එළුවොත් රැවුල පාන්නේ නිවට ඇම්බැට්ටයන්ටලු

0
6


සමාජයේ ගොඩදෙනා කරන වැරැද්දක් ගැනයි අද කතා කරන්නේ. නොතේරුම් කාලේ මමත් මේ වැරැද්ද කළා. ලිපිය කියවන ඔබත් එහෙම කරලා ඇති. මම පෞද්ගලිකව දන්න අඳුනන කාන්තාවකට වුණු සත්‍ය සිදුවීමකින් කතාව පටන්ගන්නම්.

හැබෑ නමින් හඳුන්වන්න බැරි නිසා කතාවේ පහසුවට මම ඇයට සුනීතා කියන්නම්. සුනීතා පුංචිවට ව්‍යාපාරයක් පටන් අරන් සාර්ථක වෙච්චි කාන්තාවක්. දියුණු වුණායින් පස්සේ අනිත් අයටත් පුළු පුළුවන් විදියට උදව් කළා. ගමේ උදවියගේ හිත්වලත් සුනීතා ගැන තිබුණේ බොහොම යහපත් ආකල්පයක්.

හැබැයි සූනීතලෑ පැත්තේ ටිකක් කපටි කාන්තාවක් හිටියා. මේ කාන්තාව මිනිස්සුන්ට එක එක විදියේ වංචා කරන බව ඒ පළාතෙම ප්‍රකටයි. ඉතින් ඇය දවසක් සුනීතා ගාවට ගිහින් ණය මුදලක ඇපයට අත්සන් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. බොහොම අසරණ තත්ත්වයක ඉන්න නිසා බැහැ කියන්න එපා කියලා සුනීතා ඉදිරියේ ඇය අඬාවැටුණලු. ඇගේ කපටිකම් ගැන දැන දැනත් බැහැ කියන්න බැරිකමට සුනීතා ඒ ණයට ඇපවෙලා. ඔහොම කාලයක් යද්දි අර කාන්තාව කාටත් නොකියාම විදේශගත වෙලා. ණය දුන්නු උදවිය සුනීතගේ ගෙදරට ඇවිල්ලා. අන්තිමට සුනීතා හිරේ යන මට්ටමකට මේ ප්‍රශ්නේ දිග්ගැස්සුණා. දුක්මහන්සියෙන් ගොඩනගාගත්තු ව්‍යාපාරය විකුණලා  ණය ගෙවන එක ඇරෙන්න සුනීතටත් වෙන විකල්පයක් තිබුණේ නැහැ.

කරන්න බැරි දේට බෑ කියන්නත් ප්‍රගුණ කරපු හැකියාවක් තියෙන්න ඕනේ. හැබැයි අපේ බහුතරයකට ඔය හැකියාව නැහැ. ඒ හැකියාව දියුණු කරගන්න ඕනා ඇයි කියන එක ගැනයි අද කතා කරන්නේ.

මිනිහා කියන්නේ සමාජ සත්වයෙක්. නිතරම සමාජශීලී වෙන්නයි මිනිහා කැමති. සමාජ හෝ පවුල් සම්බන්ධතා නැතිව මනුස්සයෙක්ට ජීවත්වෙන්න බැහැ කියලා සුප්‍රකට මනෝ විද්‍යාඥ ඒබ්‍රහීම් මෑස්ලෝ කියලා තියෙනවා.

ඒ නිසාම තමන් එක්ක කතා කරන, ආශ්‍රය කරන පිරිස වැඩිවෙන්න වෙන්න ඒක තමන්ට ආඩම්බරයක් කියලා මිනිස්සු හිතනවා. ‘මම හම්බකළේ සල්ලි නෙමෙයි මිනිස්සු’ කියලා අර සමහරු කතාවට කියන්නෙත් ඒකනේ. තමන් වටේ පරිවාර සේනාව ගොඩක් ඉන්නවාය කියලා පෙන්වන්න සමහරු අමාරුවෙන් සම්බන්ධතා නඩත්තු කරනවා.

