ඔබේ ලස්සන වැඩි වෙන්න photos ගන්නෙ මෙහෙමයි… – Sri News

0
24

ඡායාරූපයක් කියන්නෙ මොකක් හරි විශේෂ අවස්ථාවක් ගැන මතක තියාගන්න අපි ලඟ තියෙන හරි අපූරු සමරු සටහන් වර්ග වලින් එකක්නෙ.

ඒ ඒ අවස්ථා වලදී ගන්න ඡායාරූප අපේ සමීපතමයන් අතරෙ බෙදාගන්න අපි හරිම කැමතියි. 

ඡායාරූපයක් ගනිද්දි ඒ ඡායාරූපයේ අපි ලස්සනට පේන්න ඉන්නවද කියන කාරණාව ගැන අපි කවුරුත් සැළකිලිමත් ඒ නිසාමයිනෙ. 

ඔන්න ඒ වගේ වෙලාවල් වලදි තමයි අපේ ශරීරයේ සමහර අඩුපාඩු තියෙනව කියල අපිට හිතෙන්නෙ.

අපි එකිනෙකාට ආවේණික සුන්දරත්වයක් අපි හැමෝටම තියෙනව සහ ඒ ගැන අපි තෘප්තිමත් වෙන්නම ඕනෙ වුනත් ඔබට සතුටු හිතෙන විදිහට ඔබට හිතෙන ඔබේ අඩුපාඩු සකසා ගන්න පුළුවන් නම් ඒ කාරණාවේ කිසිම වරදක් නැහැ. 

ඉතිං ඡායාරූප ගනිද්දි වගේම වෙන කෙනෙක්ගෙ ඡායාරූපයක් නරඹද්දි වුනත් අපේ අවදානය මුලින්ම යොමුවෙන ශරීර අංගයක් තමයි අපේ මුහුණ කියන්නෙ. ඒ නිසා මුහුණ ලස්සනට පේනවද කියන කාරණාව ගැන අපි හුඟක් සැළකිලිමත්.

අන්න ඒ නිසාම ඡායාරූප ගද්දි මුහුණේ මහත එහෙමත් නැත්නම් double chin සඟවල ඡායාරූප ගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. 

බලමුද එහෙනම් ඒ කොහොමද කියල? 

කැමරාව හරියට සකසා ගන්න

ඔබේ කැමරාව සහ මුහුණ අතර යම් දුරක් පැවතිය යුතුයි වගේම කැමරාව කම්මුල් සහ කටට වඩා යම් ප්‍රමාණයක් ඉහළට සිටින සේ සකසා ගැනීම නම් අනිවාර්‍යයි. 

ඒ මොකද කැමරාව ඔබේ මුහුණට ලඟින් තියෙද්දි කැමරාවේ සහ ඡායාරූප තිරයේ අවධානය ප්‍රධාන වශයෙන් යොමුවෙන්නෙ ඔබේ කම්මුල් වලට වීම නිසයි. 

එවිට අනවශ්‍ය ලෙස ඒ ප්‍රදේශ පළල් වී පෙන්වීම සිදුවෙනවා. 

ඒ නිසා කැමරාව සහ මුහුණ අතර සැලකිය යුතු දුර ප්‍රමාණයක් පැවතීමත් කැමරාව තරමක් ඉහළට ඔසවා ඡායාරූප ගැනීමත් වඩා සුදුසුයි. 

ආලෝකය

හොඳ ආලෝකයක් ඔබේ මුහුණේ කම්මුල් මතට වැටීමට සැලැස්වීමත් මුහුණේ මහත අඩු කරල පෙන්වන්න ඉතාම සාර්ථක උපක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

ඡායාරූප ශිල්පීන් පවසන්නෙ ආලෝකය මඟින් ඔබේ මුහුණ මත ඇති කරන සෙවණැලි නිසා මුහුණේ මහත අඩුකර පෙන්වන බවයි. 

ඒ නිසා ඇතුළත දී නම් හොඳින් හිරු එළිය වැටෙන ජනේලයක් ලඟ සිට ආලෝකයට මුහුණලා හෝ පිටතදී ගසක් වැනි සෙවණක් සහිත ස්ථානයක සිට ආලෝකය දෙසට මුහුණලා ඡායාරූප ගන්න ඔබට පුළුවන්. 

කැස්බෑ බෙල්ල 

කැස්බෑව කටුවෙන් එළියට බෙල්ල දික් කරනව දැකල තියෙනවද? 

මේ Peach Tucking එහෙමත් නැත්නම් Turtle Neck Stretch Technique කියන්නෙත් මුහුණෙ අනවශ්‍ය මහත සඟවන්න හොඳ උපක්‍රමයක්. 

