ඔබේ යොවුන් වියේ දරුවා නොමග නොයන්නට නම්… – Sri News

0
5

පසුගිය දවස්වල සිදුවුණ මාතර සිදුවීම ගැන රටම කතාවෙන්නට, කම්පා වෙන්නට පටන් ගත්තා. ඒ සිදුවීමෙන් මියගිය යොවුන් දරුවා පිළිබඳ ශෝක වුණා හා සමානවම එම ඝාතනයට සැක කරන යොවුන් දරුවා පිළිබඳ වෛරයකින්, ඉමහත් කෝපයකින් කතා කරන්නටත් හැම දෙනෙක්ම පෙළඹුණා. විශේෂයෙන්ම දරුවෙක් සුළු සිදුවීමක් නිසා තවත් දරුවෙකුට පිහියෙන් ඇන මරන්නට තරම් සැහැසි වුණේ කොහොමද කියන එක ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කථා කෙරුණා, බොහෝ දෙනෙක් ඒ පිළිබඳ මතයන්, න්‍යායන් ඉදිරිපත් කළා. හැබැයි අපි කතා කරන්න යන්නේ ඒ එක දෙයක් ගැනවත් නෙවෙයි. යොවුන් දරුවෙක් සිටිනා මවක් හෝ පියෙක්ට තියෙන්නේ ලෙහෙසි පහසු වගකීමක් නෙවෙයි. හැබැයි නිවැරදිව, මනා බුද්ධියෙන් කටයුතු කරනවා නම් ඒ වගකීම ඉෂ්ට කරලා සමාජයට වටින මනුස්සයෙක්ව දායාද කරන එක කළ නොහැක්කකුත් නෙවෙයි. මේ ඒ වෙනුවෙන් අපෙන් උපදෙස් කීපයක්.

 

වැරදි හෙඩිමක් කියලා හිතුවද? නැහැ. මේක තමයි ඇත්ත කතාව. ගොඩක් වෙලාවට තරුණ වයසේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා පහසුවෙන්ම කරන වැරැද්දක් තමයි තමන්ගේ දරුවන්ගේ යාලුවා වෙන්න යන එක. අම්මලා තාත්තලා හිතනවා යාලුවෝ වගේ හිටියහම දරුවෝ තමන්ට හැමදේම කියලා, ළඟින් ඉඳීවි කියලා. හැබැයි දෙමාපියෝ වෙන එකේ පළවෙනිම කාරණයක් තමයි දරුවන්ට මග පෙන්වීම. එතැනදී දරුවෙක් කියන්නේ මුහුකුරා ගියපු බුද්ධියකින් යුක්ත වැඩිහිටියෙක් නෙවෙයි. ඒ නිසා දරුවන්ට නීති රීති පනවන්න සිද්ධ වෙනවා ඇතැම් අවස්ථාවක. දැන් තමන්ගේ හොඳම යාලුවා තමන්ට නීති දාන්න එනකොට මොකද වෙන්නේ? හොඳම යාලුවා ලොකුම ද්‍රෝහියා වෙලා තමයි නවතින්නේ. ඒ නිසා කරුණාකරලා තමන්ගේ යොවුන් වියේ දරුවාගේ යාලුවා වෙන්න යන්න එපා!

 

