Home හරිත යාය ඔබ මැරෙන හැටි ඔබ ම තීරණය කර ඇත! – Sri News

ඔබ මැරෙන හැටි ඔබ ම තීරණය කර ඇත! – Sri News

0
14


සියලූ සත්වයෝ ආහාරයෙන් යැපෙති. එමෙන් ම සියලූ සත්වයෝ මරණය උරුම කරගෙන සිටිති. එහෙත් ඔබේ ආහාර රටාව නිසා ඔබ මැරෙන ආකාරය ඔබ ම තීරණය කරගෙන ඇති බව ඔබ නිකමටවත් සිතා බැලූවා ද?

කාබනික ගොවිතැන විසින් ස්වාභාවික ක‍්‍රම මගින් ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය කිරීමට මුල් තැන දෙනු ලබයි. රසායනික ක‍්‍රම මගින් නිපදවන සහ අනතුරුව කර්මාන්තශාලාවල නැවත සකස් කරන ලද ආහාර අනුභවය තුළින් අපගේ සෞඛ්‍යය අතිශයින් ම අනතුරට ලක් කර ඇතිබවට සාධක එන්න එන්න ම බහුල ව ලැබෙමින් පවතී. හෘද රෝග, දියවැඩියාව, පිළිකා, අධිරුධිර පීඩනය වැනි ඔබේ ජීවන රටාව නිසා වැළඳෙන රෝග දැන් ඉහළ ම මට්ටමකට පැමිණ ඇත. ඔබ මරණයට පත්වන ආකාරය පිළිබඳ ව කිසිවකුටත් වගකීම හෝ දොස් පැවරීමට වුවමනාවක් නැත. ඔබේ මරණය සිදුවන ආකාරය තීරණය කරන්නේ ඔබ ම ය.

ළදරු කිරිපිටි විකුණා ගැනීම සඳහා මෑතක දී බහු ජාතික සමාගම් යොදාගන්නා උපක‍්‍රමයක් නම් එ්වායේ ‘ප්‍රෝබයොටික්’ අඩංගු බවට මහත් හඬක් නැගීම ය. මේ ප්‍රෝබයොටික් යනු කුමක්ද? විකිපීඩියා විශ්ව කෝෂයට අනුව එ්වා හිතකර බැක්ටීරියා ය. බැක්ටීරියා යනු අහිතකර ක්ෂුද්‍රජීවී කොට්ඨාසයක් ලෙස සලකන ලද නමුත් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ‘එලි මෙච්නිකොෆ්’ (Eli Metchnikoff) විසින් 1907 දී පළ කරන ලද හෙළිදරව්වක් අනුව ආහාර මාර්ගයේ ඇති ඇතැම් බැක්ටීරියා වර්ග ආහාර ජීර්ණ ක‍්‍රියාවලියේ දී ආධාරකයක් වන බව බටහිර විද්‍යාඥයන් විසින් පිළිගන්නා ලදි.

මේ අනුව තේරුම් ගත යුතු කරුණ නම් හිතකර බැක්ටීරියා අප සිරුරේ ස්වාභාවික ව හට ගන්නා ක්ෂුද්‍ර ජීවී විශේෂයක් බවයි. ‘හිතකර’ යන විශේෂණ පදය යෙදීමෙන් ගම්‍ය වන අනෙක් කාරණය නම් රෝගකාරක ‘අහිතකර’ බැක්ටීරියා ද අප සිරුර තුළ තිබෙන බවයි.

ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ කතා කිරීමේ දී, බටහිර විද්‍යාඥයන් විසින් ‘ක්ෂුද්‍රජීවී පද්ධතියක්’ (micro biome) යන යෙදුම භාවිත කරනු ලබයි. මිනිස් සිරුරේ සම මතුපිට, ආහාර ජීර්ණ පද්ධතියේ, කෙළවල සහ ක්ෂාරයන්වල පවතින බැක්ටීරියා, එ්ක සෛල ක්ෂුද්‍රජීවීන් සහ පුස් වර්ගවල සමස්තය ‘ක්ෂුද්‍ර ජීවී පද්ධතියක්’ (human micro biome) ලෙස හඳුන්වන්නට හැකි ය. මෙම ක්ෂුද්‍ර ජීවීන් හිතකර සහ අහිතකර යන දෙචර්ගයට ම අයත් ය. හිතකර හෝ අහිතකර පමණක් වන දෙයක් සොබාදහම (අටලෝදහම) අනුව පවතින්නට හැකියාවක් නැත.

