ඔෆිස් එකේ ඉන්න අනික් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තමන් අහුනොවී ඉන්නේ මෙහෙමයි! – Sri News

0
3

ප්‍රශ්න නං කාටද නැත්තේ? විශේෂයෙන්ම ඔෆිස් එකක් වුනහම ඉතින් සෑහෙන්න අරයගේ මෙයාගේ ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්න පෞද්ගලික එව්වා වෙන්න පුළුවන්, සමහර ප්‍රශ්න ඔෆිස් එකේම එව්වා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔය අනුන්ගේ ප්‍රශ්න අපිටත් පටලැවෙනවා. විශේෂයෙන්ම ඔෆිස් එකේ ප්‍රශ්න නම් අපිටත් ප්‍රශ්නේ විසඳන්න හරි  වක්‍රාකාරයෙන් හෝ ඒවට මැදිවෙන්න වෙනවා. එතකොට පුද්ගලික ප්‍රශ්නයක් තියෙන ඔෆිස් බඩියෙක් නම් අපිට කර ඇරලා ඉන්න බැරි අවස්ථා එන්න පුළුවන්. හැබැයි එහෙම අනික් අයගේ ප්‍රශ්න වලට පැටලෙන එක වෘත්තිය ජීවිතේදී ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. එකක්, අපිට වුනත් ඇතිවෙන්න ප්‍රශ්න තියෙනවනේ. අනික ඔය විදියට මොකක් හරි අහක තියෙන ඔෆිස් ප්‍රශ්නෙකට පැටලෙනවා කියන්නේ අපි නරක මිනිස්සු වෙලා ඉවර වෙන්න තියෙන ඉඩ වැඩියි කියන එක. ආන්න ඒ නිසා අපි පොඩි වෘත්තිමය ප්‍රතිපත්ති මාලාවක් පිළිපදින්න ඕන අනවශ්‍ය ප්‍රශ්න වලට නොපැටලැවෙන්න නම්. හැබැයි මේ ප්‍රතිපත්ති කොහොමත් වෘත්තිය ජීවිතේකට තියෙන එකත් වටිනවා!

 

ඔෆිස් එකක ඉන්නකොට අර බුදුහාමුදුරුවෝ ඉන්න කියපු විදියට තමයි ඉන්න ඕන. හැමෝමත් එක්ක සුහදයි, හැබැයි කාවවත් කරට ගන්නෙ නෑ. මේක ඇත්තටම කියන්න ලේසි, කරන්න අමාරු දෙයක්. මොකද, අපි කොහේ ගියත් අපිට විශ්වාසවන්ත හිතවන්තයෙක් හදාගන්න ආසයිනේ. ඒත් ඔෆිස් එකක එහෙම අතිශය සමීප සම්බන්ධතා හැදෙන්න දෙන එක ටිකක් අවදානම්. ඇයි? අපි එහෙම හිතවන්තයෙක් එක්ක බොක්කේ තියෙන දේත් කියනවා. හැබැයි ඒ කෙනා අපිත් එක්ක හිතන තරම් සමීප නැත්තං? අපි විශ්වාස කරලා කියපු දේ පහුවෙනිදා වෙනකොට බොස්ගේ කණටත් ගිහිල්ලා නම්? ඒක අපේ වෘත්තිය ජීවිතයට හානියක් කරන්න පුළුවන් දෙයක් නම්? ඇත්තටම ඔෆිස් එකක් කියන්නේ තරගයක් තියෙන තැනක්. ඉතින් එහෙම වෙලාවක අපිට අතිශය විශ්වාසවන්තයෙක් හැදෙන්න නම් සෑහෙන කාලයක් යනවා. ඒ නිසා හොඳම දේ තමයි කා එක්කත් සුහදව ඔෆිස් එකේ ජීවත් වෙන එක.

 

ඔෆිස් එකේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරට වට්ටවා නොගෙන ඉන්න නම්, අනුන්ගේ ප්‍රශ්න ගැන හොයන්න, ඒවා ගැන තැන තැන සාකච්ඡා කරන්න, අරයට මෙයාට කියන්න නොයන එක ඉතාම වැදගත්. ඔව්, ඒවලට තමයි ඕපදූප, කේලම් කියන්නේ. අන්න ඒ නිසා ඔෆිස් එකක වෘත්තිමය විදියට ඉන්න නම් එක්කෙනෙක් කියපු, නොකියපු දේ තව කෙනෙක්ට කියන්න, ඕපදූප කතා කරන්න නොයන එක හොඳයි. මේ කේලම් සහ ඕපදූප තවත් කෙනෙක්ගේ වෘත්තිමය ජීවිතය ගැන වෙන්නත් පුළුවන්, පුද්ගලික ජීවිතය ගැන වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් කෝක ගැන වුනත් හැකිතාක් කේලම් සහ ඕපදූප වලින් ඈත් වෙලා ඉන්න එක හොඳයි. ඒවා කියන්න යන්නත් එපා, අහන්න යන්නත් එපා!

