උතුම් ම ලාබය දකින්නට තියුණු දෑසක් ඕන.. – Sri News

0
5


මේ උතුම්ම ලාභය දකින්න නම්… තියුණු දෑසක් ඕනේ ….

අපි මිනිස් ලොව ගැන දන්නවා. සතර අපායට අයිති තිරිසන් අපායේ යම් ප්‍රමාණයකුත් අප දන්නවා. ඒත් ලෝක ධාතුවක තිබෙන්නේ එපමණක් නොවෙයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නිරය, ප්‍රේත ලෝක, අසුර ලෝක, වගේම තිරිසන් අපායත් මනුලොව තියෙනවා.

මේ ලෝක අතරින් මනුලොව දෙව්ලොව බඹලොව කියන්නේ ,සුගති.අනික්වා දුගති. සිතින් කයින් වචනයෙන් අයහපත් දේ කළාම තමයි දුගතිවල උපදින්නේ. යහපත් දේ කළාම සුගතිවල උපදිනවා. අපි මෙහෙම හිතමු. වඩාත් පහසු… ඉක්මනට තරහා ගන්න එකද? ඉවසන එකද? ඉවසන එක කොයි තරම් අමාරුද…? තරහ යන්න මොහොතක්වත් ඕනේ නෑනේ. සිල් රකින එකේ අමාරුව සිල් රකින අය දන්නවා. සමාධියක් වඩන්න තියන අමාරුව ඒ පිණිස වෙහෙසන අය දන්නවා. ප්‍රඥාව දියුණු කරගන්න තියෙන අමාරුව නුවණින් විමසීම දියුණු කරන අය දන්නවා. කොහොම බැලුවත් පහසු වැරදි කරන්නයි. හරි දේ කරන්න හරිම අමාරුයි. විනෝදයට බොරු කියන අය කොයිතරම් ඉන්නවද…? එබඳු කෙනෙක්ට බොරු කියන එක නවත්තන්න කොයිතරම් වීර්යයක් ඕන ද? ඒකෙන් පේනවා අපේ ජීවිත බර වෙලා තියෙන්නේ දුගතියට. අපට මතක නැති වුණාට අප අතීතය වැඩිපුරම ගෙවල තියෙන්නෙ මහා දුක් ගොඩක. සතර අපායේ.සතර අපායේ වැටෙන අනතුර අපත් එක්ක තවම තියනවා.

අමාරුවෙන් හරි යහපත් දේ කළ නිසයි, අපි මනුලොව ඉපදුනේ. හැබැයි අප යහපත-අයහපත කියන දෙකම කරල තියනවා . ඒකයි සැප දුක් දෙකම තියෙන මනුලොව ඉපදුනේ .මනු ලොව ඉපදුන නිසා යහපත තමයි වැඩිපුර කරලා තිබෙන්නේ. ඒකයි සතර අපායෙන් ගැලවුණේ. ඒත් අපට හැමදාම එකම විදිහට හිතෙන්නෙ නෑනෙ. පාප මිත්ර යෙක් හමු වුණොත් අපේ ගමන නිරයෙන් අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ නුවණ පාවිච්චි කරලා ආරක්ෂා කරගත යුතු දෙයක්. මනු ලොව ඉපදුන කෙනෙකුට තියෙනවා නිර්මාණශීලී හිතක්. එයාට පුළුවන් කැමතිනම් මටසිලිටි බොළඳ දේවල් හිත හිතා කාලේ කන්න. ජීවිතේ ගැඹුරුම දේවල් කල්පනා කරන්නත් පුළුවන්. ලාමක දේවල් වගේම ශ්‍රේෂ්ඨ වූ අසිරිමත් දේවල් නිර්මාණය කරන්නත් පුළුවන්. මනුස්ස ජීවිතය තුළම නුවණ ශීලය වීර්යය සිහිය සමාධිය අවබෝධය මේ ඕනෑම දෙයක් උපදවා සිත දියුණු කරගන්න පුළුවන් .හැබැයි නිරය , ප්‍රේත ලෝකෙ ,තිරිසන් ලෝකෙ, වගේ අපායකට වැටුන ගමන් ඔය ඔක්කොම අහිමි වෙනවා. සියලු වාසනාව අහිමි වෙනවා. ඉතින් ඔබ කැමති කුමන තැනටද …?

