එදිනෙදා සාමාන්‍ය වැඩකට සුදුසු නොමිලේ ගත හැකි වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් – Sri News

0
6

ඉස්සර මතකයන් අපි තියන් උන්නේ සටහන් විදියට. ඒ නිසා තවමත් අපි ඒවාට මතක සටහන් කියලා කියනවා. ඒත් දැන් මතකයන් අපිට වීඩියෝ විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවා. චාරිකාවක් ගිය වෙලාවක, ගෙදර පොඩි උත්සවයක් වෙලාවක අපි ඒක වීඩියෝ කරනවා. ඒ ගන්න අමු වීඩියෝ වෙලාවකට අපිටම බලන්න කම්මැලියි. ඉතින් ඔය වගේ වෙලාවට පොඩි වීඩියෝ එඩිටරයක් පාවිච්චි කරලා ඕනි නැති බෝරින් කෑලි කපලා දාලා, හොඳ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා, සමහර තැන් ස්පීඩ් කරලා, කලර් කරෙක්ෂන් කරලා, පොඩි එඩිට් පාරක් දාල වීඩියෝ ටික හදාගන්න පුළුවන් නම් වටිනවා.

 

ඇත්ත, අපේ රටේ තාමත් සොෆ්ට්වෙයාර් වලට නීති රීති නැහැ. තිබුන උනත් ක්‍රියාත්මක නැහැ. ඒ නිසා ඕනිම වටින ඩොලර් පන්හයසීයක් වෙන සොෆ්ට්වෙයා එකක් වුනත් ක්‍රැක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඒක වැරැද්දක්. ලෝකේ කොහෙන් අපි බාගත්තා වුනත් මුදලට විකුණන්න තියෙන දෙයක් වංචාවෙන් නොමිලේ ලබාගැනීම වැරැද්දක්. ඊට අමතරව ඉතින් ඔය ක්‍රැක් කරන අය නිකං අත පිහිදාගන්න ඕවා කරන් නැහැ. විවිධාකාර වෛරස ආදියත් පරිගණකයට ඇතුළු වෙනවා ඔය ක්‍රැක් මෘදුකාංග වලින්.

 

හොඳම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකක ප්‍රෝ වර්ශන් එකක් අපි ක්‍රැක් කරලා ගත්තා කියලා හිතමු. ඒත් අපි වැඩි දෙනෙක්ට ඒවයේ තියෙන ගොඩාක් ෆීචර්ස් ගැන තේරුමක් නැහැ. අපිට වීඩියෝ එකක් හදලා යූ ටියුබ් දාන්න හරි එහෙම නැතිනම් මතක සටහනක් විදියට තියාගන්න හරි ලොකු දේවල් කරන්න ඕනා වෙන්නේ නැහැ. සරල වැඩ කිඩ ටිකක් තමයි කරගන්න ඕනා. මේ ගෙදර දොරේ වීඩියෝ වැඩකට ලොකු සොෆ්ට්වෙයා එකක් දාගෙන විශාල හාඩ්වෙයාර් තියෙන මැෂිමක් වීඩියෝ එඩිටින් වලට යූස් කරනවා කියන්නේ උදැල්ලකින් කරන්න පුළුවන් වැඩකට ජේ සී බී එකක් යූස් කරනවා වගේ වැඩක්.

 

ඕපන්ශොට් කියන්නේ බොහොම සිම්පල් එඩිටර් එකක්. ඕපන්ශොට් ලිනක්ස්, වින්ඩෝස් වගේම මැක්වලටත් දාන්න පුළුවන්කම තියෙනවා. ඕපන් කරපු ගමන්ම ට්‍රැක්ස් ටික සහ ලිස්ට් ටික පේනවා. අපිට එඩිට් කරගන්න ඕනි ෆොටෝ වීඩියෝ ටික සිලෙක්ට් කරලා අරගෙන අනුපිළිවෙලට කපලා තියලා, හදලා, ස්පීඩ් කරලා, ස්ලෝ කරලා ගන්න ඕපන් ශොට් වලදි හරිම ලේසියි. වෙනත් ප්ලගින් වලට සල්ලි දෙන්න ඕනි නැහැ. ඕපන් ශොට් සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ලොකු අවාසියක් තමයි සමහර වෙලාවට ක්‍රෑෂ් වෙනවා. ඒ වගේම ඕඩියෝ ෆීචර්ස් ටිකක් මදි ගතියක් තියෙනවා.