 

ඔෆිස් එකක ඉන්න ඕනම කෙනෙක්ට තමන්ගේ ජොබ් රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ තනතුරට අදාළව එන වෘත්තිමය වගකීම් සමුදාය. ඒක ඔෆිස් එකේ ජෙනරල් මැනේජර්ටත් එහෙමයි, තේ හදන අක්කටත් එහෙමයි. අන්න ඒ නිසා අපි මුලින්ම අඳුනගන්න ඕන අපේ වෘත්තියේ තියෙන වගකීම් මොනවද කියන එක. ඉන් පස්සේ ආන්න ඒ වගකීම් තමන්ගේ උපරිමයෙනුත් එහාට ගිහිල්ලා කරන්න ඕන. ඒ තමන්ගේ වගකීම් ඇතුළේ තමන් වැඩ කරන ආයතනයේ දියුණුවට තමන්ට හිතලා කරන්න පුළුවන් දේවල් කරන්න ඕන. හැබැයි එච්චර තමයි. එතනින් එහාට තේ හදන අක්කගේ වැඩෙයි, තමන් යටතේ ඉන්න ඇසිස්ටන්ට්ගේ වැඩෙයි, තමන්ගේ ලොක්කගේ වැඩෙයි ඔක්කොම කරන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අනුන්ගේ රාජකාරි, වගකීම් වලටත් හොට දාන්න යන එක නම් ඔෆිස් එකක කොහොමටවත් හොඳ දෙයක් නෙවෙයි! 

 

දැන් ඔෆිස් එකක් ගත්තහම තමන්ගේ ජොබ් රෝල් එකට එන රාජකාරි සහ වගකීම් ටික විතරක්ම කරලා ඉන්නත් අමාරුයි. ඒ කියන්නේ අනුන්ගේ රාජකාරි වලට අතදාන්න නොගියත්, අපිට තව කෙනෙක්ට උදවු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එහෙම ෆේවර්ස් කරනකොට මතක තියාගත යුතු දෙයක් තියෙනවා. මුලින් තමන්ගේ රාජකාරියේ කටයුතු ඉවර කරලා ඉන්න ඕන. ෆේවර්ස්, උදවු කරන්න තියෙන්නේ ඊට පස්සේ. මොකද ලොකුම ලොක්කා උදවුවක් ඉල්ලලා ඒක අපි කරන්න ගියා කියමු. ඒක කරන්න ගිහින් අපේ රාජකාරියේ වගකීමක් පහු වුනා කියමු. ආන්න එතකොට ලොක්කා වුනත් ප්‍රශ්න කරන්නේ අපි තමන්ගේ රාජකාරිය පැහැර හැරියාය කියන තැන ඉඳලා මිසක්, ‘අනේ මුන්දෑ මට උදවු කරන්න ගිහින් පොඩ්ඩක් වැඩ පහුවුනානේ’ කියන තැන ඉඳලා නෙවෙයි. 

ඒ වගේම තමයි ඔය ඔෆිස් වල තියෙන විෂය බාහිර වැඩ. ට්‍රිප් යෑම්, එක එක උත්සව, එක එක සංගම් වගේ දේවල් වලටත් සහභාගි වෙන එක වෙන්න ඕන දෙයක්. හැබැයි තමන්ගේ රාජකාරි කටයුතු සම්පූර්ණ කරන්න වෙලාව තියලා. එව්වා ඉටු කළාට පස්සේ. හැබැයි ඉතින් අර අනික් අය කපටිකමෙන් ඇඟේ ගහන කුණු වැඩ වලට එහෙම හිර වෙලා පස්සේ තමන්ගේ රාජකාරිය කරගන්න බැරුව කංකෙඳිරි ගාලා වැඩකුත් නෑ. ඒ නිසා හැම මොහොතකම රාජකාරියට මුල් තැන දෙන්න ඕන. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here