මෙන්න මේක තමයි උඩින් කිවුව කාරණාව එක්ක පටලවා නොගත යුතු කාරණාව. යොවුන් වියේ දරුවාගේ ජීවිතයේ ඉන්න සමීපතම ‘වැඩිහිටියා’ වෙන එක. මෙතනදී තමන් අතිශය සාධාරණ වීම ඉතාම වැදගත්. ගොඩක් වෙලාවට දෙමාපියෝ කැමති නැහැ තමන්ගේ වැ‍රැද්දක් දරුවෙක් ඉස්සරහා හෙළිදරවු වෙනවට. එතකොට ගොඩක් වෙලාවට දෙමාපියන් තමන්ට වරදින මොහොතක, තමන් හිරවුණු මොහොතක, තමන් නරක මූඩ් එකකින් ඉන්න මොහොතක දරුවන්ට අසාධාරණ විදියට නීති දාන්න, සැරපරුෂ වෙන්න පුලුවන්. අන්න ඒක හොඳ නෑ. හැමවෙලාවේම සර්ව සාධාරණ වෙන්න. වැ‍රැද්දක් නැතිව කිසිසේත්ම දඬුවම් නොදෙන්න. දරුවෙක්ගේ වැ‍රැද්දක් දකින මොහොතක විතරක් ඊට ප්‍රමාණවත් දඬුවමක් දෙන්න. හැබැයි මේ දඬුවම් ශාරීරික හෝ වාචික හිංසනය නොවෙන්න ඕන. වඩාත් යෝග්‍ය දඬුවම තමයි සීමාවන් පනවන එක. ඒ වගේම දරුවෙක්ගේ හොඳකට හැමවිටම ප්‍රශංසා කරන්න. ඔබ සාධාරණයි, හැබැයි වරදකදී මානුෂීයව වුනත් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක දරුවාගේ හිතේ තියෙන්න වුවමනායි.

 

හොඳ අම්මෙක් තාත්තෙක් අර උඩින් කියපු විදියට තමන්ගේ යෞවන දරුවාට යාලුවෙක් වෙන්න නොගියත්, දරුවෝ එක්ක සමීපව කටයුතු කරන්න දන්නවා. මේකට එක රහසක් තමයි නිරන්තර සන්නිවේදනය. දරුවෝ එක්ක ඔවුන්ගේ එදිනෙදා සිදුවීම් කතාබහ කරන්න. පාසැලේ කටයුතු, යහළු යෙහෙළියන්ගේ කටයුතු ගැන කතාබහ කරන්න. දැනුවත් වෙලා ඉන්න. මෙතනදී අනිවාර්යයෙන්ම තමන්ටත් යම් ප්‍රමාණයකට විවෘත වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක නරක දෙයක් නෙවෙයි. තමන්ගේ මව සහ පියා තමන්ගේ ජීවිතේ ඕනෑම දෙයක් කියන්න පුලුවන් වැඩිමහල්ලා කියලා දරුවන්ට තේරෙනවා කියන්නේ, ඒ අය මවගෙන් පියාගෙන් රහස් තියාගන්නේ නෑ කියන එක තමයි. හැබැයි ඒ තැනට එන්න නම් අම්මට තාත්තට කොයි තරම් කාර්යබහුල වුනත් දරුවන් එක්ක කාලය ගත කරන්න දිනපතා යම් කිසි කාලයක් හොයාගන්න සිද්ධ වෙනවා.

 

තමන් දරුවෝ හදනවා නම්, ඕනෑම දෙමාපියෙක් සීයෙට සීයක් හිතට ගන්න වුවමනා කාරණාවක් තමයි මේ. තමන්ගේ දරුවන්ට තමන් විසින්ම නරක පූර්වාදර්ශයන් නොසැපයීම. උදාහරණයක් විදියට ගත්තොත්, හොඳට ෂොට් එක දාලා, කණ් පාත් වෙලා ගෙදරට ඇවිත් කෑම පරක්කුයි කියලා අම්මට තඩිබාන තාත්තෙක්ගෙන් යොවුන් වියේ දරුවෙක්ට නිසි පූර්වාදර්ශයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි මැර බලයෙන් ජීවත් වෙන, සමාජ සදාචාරයන් බල්ලට දාලා සලකන දෙමාපියන්ගෙන් යොවුන් වියේ දරුවෙක් යහගුණදම් ඉගෙන ගන්නේ නෑ. ආන්න ඒ නිසා තමන් ආදර්ශයෙන් දරුවෙක්ගේ ජීවිතයට නායකත්වය දෙන්න ඕන.

අපි හැමෝම දුර්වලතා තියෙන, වැරදි කරන මිනිස්සු. හැබැයි යොවුන් වියේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා තමන්ගේ දුර්ගුණ නිවැරදි කරගන්න ඕන. හැම වෙලාවකම ආදර්ශයෙන් යහගුණ පෙන්නලා දෙන්න ඕන.

