ඔබේ චර්යාවට අපෙන් අදහසක්….. – Sri News

0
4


තමන්ගේ කාලය, ශ්‍රමය, හා ධනය වැය කර ගොඩනගනු ලබන පොදු මධ්‍යස්ථාන අතර පන්සල ගම්වැසියන්ගේ ප්‍රධානම තැනයි. බෞද්ධයන් වෙසෙන ගමක පන්සලක් නොමැතිවීම මහත් අඩුවක් ලෙස සැලකේ. අපේ මුතුන් මිත්තන් පන්සලක් ඉදිකර ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කරවා ගත්තේ එමගින් ගම්වාසීන්ගේ මෙලොව පරලොව දියුනුවට ඉතාමත් සෙතක් සැලසෙන බව සිතූ නිසාම විය හැකිය .

දියුණුව යන්නෙන් බෞද්ධයා අදහස් කරන්නේ ආර්ථික වශයෙන් පොහොසත් වීම පමණක්ම නොවෙයි. සදාචාරාත්මක දියුණුව අනිවාර්යයෙන්ම අංගයක් ලෙස සිතුවා විය හැක. පංචසීලයෙන් යුතු දස අකුසල් ආදියෙන් වැළකුණු මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පරිත්‍යාගශීලී බව සමානාත්මතාවය වැනි ගුණාංගයන්ගෙන් සැරසුණු ජීවිතයක සදාචාරාත්මක බව සදා සුරැකෙයි.

ගම්වැසියන් ආර්ථික වශයෙන් දුර්වල වීම ඒ ගමේ සදාචාර පරිහානියට හේතු විය හැකි අතර ඔවුන් සදාචාරයෙන් පිරිහීම ආර්ථික පරිහානියටද හේතු වෙයි .ඒ නිසාම මේ අංශ දෙක ගැනම සැලකිලිමත් වීම බෞද්ධ සමාජයේ ලක්ෂණයයි. ඒ පිළිබඳව ගම්වැසියන් අවබෝධ කරවා එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ ගමේ පන්සල විසින් .

දහම් පාසල හා ළමා සමාජය උපයෝගී කරගනිමින් දරු දැරියන්ගේ ගුණදහම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නා ස්වාමීන් වහන්සේලා මල් පෙරහැර, බෝධි පූජා වැනි පින්කම් සංවිධානය කරමින් වැඩිහිටියන්ද සමඟ ඒවාට සහභාගි වීමට දරුවන්ව පොළඹවයි. පින්කම් වලට සහභාගි වීමට උනන්දුවක් නැතත් දරුවන්ගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසාත් ඔවුන් කැඳවාගෙන යාමට පැමිණිය යුතු නිසාත් වැඩිහිටියෝ ද පන්සල හා ඇසුරු කරති. මවුපියන් පින්කම් සඳහා කැඳවාගෙන ඒම වටිනා මවුපිය උපස්ථානයක් බව ස්වාමීන් වහන්සේ නිතරම කියාදෙන බැවින් දරු දැරියෝ ද ඒ පිළිබඳව වඩ වඩාත් උනන්දු වෙති.

දායක සභාවන්හි අනුග්‍රහය ඇතුව තරුණයන්ගේ ක්‍රීඩා කුසලතා කලා හැකියාවන් ආදිය දියුණු කර ගැනීමටත් අවශ්‍ය පසුබිම සකස් කරමින් ස්වාමීන් වහන්සේලා කුලගන සමිති මඟින් ළමා සෞඛ්‍ය සංරක්ෂණය, පෝෂණය, පිරිසිදුකම, ගෙවතු වගාව, ආදිය ගැන මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. කුලඟන සමිතිය හා තරුණ සංවිධානය එක්වී සෞඛ්‍ය සායන, ගොවි සම්මන්ත්‍රණ, ආදිය සංවිධානය වෙයි. ඒ සඳහා ප්‍රචාරක කටයුතු කිරීමටත් වැඩිහිටියන් සහභාගී කරවීමටත් ළමා සමාජය බෙහෙවින් දායකත්වයක් දක්වයි .

මේ තරුණ වැඩිහිටි කාටත් ප්‍රයෝජනයට ගත හැකි පුස්තකාලයක් පන්සල් භූමිය තුලම ඉදිකරයි. ප්‍රාදේශීය සභාවේ උදව් උපකාරද ඇතුව මෙම ක්‍රියා සිදුවීමට අවශ්‍ය දායකත්වය දරයි.

ගම පිළිබඳව වූ සම්පූර්ණ සමීක්ෂණ කටයුතු තරුණ සංවිධානය මූලිකත්වයෙන් සිදු වන අතරම ගමේ පාසල් යන, නොයන, දරුවන් රැකියා ඇති නැති අය, නිවාසවල තත්ත්වය, සෞඛ්‍ය පහසුකම්, ආදිය පිළිබඳ තොරතුරු විශාල සංඛ්‍යාවක් පන්සලට රැස් කරන්නේ මේ දරුවන් විසින්.

වරින් වර රජයේ අදාළ අංශ වලට එම තොරතුරු ඉදිරිපත් කරමින් අදාල නිලධාරීන් කැඳවා ගැටලු වලට විසඳුම් සොයා ගනිමින් සාකච්ඡා පවත්වමින් පන්සලේ වඩු කාර්මික පුහුණු, මේසන් පුහුණු වැනි ශිල්පීය කුසලතා නැංවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ඉදල් හැදීම, කොහු බැඳීම, ආර්ථික වටිනාකමක් ඇති මල් වැවීම, ඇඳුම් මැසීම වැනි ස්වයං රැකියාවන් හඳුන්වා දෙමින් ද ඒවාට රාජ්‍ය අංශයෙන් ලබාගත හැකි ආධාරද ලබාගැනීමට සහ ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නේ මේ තරුණ පිරිස් මතින්.

