උතුම් ම තපස ඉවසීම යි

0
4


මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. දෙවියොත්, අසුරයොත් අතර යුද්ධයක් පටන් ගත්තා. එතකොට පින්වත් මහණෙනි, වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස ඇමතුවා. ‘පින්වත්නි, ඔන්න දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්තා. අසුරයො දින්නොත්, දෙවියො පැරදුණොත්, එතකොට, ඔය ශක‍්‍ර දේවේන්‍ද්‍රයාව දෑත් දෙපා ඇතුළු, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා, අසුරපුරයේ මං ළඟට අරගෙන එන්න ඕන.’

පින්වත් මහණෙනි, ශක‍්‍ර දේවේන්‍ද්‍රයාත්, තව්තිසා දෙවියන් ඇමතුවා. ‘පින්වත්නි, ඔන්න දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්තා. දෙවියෝ දිනුවොත්, අසුරයන් පැරදුණොත්, එතකොට ඔය වේපචිත්ති අසුරේන්‍ද්‍රයාව දෙඅත් දෙපාත් එක්ක, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා, සුධර්මා දිව්‍ය සභාවෙ මං ළඟට අරගෙන එන්න ඕන.’

පින්වත් මහණෙනි, ඉතින් ඒ යුද්ධයේදී දෙවියෝ දිනුවා. අසුරයො පැරදුනා. එතකොට පින්වත් මහණෙනි, තව්තිසා දෙවියො දෙඅත්, දෙපාත් එක්ක බෙල්ල පස්වෙනි කොට, වේපචිත්ති අසුරේන්‍ද්‍රයාව බන්ධනයෙන් බැඳලා, සුධර්මා දිව්‍ය සභාවේ ශක‍්‍ර දේවේන්‍ද්‍රයා ළඟට අරගෙන ගියා.

එතකොට පින්වත් මහණෙනි, දෑත්, දෙපාත් එක්ක, බෙල්ල පස්වෙනි කොට, බන්ධනයෙන් බැඳලා ඉන්න වේපචිත්ති අසුරේන්‍ද්‍රයා සුධර්මා දිව්‍ය සභාවට ඇතුළු වෙන කොටත්, පිටවෙන කොටත්, ශක‍්‍ර දේවේන්‍ද්‍රයාට අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින්, ආක්‍රෝශ කරනවා. පරිභව කරනවා.

පින්වත් මහණෙනි, එතකොට මාතලී රථාචාර්යා ශක‍්‍ර දේවේන්‍ද්‍රයාට ගාථාවකින් පැවසුවා.

“පින්වත්, සක් දෙවිඳුනි, වේපචිත්තිගේ නපුරු වචන ඉදිරියේ, ඒවා අසමින් ඉවසගෙන ඉන්නෙ මොකද? භයටද? බැරිකමටද?”

(සක් දෙවිඳුන්) :
“මං වේපචිත්තිට භයෙන් ඉවසනවා නොවෙයි. බැරිකමකට ඉවසනවාත් නොවෙයි. බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙක්, මේ බාලයෙක් එක්ක හැප්පෙන්න යන්නෙ මොකටද?

ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම්, අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒ නිසා තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි, බාලයාව මේච්චල් කරන්නෙ.

අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුක්තව සංසිඳෙනවා නම්, මං හිතන්නෙ බාලයාව පාලනය කරන්න ඒක තමයි හොඳ කියලා.”

(මාතලී) :
“පින්වත් සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටක ඉවසන කොට, මෝඩයා හිතන්නෙ මෙයා මේ මට භයෙන් ඉවසනවා කියලා, පැනලා දුවනවා වගේ, අඥාන කෙනා, ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නෙ.”

(සක් දෙවිඳුන්) :
“මෙයා මේ ඉවසන්නෙ මට භයෙන්ය කියලා, කෙනෙක් හිතුවත් කමක් නෑ, නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.

යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ආදිය ඉවසනවා නම්, ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා හැම තිස්සෙම ඉවසනවා නෙව.

යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, ඒකෙන් පාඩු සිදුවෙන්නෙ තමාටමයි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, එයා තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනාගන්නෙ.

අනුත් කිපුන බව දැනගෙන, තමන් සිහි නුවණින් සංසිඳෙනවා නම්, තමාටත්, අනුන්ටත් දෙපැත්තට යහපත සළසගන්නවා.

තමාටත්, අනුන්ටත්, දෙපැත්තටම සෙත සළසන කෙනා ගැන ධර්මයේ අදක්‍ෂ ජනයා හිතන්නෙ ඔහු මෝඩයෙක්ය කියලා.”

“පින්වත් මහණෙනි, ඔය ශක‍්‍ර දේවේන්‍ද්‍රයා තමන්ගේම පුණ්‍ය විපාකයෙන් ජීවත් වන කෙනෙක්. තව්තිසා දෙවියන් අතර සැපසම්පත් වලිනුත්, අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳු කෙනෙක් පවා, ඉවසීමේ, කීකරු බවේ, ගුණ කියනවා නෙව. ඉතින් පින්වත් මහණෙනි, මෙබඳු ඉතා පිරිසිදුව දේශනා කරන ලද ධර්ම විනය ඇති ශාසනේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕන. කීකරු වෙන්න ඕන. මේ ශාසනය සෝභමාන කරන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

වේපචිත්ති සූත්‍රය – සංයුත්ත නිකාය 1

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post උතුම් ම තපස ඉවසීම යි appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here