 

ගොඩක් වෙලාවට අද කාලේ දෙමාපියෝ දෙන්නම වගේ ‍රැකියා කරනවා. එතකොට මේ දෙන්නටම දරුවෝ එක්ක ‍රැ‍ඳෙන්න තියෙන ඉඩ කඩ සාපේක්ෂව ගත්තහම ඉතාමත්ම අඩුයි. හැබැයි මේක හොඳ දෙයක් නෙවෙයි. කොහොමත් අපි උඩිනුත් කිවුවනේ හරි සන්නිවේදනය වැදගත් කියලා. ඒ වගේම තමයි දරුවන් එක්ක තමන්ට කරන්න පුලුවන් යම් යම් ක්‍රියාකාරකම් හොයාගන්න එක සහ ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න කාලය හොයාගන්න එක. උදාහරණයක් විදියට තාත්තට සහ පුතාට මාසෙකට දවසක් පික්නික් එකක් යන්න පුලුවන්. එතකොට අම්මට සහ දුවට මාසෙකට වතාවක් ‍ෆිල්ම් එකක් බලන්න ගිහින් එළියෙන්ම කාලා ගෙදර එන්න පුලුවන්. ඕනෑ නම් කඳු නගින්න යන්න, පීනන්න යන්න, වේදිකා නාට්‍යයක් බලන්න යන්න වගේ ඕනෑම ක්‍රියාකාරකමක් මාසිකව හෝ ඒ වගේ කාල ප්‍රාන්තරයක් තුළ අනිවාර්යයෙන්ම කරන්න යොදාගන්න පුලුවන්. හැබැයි තමන් කොයි තරම් කාර්යබහුල වුනත් ඒ සම්ප්‍රදාය කඩන්න බෑ. මේ විදියේ දේකින් දරුවෝ තමන්ට තවත් සමීප වෙයි.

 

මේක බොහොම කල්පනාකාරී වෙන්න ඕන දෙයක්. දරුවෙක්ගේ පෞද්ගලිකත්වය සුරකින අතරතුරේදීම දරුවා ගැන විමසිල්ලෙන් ඉන්න එක. මේකට යම් යම් එකඟතාවයන් යොදාගන්න පුලුවන්. මේවා ඇත්තටම ඕනෑම යොවුන් දරුවෙක් සහ දෙමාපියන් අතර තිබිය යුතු එකඟතාවයන්. උදාහරණ විදියට ගත්තොත් එදිනෙදා වැඩකටයුතු වලට අමතරව ගෙදර එන්න ප්‍රමාද වෙනවා නම් අනිවාර්යයෙන්ම යන්නේ කොහෙද, යන්නේ කා එක්කද, ගෙදර එන්නේ කීයටද කියන කාරණා වලට අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන්න ඕන. ඒ වගේම දරුවාට ඕන ඕන වෙලාවට ගෙදර එන්න බෑ. ගෙදර ඇඳිරි නීතියක් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් ගෙදර එන්න අට පහුවෙන්න බෑ. එතකොට දරුවාගේ යහළු මිත්‍රයන්, ආශ්‍රය කරන්නන් ගැනත් දෙමාපියෝ මනා අවධානයකින් ඉන්න ඕන. හැබැයි ඒකට ෆෝන් කෝල් වලට හොරෙන් සවන් දෙන එක වගේ දේවල් කරන එක යෝග්‍ය නෑ. වඩාත්ම සුදුසු දේ තමයි දරුවා එක්ක කෙලින් කතා කරලා දරුවෙක් විදියට එයාට තියෙන සීමාවන් ගැන දැනුවත් කරලා තියන එක. හැබැයි දරුවාගේ හැසිරීම් රටා ගැනත් අවධානයෙන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් ගෙදරට හොරෙන් යම් යම් දේවල් කරන්න උත්සාහ කරන දරුවෙක්ගේ හැසිරීම් රටා වෙනස් වෙනවා. එතකොට දෙමාපියෝ විමසිල්ලෙන් හිටියොත් පුළුවන් දරුවාගේ ක්‍රියාකාරකම් ගැන වැඩියෙන් හොයලා බලන්න, ඒ වගේ හැසිරීම වෙනස් වෙන අවස්ථාවකදී.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here