මසකට සතුන් ඇතිකිරීම වැනි ස්වයං රැකියාවකට සිදු වූ අනුබලයක් පන්සලෙන් නොලැබුණු අතර අවිහිංසාවෙන් ධනය ඉපදීමේ ආදීනව ද ස්වාමීන් වහන්සේලාගෙන් නිරන්තරව මේ සමාජය දැනුවත් කරන ලදී .

පන්සල මූලික කොට ගනිමින් ඉතිරිකිරීම අරපිරිමැස්මට යනු ගම්වැසියන් පොලඹවන ඉතාමත් හිතවාදී කටයුතුය. ළමා සමාජයේ සෑම සාමාජිකයෙකුම ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළ යුතු වූ අතර කැටයක් ළඟ තබාගත යුතුය. පන්සලේ ද විශේෂ පිං කැටයක් තිබේ. ලැබෙන මුදල්වලින් සුබසාධන අරමුදලක් පිහිටුවමින් අසරණ වැඩිහිටියන් දිළින්දන් දිළිඳු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුදල් වැය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ද සකස් වෙයි.

නිරන්තරයෙන් පන්සල ඇසුරු කරන ළමා සමාජයේ සාමාජිකයන්ට ස්වාමීන් වහන්සේගේ අනුශාසනා බැහැර කිරීමට නො සිතෙන තරමටම උන්වහන්සේ කෙරෙහි ගෞරවනීය භක්තියක් ඇති වෙයි. ගෙදර වැඩිහිටියන්ට මේ පණිවුඩ ගෙන යන පිරිසක් බවට ඒ අය පත් වෙයි. ඉන් අනතුරුව ම සෑම නිවසකම සුරාපානය සුරාපානයේ ආදීනව අරපිරිමැස්ම හා ඉතිරි කිරීමේ ආනිසංස අඹුසැමි සමගියේ වැදගත්කම දරුවන්ගේ වටිනාකම ආදිය ගැන කියවෙන පාඨ ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් නෙත් සටහන් මවයි .

ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත මේ සියලු දේවල් ක්‍රියාත්මක කරමින් ළමා සමාජයේ දරුවන් කුඩා කාලයේ සිටම පන්සල ඇසුරේ සදාචාර පුරුදු ඇති කිරීමේ අරමුණු ඇතිව වැඩෙයි.

තරුණ සංවිධානයන් මගින් වැදගත් පණිවුඩ ගෙන දෙන නාට්‍ය ආදිය නිෂ්පාදනය කරමින් සිය කලා කුසලතාවයන් ගමේ සදාචාර සංවර්ධනයට යොමු කරයි. දුම්පානය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත නොකිරීමේ සංවිධාන ගොඩනැගීමට මුල් වන්නේ ම තරුණ සංවිධානයි. ස්වාමීන් වහන්සේ සමග මේ සදාචාර සංවර්ධන චාරිකාවෙහි යෙදෙන තරුණයන් හෝ හොර සුරා වෙළෙන්දන් හමුවී එහි ආදීනව කාරුණිකව පෙන්වා දීමට ද සමත් වෙති .තරුණ තරුණියන් හා ළමා පිරිස එසේ ක්‍රියා කරන විට වැඩිහිටියන්ට සුරාපානයට හෝ සුරා වෙළදාමට ඉදිරිපත් වීම ඉතා පහසු කාර්යයක් බවට පත් වෙයි.

ස්වයං රැකියා ආදියෙහි නිරත වීම නිසා සොරකම් ද අඩු වෙයි. ස්වාමීන් වහන්සේගේ උපදෙස් මතින් දායක සභාවත් කුලඟන සමිති කුළඟන සමිතිය තරුණ සංවිධානය හා ළමා සමාජයත් නිතරම ගමේ කටයුතු පිළිබඳව අවදියෙන් සිටින නිසාම ගම්වැසියන්ට නොමග යෑමට ලැබුනු ඉඩකඩ අවස්ථා අඩු වෙයි.

පන්සල තමන්ට ප්‍රයෝජනවත් ස්ථානයක් යන හැඟීම ගම්වැසියන් තුළ නිරන්තරයෙන් ම ඇතිවෙයි. මල්වට්ටි වෙන්දේසිය ආදියෙන් තොරව ඔවුහු පන්සල දියුණු කරති. දැන් පන්සලට රැස් වන දහස් ගණනක් අතර සුරාපානය කළ කෙනකු දැකිය හැක්කේ කලාතුරකිනි. “පන්සලෙන් අපි හැදෙමු .අපි පන්සල හදමු. පන්සල සමග එකතු වී ගම හදමු යන ක්‍රියාදාමය තුළින් තාරුන්‍ය එදා බැඳී ගම හා පන්සල මතින් වූ සදාචාරාත්මක පැවැත්ම ඉතා පැහැදිලිය.

බෞද්ධ පරිසරයක් සමඟ හැදෙන දරුවා ගම පන්සල සොභාදහම සදාචාරය යන මේ සියල්ලන්ගෙන්ම අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස බිහිවෙයි .ඒ මතින් හමන ගුණ සුවඳ සමාජයට දායකත්වය දක්වයි.ගම පන්සල හා බැඳී ගුණ සුවඳ විහිදුවන තරුණ සමාජයක, හෙට දිනයේ විකසිත කුසුම් නෙලන්නට බලාපොරොත්තු සහගත ප්‍රාර්ථනා ගෙන එමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brothevrhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here