බලපත්‍රය ස්ථිරවම දෙන්නේ. දැනට දෙන්නේ තාවකාලික බලපත්‍රයක්. අපිට තියෙන බලතල අනුව වරදක් කරන ඕනෑම වෙලාවක ඒ බලපත්‍රය අහෝසි කිරීමට හැකියාව තියෙනවා.”
තමාව ආදර්ශයට ගනිමින් අනිකුත් ආබාධිත සහිත වූවන්ද වාහන බලපත්‍රය ගැනීමට කටයුතු කළ යුතු බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයාගේ කල්පනාවය. මෙම බලපත්‍රය දුන්නද බොහෝ නිලධාරීන් තවමත් මේ සම්බන්ධයෙන් පසු වන්නේ අකමැත්තකින් බව ඔහු කියයි. නමුත් ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටින්නේ මන්ත්‍රිවරයාට මෙන්ම සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවටද මෙම අවස්ථාව දෙන බවයි. මේ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගිය දිනයක කියා සිටියේය. මෙම කතා බහ ඇති වන්නේද ආබාධිත පුද්ගලයන්ට ඔටෝ වාහන පැදවීමේ බලපත්‍රය ලැබීමේ සිදුවීමට සමගාමීවය. තමා කළ සත්කාරයට මේ වන විට බොහෝ සුබවාදී ප්‍රතිචාර ලැබෙන බවත් ඉදිරියටත් ආබාධ සහිත වූවන්ට රියැදුරු බලපත්‍රය ගැනීමට යාමේදී යම් අසාධාරණයක් වුවහොත් අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් මන්ත්‍රිවරයා කියා සිටින්නේය.
“ලංකාවේ නීති හැදෙන්නේ හරි අමුතු විදිහට. එක බාහිර කථිකාචාර්යවරයෙක් හිටියා. ඔහුගේ දකුණු අතේ එක කොටසක් නෑ. ඒ නිසා රියැදුරු බලපත්‍රය ගන්න ගියාම ඔහු ප්‍රතික්ෂේප වුණා. පසු කාලයක ඔහු ඇමරිකාවට ගියා. එහිදී ජාත්‍යන්තර රියැදුරු බලපත්‍රය ගන්න හැකි වුණා. අවුරුදු දෙකකට පස්සේ ඔහු ලංකාවට ආවා. ලංකාවේදි වාහනයක් පදවද්දි පොලිසියෙන් මොහු අල්ලා ගත්තා. ඊට පස්සේ ඔහුගේ බලපත්‍රය අහෝසි කළා . ජාත්‍යන්තරයෙන් පිළිගත්තත් ලංකාවේ පිළිනොගන්න අමුතුම ක්‍රමවේදයක් තියෙන නිසා බලාගෙන ඉන්නේ නැතිව දැන්වත් ඉදිරියට එන්න කියලා මම ආබාධිත ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.”
නිරෝෂා වාසල
ඡායාරූප – වෙනුර චන්ද්‍රමාලිත
(Aruna)



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here