මනුෂ්‍යයෙකුට විශේෂ හැකියා ගොඩක් තියෙනවා. ඒ හැකියාවන් භාවිත කරලා යහපත් ශ්‍රේෂ්ඨ දෙයක් හෝ අයහපත් බොළඳ දෙයක් ගොඩනගන්න පුළුවන්. අපට ළාමක දේවල් ගොඩනගන පැත්ත වැඩක් නෑනෙ .අප කවුරුත් කැමැති වටිනා උතුම් අභිමානවත් දෙයකට …
ඉතින් ඒ මොකක්ද …?

ඒ තමයි අටලෝ දහම. නොසැලෙන, නොහඬන , කම්පා නොවෙන, නොවැලපෙන, කුල්මත් නොවන, මුසපත් නොවන, අඳ නොවන, අකම්පිත ජීවිතය….. දුක් තැවුල් වලින් තොර කිසිම දේකින් අවුස්සන්න බැරි සංසිඳුනු ජීවිතය… පරිපූර්ණ තෘප්තියට පැමිණි අවබෝධය උතුරා යන සැකය රහිත බය රහිත පාරිශුද්ධ ජීවිතය… ඒක නෙමෙයි ද මේ ලෝකෙ තියෙන ලස්සනම දේ .? අප ආස කරනවා නම් ඒ ආසා කරන දේවල් අතර පළමු තැන හිමි විය යුත්තේ එබඳු අකම්පිත වූ ජීවිතයක් ලබා ගැනීම නොවේද ?

විශේෂ ජීවිතයක් ලැබීමේ හැකියාව ලැබෙන්නේ අප නිරයෙන් තිරිසන් අපායෙන් ප්‍රේත ලෝකයෙන් සහ හඳුනාගැනීම් රහිත ලෝක වලින් මිදුණු මන්දබුද්ධික නොවූ අර්ථ වැටහෙන නුවණ ඇතිව මනුලොවක හෝ දෙව්ලොවක හෝ උපත ලැබූ විටෙක විතරයි.

යාන්තං…. අප ඒ සියලු අනතුරු වලින් මිදිලා ඒ දුර්ලභ අවස්ථාව ලබා ගෙනයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි . තවත් අවස්ථාවක් තියෙනවා අපිට. ඒ අපි ලබපු නුවණ දියුණු කරලා එබඳු අකම්පිත ජීවිතයක් ලබන්නට බැරි වී යන අවස්ථා තිබෙනවා .ඒ තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අසන්නට නොලැබෙන ප්‍රත්‍යන්ත දේශවල ඉපදී සිටී ම .ඉතින් අපි ඒ අවාසනාවෙනුත්, මිදුන කියලයි හිතන්නේ… මේ පිනෙන් ලැබූ ජීවිතයේ දින ගෙවිලා ඉවර වෙන්න කලින් අප ඉක්මනින්ම ඒ සද්ධර්මයේ පිහිට සලසා ගන්නට අවශ්‍යයි. ජීවිතයේ ලබා දෙන වැඩපිළිවෙළට අපි පිවිසෙන්න ,සතර අපායෙන් සදහටම අත්මිදුණු කෙනෙක් වෙන්න නම්, මේ භව ගමන අවසන් කිරීම පිළිබඳ ස්ථාවරයකට එන්නනම් ,ජීවිතය සුගතියේ සුරක්ෂිත වෙන්න නම්, අඩුම තරමේ සෝතාපන්න වෙන්න ඕන .

එය බුදු සසුනෙන් බැහැරව ලබන්නට බැහැ. සෝවාන් ශ්‍රාවකයා තමයි චතුරාර්ය සත්‍ය සත්‍යයක් හැටියට දකින්නේ. කුසල් අකුසල් හරියටම වෙන්කර ගන්න දන්නෙ. ධර්මය ගැන සැක රහිත බවට පත්වෙන්නේ. එනිසා ඒ කිසිම දෙයක් සෝතාපන්න නොවූ කෙනෙකුට ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ බුදු සසුනෙන් පිට කෙනෙකුට ලබන්න බෑ .

