ඔයනම් ෂුවර් එකටම හොර කපල් එකක්

0
15


විවාහයකට යනවා නම්, ප්‍රථමයෙන් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න. මේ පුද්ගලයා සමඟ මහළුවිය දක්වාම හොඳින් කතා කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවාද? විවාහයේ අනෙකුත් සියල්ල අස්ථිර වේ.

මේ ජර්මානු ජාතික දර්ශනවාදී ෆෙඩ්රික් නීට්ෂේගේ කියමනක්. ඔය කියමන ඇතුළේ ටිකක් කල්පනා කරලා බලන්න තරමේ වටිනා තේරුමක් තියෙනවා. විවාහක යුවළක් වියපත් වෙද්දි තරුණ කාලේ තිබුණු ආදරය, ලිංගිකත්වය වගේ දේ නැතිවෙන්න පුළුවන්. හැබැයි මනුස්සයෙක්ට මැරෙන දවස වෙනකල්ම  තමන් කියන දේ අහගෙන ඉන්න, කතා කරන්න කෙනෙක් අවශ්‍යයි. ඉතින් කතාබහ සහ අසා සිටීම සමඟ ගොඩනැගෙන සංවාදය යහපත් සම්බන්ධයක පැවැත්ම තීරණය කරනවා කිව්වොත් හරි.

කාලෙකට කලින් මැදිවියට ආසන්න යුවළක් මට මුණගැහුණා. සැමියා බොහොම නිශ්ශබ්දයි. උපදේශනයට ආපු ක්ෂණයේ ඉඳලාම බිරිඳ නම් කළේ තොරතෝංචියක් නැතිව ගිරවියක් වගේ සැමියට දොස් කියපු එක. සැමියා ඇයට සවන් දෙන්නේ නැහැ කියන එකයි ඇගේ චෝදනාව. අවුරුදු විසිපහක වෘත්තීය ජීවිතේදි හස්බන්ඩ් මම කියන දේවල් අහගෙන ඉන්නේ නෑ, හස්බන්ඩ් මාත් එක්ක හරියට කතා කරන්නේ නෑ කියලා චෝදනා නගපු බිරින්ඳෑවරු හිසේ කෙස් ගාණයි.

පස්සේ මම මේ දෙන්නා එක්ක තනි තනිව කතා කළා. එතකොට ඒ සැමියා කිව්වේ රස්සාවට ගිහින් ගෙදර ඇවිල්ලා මට නිදහසේ හුස්මක් ගන්න බැහැ. දොරෙන් ඇතුළට යන්න කලින් කියවිල්ල පටන්ගන්නවා. මෙයා උදේ ඉඳලා කරපුවා විතරක් නෙමේ එහා ගෙදරයි ඊට අල්ලපු ගෙදර අයයි කරපුවත් කියනවා. ඒකත් කමක් නෑ කියමුකෝ මිස්. ඒක නෙමේ හොඳම දේ. මගේ වයිෆ් කොයිවෙලේවත් මට කතා කරන්න දෙන්නේ නැහැ. හැමවෙලේම කතා කරන්නේ එයා විතරයි. ඒ නිසා මම දැන් එයා කියන ඒවත් ඇහෙන්නෑ වගේ ඉන්නවාකියලයි.

මේ බිරිඳ ඇගේ පවුලේ එකම දරුවාලු. දෙමාපියන් රැකියාවල කාර්යබහුල වුණු නිසා පුංචි සන්ධියේ  ඉඳලම ඇයට කතාබහ කරන්න‍, ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉඳලා නැහැ. ඉතින් ඇගේ මේ හැසිරීමට හේතුව වුණේ ඒක. කොහොමත් සොබාවයෙන්ම කාන්තාවන් පිරිමින්ට වඩා කතාවට දක්ෂයිනේ. ඉතින් බිරිඳ කියන දේවලට ටිකක් වැඩිපුර අවධානය දෙන්න කියලා මම සැමියට කිව්වා.

ඒ වගේම බිරිඳ එකම දේ නැවත නැවත කියනවා කියලාත් ඔහු කිව්වා. සාමාන්‍යයෙන් කෙනෙක් එකම දේ නැවත නැවත කියන්නේ ඒ අවශ්‍ය ප්‍රතිචාරය නොලැබුණාමයි. හරියට පුංචි දරුවෙක් සෙල්ලම් බඩුවක් දෙනකල්ම අඬනවා වගේ. ඒ කාරණාවත් සැමියට පැහැදිලි කළා.