අප අවට පරිසරයේ ද පවතින්නේ මෙවැනි ක්ෂුද්‍ර ජීවී පද්ධතියකි. හොඳ – නරක, හිතකර – අහිතකර ආදි වචන භාවිත කරමින් අප මේවා හඳුනාගත්ත ද, එය ස්වාභාවික පරිසර පද්ධතියක පවතින සාමාන්‍ය තත්ත්වයකි. අවට පරිසරයේ මෙන් ම අප සිරුර තුළ ද මෙම ක්ෂුද්‍ර ජීවී පද්ධතිය මිනිසා ආරම්භයේ සිට ම පවතින්නකි. එය ස්වභාවධර්මයේ පොදු නියමයකි.

එසේ නම් දැන් දැන් හිතකර බැක්ටීරියා ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඇයි?

අප අනුභව කරන ආහාර අප සිරුර තුළ පවතින සමතුලිතතාවට ඍජුව ම බලපායි. ස්වාභාවික නොවන සකස් කරන ලද ආහාර අනුභව කිරීම තුළ මෙම අසමතුලිත බව ඇතිවන බව ඔප්පු වී ඇත. අයෝග්‍ය ආහාර ගැනීම නිසා ම බොහෝ නවීන රෝග වන හෘදයාබාධ, පිළිකා, ඇදුම, ආතරයිටිස්, අසාත්මිකතාවන්, විෂාදිය, දියවැඩියාව වැළඳෙන බව ඔප්පු කර හමාර ය.

අපගේ පැරැන්නන් ‘ආහාර ඖෂධයකි, ඖෂධ ආහාරයකි’ යන දර්ශනයේ පිහිටා කටයුතු කළ බව අපගේ පැරණි වෙදකම අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක‍්‍රටීස් පවා එම අදහසේ ම පිහිටා සිටියේ ය. එම නිසා ම ආහාරවලට විෂ රසායනයන් ඇතුළත් කිරීමට කිසිවෙකුත් පෙළඹුනේ නැත. ස්වභාව ධර්මයේ නියමයන් පිළිගනිමින් ආහාර සැකසීම කළේ එම නිසා ය.

එහෙත් පසුගිය අර්ධ ශත වර්ෂයක පමණ කාලයේ සිට ලෝක ආහාර නිෂ්පාදනය සහ සැපයීම වාණිජකරණය වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ සියල්ල කණපිට පෙරළී ඇත. වාණිජ සමාගම් තම ප‍්‍රචාරණ මාධ්‍යයෙන් අපගේ මනසට බලපෑම් කර ඇත්තේ සකස් කරන ලද ආහාරවල සියලූ සෞඛ්‍ය ගැටලූවලට පිළියම් ඇති බව ය. එ්වාට විටමින් සහ වෙනත් පෝෂ්‍ය කොටස් එකතු කර ඇති බව ය. එම ආහාර නො ගතහොත් ඔබේ දරුවාගේ මොළය වැඩෙන්නේ නැත. එ්වා අනුභවයෙන් ශරීර ශක්තිය වැඞී අති දක්ෂ ක‍්‍රීඩකයකු වන්නට පුළුවන. පැහැපත් සමක් සහිත ව ලස්සන වන්නට පුළුවන. අපි ද මේ දිරූ ලණු ගැට පිටින් ගිල්ලෙමු. එ් සාවද්‍ය ප‍්‍රචාරණයන්ට රැුවටුණු අපි ස්වාභාවික ආහාරවලට වඩා සකස් කරන ලද ආහාරවලට වැඩි ප‍්‍රමුඛතාවක් ලබා දී ඇත්තෙමු.

එහෙත් ඇත්ත වශයෙන් ම සිදුව ඇත්තේ කුමක්ද? සකස් කරන ලද ආහාර නිසා අප ආහාර ජීර්ණ පද්ධතියේ බැක්ටීරීයා විවිධත්වය අඩු වීමක් වන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අපගේ තිබිය යුතු ස්වභාවික ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට හානි වීමයි. අද බහුල ව පවතින ගැස්ට‍්‍රයිටිස් වැනි ප‍්‍රදාහ රෝගවල මූලාරම්භය මෙයයි.

නවීන වෛද්‍යවරුන් පවා නිතර මතක් කරන ඉතාමත් වැදගත් කාරණය වන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කෙඳි බහුල ආහාර අවශ්‍ය ම බව ය. අප සිරුර තුළ ක්ෂුද්‍ර ජීවී විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තන්තු (කෙඳි) බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍ය ය. එ් සඳහා එළවළු, පලතුරු සහ ඇට වර්ග අප ආහාරයට නිතර ඇතුළත් කළ යුතු ය.