බුදු සසුනට පිවිසෙන කෙනා දවසින් දවස ශීලයෙන් සමාධියෙන් නුවණින් සිහියෙන් අවබෝධයෙන් සහ අකම්පිත බවින් දියුණු වෙනවා. ඉවසීමෙන් කරුණාවෙන් ක්‍රියාවෙන් ගුණයෙන් මෙත් සිතින් මුදිතාවෙන් නිහතමානී බවින් කීකරු බවින් සත්පුරුෂ ගුණ ධර්ම වලින් දියුණු වෙනවා. කොටින්ම කිව්වොත් පුර පස සඳ හැම දහවලක් පාසාම හැම රැයක් පාසා ම රවුම් හැඩයෙන් දීප්තියෙන් යුත් සුන්දරත්වයෙනුත් ප්‍රමා‍යෙ නුත් දියුණුවෙලා පිරිලා යනවා වගේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කුසල් දහම් ගැන තිබෙන පැහැදීමත් කුසල් දහම් නොතිබීම ගැන තිබෙන ලැජ්ජාවත් කුසල් දහම් නොතිබීම ගැන තිබෙන බයත් කුසල් උපදවාගෙන දියුණු කර ගැනීමට තිබෙන වීර්යයත් කුසල් උපදවා ගන්නට තිබෙන නුවණත් කියන කරුණු පහ හෙවත් …ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීරිය, ප්‍රඥා, යන කරුණු පහ නිසා දවසින් දවස හැම රැයක් පාසාම කුසල් දහම් වලින් දියුණු වෙනවා.

අපි හැමෝම කැමති සැපයට .ඒත් අපි කරා දුකම එන්නේ ඇයි. අපි දන්නෙ නෑ ඇසුරු කරන්න හොඳ මොනවද.. නැත්තෙ මොනවද… කියලා. ඒ නිසා කලයුත්තක් හැරලා නොකළයුත්ත කරනවා. එතකොට අප දුකට ම ඇද වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ව ඇසුරු කරද්දී අපට අහන්නට ලැබෙනවා කළයුත්ත නොකළයුත්ත ගැන එතකොට තමයි අපේ ජීවිත තුළ සැපයම දියුණුවන වැඩපිළිවෙලකට යෙදෙන අවස්ථාව ලැබෙන්නේ සැප උදා වෙන්නේ .

කෙළවරක් නැති කෝටි ප්‍රකෝටි ජීවිත ගණනක් ගෙවලත් බුදු සසුනක අසිරිය අඳුනන එහි ප්‍රතිඵල නෙලාපු ජීවිතයක් ලබන්න බැරි වුණා නේ. මේ ලැබුණු අවස්ථාව අතඇරියොත් ඊළඟට කොයි වගේ දිශාවකට අපේ ජීවිතය හැරේවි ද කියලා කාටවත් කියන්න බෑ. හැමෝටම තියෙන්නේ මේ ඉපදි ඉපදී මැරි මැරී යන සංසාරේ. සතර අපාය හරහා අනේක දුක් විඳ විඳ යන්න තියෙන ගමනක් මේක. කිසිම ආරක්ෂාවක් නෑ.ඒ නිසා අනාගතය ගැන පැතුමක් තියාගන්න එක හිස් දෙයක්….

බලන්න අතීතයේ ලෝකයට පහළ වූ මාර්ගඵල ලාභීන්ගේ ජීවිත දිහා. රහතන් වහන්සේලා තමන් වහන්සේලා ගැන කරන විස්තර දිහා. අතීතයෙත් නුවණ තියෙන අවංක ඍජු ගති තියෙන දෙව් මිනිසුන් මේ ධර්මය තුළ ප්‍රතිඵල ලැබුවා. වර්තමානයෙත් අනාගතයෙත් යම් කෙනෙක් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම ප්‍රගුණ කරනවා නම්, ඒ ප්‍රඥාවන්ත යා ඒකාන්තයෙන් ම තම තම නැණ පමණින් ඒ ධර්මයේ ඵල නෙළා ගන්නවා .මාර්ගඵල අවබෝධය කරා ළඟා වෙනවා. ශීල සමාධි ප්‍රඥා දියුණු කරනවා .

මේ උතුම් මොහොත, වාසනාවන්ත මොහොත, අත නොහැර, බොහෝ කලක් තිස්සේ නොමඟ ගිය සිත විසින් සසරේ දුක් අතරේ අතරමං නොකරත්වා…. යනුවෙන් ප්‍රාර්ථනා කරමු.

ඒ බුදුරජාණන් වහන්සේව ,ගුණ වශයෙන් හඳුනා ගනිමු .

ශ්‍රී සද්ධර්මයත් භික්ෂු සංඝයා වහන්සේලාත් ගුණම වශයෙන් මනා කොට හඳුනා ගනිමු.

උතුම් ශීලය සමාදන් වෙමු. සීල වැස්සෙන් ජීවිතයම තෙමා ගනිමු.

උතුම් වූ තිසරණය කෙරේ හිත පහදවාගෙන සනාතන රැකවරණය උදාකර ගනිමු .

මේ ප්‍රාර්ථනා ඔබට අපෙන්.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here