එළිසබෙත් මහ රැජිණගේ ප්‍රියතම ලේලිය කවුද කියලා දන්නවද? – Sri News

0
4

දෙවැනි එළිසබෙත් රැජනගේ සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයාගේ විවාහ ජීවිතය ලොවපුරා රාජකීයයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේත් ගෞරවාදරයට පත් වුණා. ඊට හේතුව වන්නේ මුල් කාලයේදී ඇතැම් හැලහැප්පීම් තිබූ බවට වාර්තා පළ වුණත් ඔවුන් දෙදෙනාම සිය විවාහය වෙනුවෙන් කැපවීම නිසයි. මේ නිසාම දෙවැනි එළිසබෙත් රැජනට සිය සියළු වගකීම් ඉටු කිරීම උදෙසා පිලිප් කුමාරයාගෙන් වචනයෙන් විස්තර කළ නොහැකි මට්ටමේ සුවිශාල සහයෝගයක් ලැබුණා. නමුත් අවාසනාවකට වගේ ඔවුන් දෙදෙනාගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකුගේම විවාහ බිඳ වැටී ගියා. බාලම දරුවා වූ එඩ්වඩ් කුමාරයා පමණයි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ. මේ නිසාම දෙවැනි එළිසබෙත් රැජින සහ පිලිප් කුමාරයා සිය ප්‍රියතම ලේලිය ලෙස සළකන්නේ එඩ්වඩ් කුමරුගේ බිරිඳ වන සොෆී හෙලන් රෙයිස්-ජෝන්ස් (Sophie Helen Rhys-jone) ආර්යාවයි. අපි අද ඔබට කියන්න යන්නේ ඇය ගැනයි.

 

එඩ්වඩ් කුමරුගේ වැඩිමල් සහෝදර සහෝදරියන් සියළු දෙනාම පාහේ සිය විවාහය සඳහා තෝරා ගත්තේ රජ පවුල සමග සමීප සබඳතා සහිත පවුල්වල සාමාජික සාමාජිකාවන්. නමුත් සොෆීගේ පවුල සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් වූ අතර ඔවුන්ගේ පවුලේ ඉතිහාසය හතරවෙනි හෙන්රි රජුට ඥාතීත්වයක් දක්වන බව කියවෙනවා. සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසුව ඇය මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කළ තැනැත්තියක්.

 

ඇය එක්තරා රේඩියෝ නාලිකාවක සේවය කරමින් සිටියදී එඩ්වඩ් කුමරුව පළමු වරට මුණගැසී තිබුණා. ඒ වන විට ඔහු සොෆීගේ මිතුරියකගේ පෙම්වතකුව සිටි බව කියවෙනවා. කෙසේ නමුත් ඉන් පසුව නැවත ඔවුන් මුණ ගැසුණේ ඉන් වසර හයකට පමණ පසුවයි. එම හමුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වුණු අතර 1999 වසරේ දී ඔවුන් දෙදෙනා විවාහයට පත් වුණා. කෙසේ නමුත් මෙම විවාහ මංගල්‍යය රජ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ එවැනි උත්සව මෙන් අතිදැවැන්ත උත්සවයක් වුණේ නැහැ.

 

දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් බොහෝ උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට ඔවුන් දෙදෙනාට සිදු වුණා. විශේෂයෙන්ම යුරෝපයේ අනෙකුත් රාජකීය පවුල්වල පැවැත්වෙන උත්සව සඳහා ඔවුන් දෙදෙනා අනිවාර්ය ආරාධිත අමුත්තන් බවට පත්වුණේ නිරායාසයෙන්මයි. එඩ්වඩ්ගේ අනෙකුත් සහෝදර සහෝදරියන් සාර්ථක විවාහ ජීවිත ගත නොකිරීමත් මීට එක් හේතුවක් වන්නට පුළුවන්.

 

ඔවුන් දෙදෙනා සමාජ සේවා කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන අතර ඒ වෙනුවෙන් පදනමක්ද පිහිටුවා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් සහ තරුණ තරුණියන් බල ගැන්වීම කෙරෙහි ඔවුන් දෙදෙනා වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. එසේම මව් බිසව වන එළිසබෙත් බිසවගේ මරණයෙන් පසුව රාජකීය කථන චිකිත්සකයන්ගේ සංගමයේ අනුග්‍රාහක ධූරය ඇය වෙත හිමි වුණා. එසේම මාග්‍රට් කුමරියගේ මරණයෙන් පසුව එක්සත් රාජධානියේ කාන්තා බාලදක්ෂ කණ්ඩායමේ සභාපති ධුරයත් ඇයට හිමි වුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here