සැමියටත් කතා කරන්න ඉඩක් දෙන්න ඕනේ කියන එක මම බිරිඳට පැහැදිලි කළා. ඒ වගේම දෙයක් කතා කරන්න වෙලාවක් තියෙන්න ඕනේ. සැමියා මහන්සි වෙලා ගෙදර එනකොටම කතා කරන්න පටන්ගන්න එක ප්‍රායෝගික නැහැ. මොකද මහන්සි වුණු මොළය ඇහුම්කන් දෙන්න කොහෙත්ම සූදානම් නැහැ. ඒ වගේම අනුන්ගේ ඕපාදූප කතා නොකර පවුල් ජීවිතේට වැදගත් දේ කතා කිරීම වඩා වැදගත් බවත් ඇයට තේරුම් කළා.

පුරුෂ පාර්ශවයේ බහුකාර්ය හැකියාව අඩුයි. ඉතින් වැඩක් කරන ගමන් ඔවුන්ට යමකට උවමනාවෙන් සවන් දෙන්න බැහැ. නමුත් කාන්තාවන්ට වැඩ කිහිපයක් කරන ගමන් වුණත් හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන්. පිරිමි උදවිය ඇහුම්කන්දීම සහ කතා කිරීම හිතාමතාම මගඅරින අවස්ථාත් තියෙනවා. බිරිඳ කතා කරන දෙයට සහ සොබාවයට අකමැති නම් ඔහු හිතාමතා එය මගඅරිනවා. කෝපයෙන් ඉන්නකොට, ගැටලුවක ඉන්නකොට වගේම තමන්ගේ අතින් වරදක් වුණු වෙලාවටත් ඔවුන් මේ හැසිරීම පෙන්වනවා. පිරිමි මනසේ මේ ස්වභාවයන් තේරුම්ගන්න බිරියන් දක්ෂ වෙන්න ඕනේ.

හොඳ සවන්දීමකට මනෝවිද්‍යාවෙදි අපි කියන්නේ සක්‍රීය සවන්දීම කියලා. දෙයක් කියද්දි අනෙකා ඒක සාවදානයෙන් අහගෙන ඉන්න බව කතා කරන කෙනාට දැනෙන්න හරින්න ඕනේ. හොඳ සවන් දෙන්නෙක්ට අනෙකාගේ මුහුණේ ඉරියව්, අංගචලන පවා පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. සක්‍රීය සවන් දීමෙන් සහ නිතරම හොඳ සංවාද ගොඩනගා ගැනීමෙන් සැමියා/බිරිඳ දුකින්ද, සතුටින්ද, ප්‍රශ්න ගැටලු තියෙනවද ඔවැනි දේ එළියට ගන්න පහසුයි. ඒක දෙන්නාගේ සම්බන්ධය වැඩිවෙන්න විතරක් නෙමෙයි ගැටලු විසඳාගැනීමටත් පහසුවක්.

විවාහයට කලින් කුරුල්ලෝ වගේ කුචු කුචු ගගා පෙම්බස් දොඩන අය විවාහයෙන් පස්සේ කතා කිරීම සහ ඇහුම්කන්දීම අතඇරලම දානවා. මැදිවියේ යුවළක් බස් එකක ආදරෙන් කතා කර කර ගියොත් ඒ හොර කපල් එකක් කියලා මිනිස්සු කියන්නේ ඒකනේ. බැන්දට පස්සෙ ආදරෙන් කතාබහ කරන එක අපේ සමාජයට ඒ තරම් පුදුමයක්. දෙන්නා අතර හොඳ සංවාද ඇති කරගන්න වයස, විවාහයෙන් ගතවුණු අවුරුදු ගාණ බාධාවක් කරගන්න එපා. පෙම්වතුන්ව ඉන්න කාලෙදිම දෙන්නා අතර හොඳ සංවාදයක් ගොඩනගාගන්න බැහැයි කියලා හිතෙනවා නම් ඒ විවාහයකට නොයන තරමට හොදයි කියලයි මම නම් කියන්නේ.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here