අවධානය යොමු කළ යුතු තවත් කරුණක් නම් අද වෙළඳ පොළෙහි ඇති බොහෝ සකස් කරන ලද ආහාරවල ජාන වෙනස් කරන ලද ආහාර ද අඩංගු බව ය. බඩ ඉරිඟු සහ සෝයාවලින් 98% පමණ ම ජාන වෙනස් කරන ලද එ්වා ය. ආහාර සැකසිමේ දී සෝයා සහ ඉරිඟු ආහාර නිෂ්පාදන කොටස් බොහෝ ලෙස යොදා ගනු ලබයි. තවද අධික රසායන වර්ග එ්වා නිපදවීමේ දී භාවිතා වේ. ග්ලයිෆොසේට් අඩංගු වල් නාශක යොදා ගනු ලැබ කරන නිෂ්පාදනවල, ග්ලයිෆොසේට් ශේෂයන් අඩංගු වන බව විද්‍යාත්මකව තහවුරු කළ සත්‍යයකි. ග්ලයිෆොසේට් විෂ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ ප‍්‍රදාහයන් ඇති කිරීමට අමතරව තවත් බොහෝ රෝගවලට මග පාදනු ලබයි. ඔබ අනුභව කරන පැණිරස අඩංගු ආහාර, චිප්ස් වර්ග, පැණි බීමවල, ක්ෂණික ආහාර අවන්හල්වල භාවිත කරන තෙල්වල ජාන වෙනස් කරන ලද ආහාර අඩංගු ය.

කෙඳි සහිත ආහාර සිරුර තුළ හිතකර බැක්ටීරියා නිපදවීමට ආධාර වන අතර ඉන් ප‍්‍රදාහ රෝග තත්ත්වයන් ඇති කිරීම වළක්වනු ලබයි.

අප වගාකරන පැළෑටි තම සියලූ පෝෂකයන් උරා ගන්නේ පස සහ වාතය හරහා ය. පැළෑටිවලට අවශ්‍ය ශක්තිය නිපැයෙන ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලිය තුළ පසෙහි ඇති පෝෂක කොටස් පැළෑටි මුල්වලට සහ කොළවලට ඇද ගනී. කාබනික වගාවේ දී ගොවීන් විසින් යොදන කාබනික ද්‍රව්‍ය නිසා පසෙහි සියලූ ම ක්ෂුද්‍ර ජිවී ක‍්‍රියාකාරිත්වයන් වර්ධනය වීමේ ඉඩකඩ වැඩි කෙරේ. පසෙහි ඇති ලවණ වර්ග මෙන් ම ඇමයිනෝ අම්ල සහ විටමින් ද මේ හරහා පැළෑටි මගින් උරා ගනී.

කාබනික, එමෙන් ම සකස් නො කරන ලද ආහාර අනුභවය කරන්නේ නම් පැළෑටි මගින් මෙලෙස උරා ගන්නා හිතකර ක්ෂුද්‍රජීවීන් අප ආහාර ජීර්ණ පද්ධතියට එකතු වනු ඇත. ඉන් සිදු වන වාසිය නම් ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියට හිතකර ක්ෂුද්‍ර ජීවීන් ඇතුළත් වන අතර ඔබේ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කිරීමයි. රසායනික ව වගා කළ ආහාර සහ සකසන ලද ආහාර පරිභෝජනයේ දී මෙම ක‍්‍රියාවලියට ඉඩකඩ අවම ය. ඇත්තෙන්ම සිදු වන්නේ සිරුරට හානිකර විෂ එකතු වීම තුළින් ක්ෂුද්‍ර ජීවී සමතුලිත බව නැති කිරීම ය.

ඔබගේ සිරුර තුළ ස්වාභාවික ව සිටිය යුතු ‘ප්‍රෝබයොටික්’ වැනි හිතකර බැක්ටීරියා දැන් ඔබට බහුජාතික සමාගම්වලින් මිල දී ගැනීමට සිදු වීම කෙතරම් අභාග්‍ය සම්පන්න දෙයක් ද? සමස්ත ස්වාභාවික ආහාර ක‍්‍රියාවලිය කණපිට හරවා ගත් පසු ඔබේ ළදරුවාට හිතකර බැක්ටීරියා අඩංගු ළදරු කිරි ආහාර සොයා යාමට සිිදු වීම තරම් තවත් අභාග්‍යයක් ඇත් ද?

ඔබ ජීවත්වීමට තෝරා ගන්නා ආහාර රටාව ඔබේ මරණය සිදු වන ආකාරය ද තීරණය කරන බව තේරුම් ගත යුතු කාලය එළඹ ඇත.
මේ ඔබට සිතන්නට කාලයයි.

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.



Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here