ඡායාරූප ගනිද්දි ඔබ ඔබේ මුහුණ බෙල්ලට තද කරගෙන බෙල්ල ලඟින් තබාගෙන හිටියොත් මුහුණේ යටින් ඇති මේද ස්ථරය වෙනම කැපී පෙනීම සිදුවෙනවා. සමහර විට ඔබ සාමාන්‍යයෙන් ඉන්නවටත් වඩා මුහුණේ මහත වැඩිවෙලා ඡායාරූප වල පෙනෙන්න තිබීමත් වෙන්න පුළුවන්. 

ඒ නිසා, ඡායාරූප ගද්දි බෙල්ල තද කරල මුහුණ ටිකක් ඉදිරියට තල්ලු කිරීම කරන්නයි ඔබට තියන්නෙ. 

මේ විදිහට මුහුණේ යටින් එල්ලා වැටෙන මේද ස්ථරය නොපෙනෙන්න ඡායාරූප ගන්න ඔබට පුළුවන්. විශේෂයෙන්ම මුහුණේ පැති පෙනුමෙන් ඡායාරූප ගද්දි මේ විදිහට අරන් බලන්නකෝ. හරිම ලස්සනට පෙනේවී. 

ලොකුවට හිනාවෙන්න එපා 

හිනාවෙද්දි අපි කවුරුත් ලස්සනයි. 

එහෙමයි කියල තොල් ගොඩක් පළල් කරල කට ලොකුවට ඇරල හිනාවුනොත් නම් ඔබේ මුහුණ වඩා පළල්ව පෙන්නනව වගේම නිකටවල් දෙකක් සහ සමේ රැලි ඇතිවී පෙන්නන්නත් හේතුවෙනවා. 

හැබැයි මේ කියන දේ වැරදියට අරන් ඡායාරූප වලට හිනා නොවී ඉන්න නම් එපා.  තොල් ගොඩක් විහිදන්නෙ නැතුව සාමාන්‍ය ප්‍රමාණයට විහිදවල ඳීප්තිමත් ඇස් වලින් ලස්සනට හිනාවෙන්න. 

මුහුණ ටිකක් හරවන්න

මුහුණ කෙලින්ම තියාගෙන ඉදිරිපස බලාගෙන ඡායාරූප ගන්නවට වඩා මුහුණ මඳක් පැත්තට හරවා කැමරාව දෙස බලා ඡායාරූප ගැනීමෙනුත් මුහුණේ මහත අඩුකර පෙන්වන්න ඔබට පුළුවන්. 

කොණ්ඩේ පාවිච්චි කරන්න

කොණ්ඩෙ පිටුපසට කර සිරකර බැඳීමෙනුත් මුහුණේ මහත වැඩිකර පෙන්වනවා. ඒ නිසා කොණ්ඩය කඩා දමා හෝ ඔබේ මුහුණේ එක් පැත්තක් කොණ්ඩයෙන් වැසීමට සලස්වන්නත් ඔබට පුළුවන්. 

ඉරියව් හරිම වැදගත් 

වාඩිවී සිටින විට ඕනෑම කෙනෙක් තරමක් විශාල වී පෙනීම ස්වභාවිකයි. 

ඔබ වාඩිවී ඡායාරූප ගන්නවා නම් මුහුණ උරහිස් අත් කකුල් සියල්ලම එකට තද නොකරගෙන උරහිස් ඍජුව පිටුපසට ගෙන අපි කලින් සඳහන් කල පරිදි බෙල්ල ඉදිරියට දිගු කරගෙන ඉන්න ඔබට පුළුවන්. 

අත් විහිදුවන්න වගේම ඔබේ නිකට අල්ලාගෙන සිටින ඉරියව්වකට ගේන්නත් කකුල් තරමක් විහිදුවා ඡායාරූප ගන්නත් මුහුණ මතට යොමුවෙන අනවශ්‍ය අවධානය අඩු කරන්න ඔබට උදව් වෙනවා. 

ඒ නිසා ශරීරය අකුළවා ගෙන ඡායාරූප ගන්න එපා. ඍජුව ශරීරය විහිදුවා ඉරියව්ව සකසා ගන්න අමතක කරන්නත් එපා. 

ඉතිං, මේ විදිහට ඡායාරූප ගත්තොත් ඔබේ මුහුණේ මහත අඩු කරල පෙන්වන්න ඔබට පුළුවන්. 

ඔබ විවේකීව සිටින වෙලාවට මේ පියවර උත්සහ කරල බලන්නකෝ. ටිකක් හුරුපුරුදු වුනාට පස්සෙ ඔබ නොදැනුවත්වම මේ විදිහට ඡායාරූප ගන්න ඔබේ ඉරියව් සැකසේවී. 

එහෙනම් මේ වගේම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නම්. 

සටහන –  දුලානි නවෝද්‍යා 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here