නෑ… බෑ.. කියන්න බැරිකමත් ඔය අමාරුවෙන් සබඳතා නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක්. කොච්චර කරන්න බැරි වැඩක් වුණත්, බෑ කිව්වොත් ඒ කෙනාගේ හිත රිදෙයි, තරහා වෙයි කියලා හිතනවා. එහෙම හිතලා අර මම කිව්ව සුනීතා වගේ දැන දැනත් අමාරුවේ වැටුණු මිනිස්සු කොච්චර නම් ඉන්නවද. නිවට ඇම්බැට්ටයා දුටුවහම එළුවත් රැවුල පානවා වගේ එහෙව් මිනිස්සුන්ගෙන් වාසි ගන්න ගොඩක් උදවිය බලාගෙනයි ඉන්නේ.

සබඳතාවලදිත් මේ දේ හරියට වෙනවා. යාළුවෙලා ඉන්න පිරිමි ළමයා රූම් එකකට යමු කිව්වොත් නැත්නම් නිරුවත් ‍ෆොටෝ එකක් එවන්න කිව්වොත් ‘බෑ’ කියන්න බැරිකමට නැත්නම් ‘එයා තරහා වෙයි’ කියලා හිතලා මේ වගේ දේට පෙළඹෙන තරුණ යුවතියෝ කොච්චර ඉන්නවද. ප්‍රේම සම්බන්ධයකදි වුණත් තමන්ට කරන්න බැරි දෙයක් නම් බෑ කියලා ප්‍රතික්ෂේප කරන්න ඇඹරෙන්න එපා කියලයි මම කියන්නේ.

තව පිරිසක් ඉන්නවා කෙනෙක් දෙයක් කිව්වහම බෑ කියන්න බැරිකමට එවෙලේ හා කියනවා. හැබයි පස්සේ ඒක මගඅරිනවා. ඒකත් හොඳ පුරුද්දක් නෙමෙයි. උදාහරණයක් විදියට කෙනෙක් එයාගේ මඟුල් ගෙදරට අපිට ආරාධනා කරනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් වෙඩින් එකක් කියන්නේ අත්‍යවශ්‍යම අයට විතරයි. ආරාධිත පිරිස වෙනුවෙන් ඔවුන් මුදලක් වෙන් කරනවා. ඉතින් වෙඩින් එකක් වගේ දෙයක් කියද්දී යන්න බැරි බව දැන දැනත් මුලදි හා කියලා පස්සේ මගඅරිනවා නම් ඒක වැරදියි. බැරි දේට එවෙලෙම බෑ කියන්න හැකියාවක් තිබුණානම් දෙපැත්තටම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.

මනුස්සයෙක් උදව්වක් ඉල්ලද්දි නෑ බෑ කියන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තමන්ට බැරි වැඩ බාරගන්න යන්න එපා කියන එක. අපිට කරන්න බැරි දේකට බෑ කිව්වයි කියලා කවුරුහරි තරහා වෙනවා නම් ඒක ඒ මනුස්සයාගේ ගතිලක්ෂණ මැනගන්නත් අවස්ථාවක්.

ඊගාවට කාවවත් තරහා කරගන්න බෑ කියලා හැම සම්බන්ධතාවයක්ම අමාරුවෙන් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. ආශ්‍රයට ගැළපෙන කෙනෙක් නැත්නම් තනියම ජීවත්වෙන එක වැඩිය හොඳයි කියලානේ බුදුහාමුදුරුවොත් දේශනා කළේ.

ඒ නිසා පුද්ගලයා කවුරු වුණත් සම්බන්ධතාවය මොකක් වුණත් අකමැති දේට, බැරි දේට බෑ කියන්න හැකියාව හදාගන්න. තමන් අමාරුවේ වැටිලා ලෝකෙම සතුටු කළත් වැඩක් නැහැ. ඒ නිසා ලෝකේ හදන්න කලින් තමන්ට වෙන්න පුළුවන් හානි අවම කරගන්න.

ඔය කොච්චර හිතුණත් එහෙම කරන්න බෑ කියලා හිතෙනවා නම් ඒක පෞරුෂ අඩුපාඩුවක්. මනෝ උපදේශනයෙන් ඒ තත්ත්වය අවම කරන්න පුළුවන් කියන එකත් අවසාන වශයෙන් මතක් කරනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here