 

ෂොට් කට් එකත් නමින් ඕපන්ශොට් වගේමයි නේද? ටිකක් සමාන වගේ පෙනුනට ෂොට් කට් වල ඕපන්ශොට් වලට වඩා යම් යම් දියුණු විශේෂාංග තියෙනවා. ඒ වගේම ෂොට් කට් වලින් වැඩ කරන හැටි ඉගෙනගන්න යූ ටියුබ් සහ වෙනත් ටියුටෝරියලුත් ගොඩක් තියෙනවා. අන්තර්ජාලයේ සම්පූර්ණයෙන්ම නොමිලේ බාගෙන දාගන්න තියෙන වීඩියෝ එඩිටර් අතර ෂොට් කට් ඉස්සරහින් ඉන්නවා.

 

ඇපල් කියන්නේ වැදගත් ඕ ඇස් එකක්. ඇපල් ඉතින් ග්‍රැෆික් වැඩ වලට සහයෝගය දක්වනවා කියන එක සර්වලෝක සත්‍යයක්නේ. කාලයක් වින්ඩෝස් වලත් ආවා මූවි මේකර් කියලා පොඩි සොෆ්ට්වෙයා එකක්. ඒත් පස්සෙ ඒක නැවතුනා. ඇපල් අයි පෑඩ්, ඇපල් අයි ෆෝන්, වගේම අයි ඕ එස් තියෙන ලොකු කම්පියුටර් වලත් අයි මූවි ලෙසටම වැඩ කරනවා. අයි මූවිත් මහා ලොකු විශේෂාංග තොග ගාණක් නැති වුනත් ඕන වැඩ ටික දශමෙට කරගන්න පුළුවන් ප්‍රබල සොෆ්ට්වෙයාර් එකක්. හැබැයි මේවා ඉතින් ලිනක්ස් පාවිච්චි කරන අයට සහ වින්ඩෝස් අයට බැහැ. අයි මූවි වලින් වීඩියෝ හොලවන්න නම් ඇපල් කෑල්ලක් ගන්නම වෙනවා.

 

ගෝ ප්‍රෝ ක්වික් කියන්නේ ෆෝන් වලට ඇප් එකක්. වින්ඩෝස් මැෂින් වලට ඇප්ලිකේෂන් එකක්. ගෝ ප්‍රෝ එකක් යූස් කළා හෝ නැතා ගෝ ප්‍රෝ ක්වික් පාවිච්චි කරන්න පුළුවන්. ගෝ ප්‍රෝ ක්වික් මොබයිල් ඇප් එකෙනුත් විනාඩියේ දෙකේ පොඩි වීඩියෝ කෑලි ඉබේම හදා දෙනවා. ගෝ ප්‍රෝ වල වීඩියෝ එඩිට් කරගන්න හදපු ගෝ ප්‍රෝ ක්වික් පොඩි වැඩකට යොදාගන්න හොඳ නොමිලේම ලැබෙන ඇප්ලිකේෂන් එකක්.

 

හිට්ෆිල්ම් වලදි හිට්ෆිල්ම් කියන සොෆ්ට්වෙයා එක අපි මිලදී ගන්න ඕනා. ඒත් හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් නොමිලේ.  හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් වලදිත් සමහර විශේෂාංග වලට පොඩි ඩොලර් ගාණක් අපිට ගෙවන්න වෙනවා. සමහර ලොකු ෆීචර්ස් අපිට ඕනි නම් ඒවටත් ගෙවන්න ඕනි. ඒත් ඒ නොමිලේ ලැබෙන හිට්ෆිල්ම් එක්ස්ප්‍රස් සාපේක්ෂව හොඳ වීඩියෝ වැඩකට ඇතිය කියල තමයි යූ ටියුබ් වල ඉන්න ටෙකීල කියාල තිබුනේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here