උගුල සිඳෙයි

0
5


නූ…. අද නුඹ ඉතාම සොඳුරුයි අනූ…. කෝ…? මොහොතක් සිටින්න… ඔය හිස මතින් නළලත වැටෙන රන් තැල්ල ස්වල්පයක් මෑත් වී තිබේ…. සිටින්න…. මා සදන්නම්.”

විමලා දෙසට අනුලා හිස මෑත් කළා ය. එවිට විමලා ඉතා ඕනෑකමින් ඇගේ හිස රඳවා ඇති රන් තැල්ල ඉතා සීරුවෙන් නළල මත තැබුවා ය. අනුලාගේ වරළස සැරසූ රතු මල් කළඹ සියුමැලි ලෙස ඇඟිලි තුඩුවලින් පිරිමැද සකස් කළාය.

“කවුද අනූ…. අද තිට කහවණු පුදන්නේ….?”

අනුලා කොක්හඬලා සිනාසුණා ය. රන් වළලු පිරී ගිය දෑත් උඩට ඔසොවා කෙස් රොද සකස් කළා ය. ඇසක් වසා නැටවූවා ය. තොල් සඟල උල්කොට මිමිණුවා ය.

“විමා….. අද මට මුණගැහෙන්නේ කාරායන. දන්නැද්ද අනේ…. අර වාත්ස්‍යායන බ‍්‍රාහ්මණතුමාගේ පුත‍්‍රයා. ඔහු මා වෙත මේ එන්නේ දෙවන වතාවට. නමුත් මා කියා සිටියා කහවණු පන්සියයක් මදි බව….. මෙවර නම් කහවණු හත්සියයක් පොරොන්දු වුණා…… රාජ්ගුන්ධයේ ලෂ්ටිවනය අසල සමාගා උද්‍යානයටයි මා අද යන්නේ…. එහිදි තමයි අපි හමුවන්නේ….”

“ඉතින් අනූ… හරී දුරයිනේ අනේ…. එසේ නම් නුඹ යන්නේ අස්රියෙන් ද?”

“ඔව් විමා… කැමති නම් නුඹටත් මා සමඟ යන්නට පුළුවනි.”

“බැහැ අනූ…. නුඹ යන්න. අද මා හට කාගෙන්වත් ඇරියුමක් නෑ…. ඊයෙ දවස නම් මට එපා වුණා. ඊයෙ රාත‍්‍රියේ මා සුප්ප‍්‍රභාතගේ යහනේ ගත කළේ. ඔහු හොඳටම සෝවීර පානයෙන් මත් වී සිටියා. වැඩක් නැහැ….. ඔහු නිකම්ම නිකමෙක් අනූ…. පේ‍්‍රමය හඳුනන්නෙත් නෑ… කාමය හඳුනන්නෙත් නෑ…. ඔහුට ඇවැසි වූයේ සුරූපී ළඳක් තම යහනේ වැතිරී බොළඳ බසින් ඔහුව සැතැපීම පමණයි….. පිස්සු අනේ….”

“කෙල්ලේ…. ඔහොම මිනිස්සු ඉන්නවා. ඉතින් අපට මොනාට ද? ඇයි ඔහු ගාස්තුව ගෙව්වෙ නැද්ද?”

“හහ්!…. ඒව කොහෙද? හැබැයි ඔහු පොරොන්දු වූ ගාණට නැතුව කහවණු දෙසීයක් දීලා මගහරින්නයි හැදුවේ…. මගෙන් කොහොම මගඅරින්න ද? මා ඔහුගේ මාලයේ තිබූ මැණික සොරා ගත්තා…. බේබද්දන්ට මැණික් මොනාට ද අනේ….?”

“හහ් හා…..! යසයි අනේ…. කාරායනටත් සෝවීරක පානය වැඩියෙන් පොවා ගන්නට මං අද මහන්සි ගන්නවා. කාරායන නම් සළෙලුවෙක්….! ඉක්මණින්ම සෝවීරක පානයෙන් මත්වෙන්නේ නෑ…. ඇත්තෙන්ම විමා… මා ඔහුට කැමතියි….”

“අනූ…. ඔන්න එහෙනම් මාත් එනවා…. මා ආසයි අද උයන් සිරි නරඹන්න…..”

මේ සුරූපී වෙසඟනන් දෙදෙන සුදු අස්රියක නැගී පිටත් වූහ. කුසුම් පුරයේ සිට ගෙනා සුවඳැති චම්පක කුසුමෙන් ඔවුන්ගේ වරළස සරසා තිබුණි. අඳුන් තැවරී ඇති ඔවුන්ගේ නෙත් කවුළු අතරින් සළෙලු දනන් හට මල් හීසර වරින්වර විද්දේය. අස්ගොව්වාගේ සිත පවා ඔවුන් නැගූ මිණිකිකිණි සිනායෙන් සැළී ගියේ ය. හමන සුළං රැළි රහසේ ඔවුන් ගත තැවරූ සුවඳ විලවුන් සොරා ගත්තේ ය. අස් රිය සෙළවෙද්දී ඔංචිල්ලාවකට නැගුණු සමනළියන් සේ ඔවුන් පැද්දි පැද්දී සිනහ නැගූහ. ලෂ්ටිවනයේ සමාගා උයන් බිමට බට වෙසඟනෝ හාත්පස සොඳුරු කඳුයායේ ඝන නිල් වන පියස දෙස බලමින් මහත් ආශ්වාදයක් වින්දාහ.

“අන්න…. විමා…. කාරායන ඇවිදින්. මා එනතුරු බලා සිටිනවා… එසේ නම් නුඹ උයන් සිරි විඳින්න…. මා යන්නම්.”

අනුලා කාරායන වෙත දිව ගියා ය. ඔවුහු පේ‍්‍රමයෙන් එකිනෙකා වැළඳ ගත්හ. දෑත් පටලවාගෙන උයන් බිම රුක් පඳුරු අතුරින් නොපෙනී ගියහ. විමලා දෑස් දල්වා එදෙස බලා සිටියා ය. ඈට මහා පාලුවක් දැනිණ. කාන්සියක් දැනිණ. රාගයත්, තනිකමත් මුසු වූ කිසියම් ගුප්ත වූ විස්සෝපයක් ඇගේ සිත වෙලාගත්තේය. ඈ තනිවම සුසුම් හෙළුවා ය.

‘ෂා….! ඇත්තෙන්ම කාරායන හරිම කඩවසම්…. ඔව්…! අද අනූ හරිම සතුටින් ඉඳීවි. එතකොට මං …… මං…… මේ හුදෙකලාවේ තනියම ද….? අපරාදෙ මං ආවේ…. මේ ගමන ආවට වඩා වණික්පථයේ නිකමට ඇවිද ගියා නම් මා සමඟත් කවුරුන් හෝ එනවා…. මොනා කරන්නද? මං එහෙනම් උයනේ ඇවිද ඇවිද ඉන්නවා…. ඔවුන් ආපසු එන්නට සෑහෙන වෙලාවක් යාවි.’

ඕ කාන්සිය මකා ගන්නට සෙමෙන් සෙමෙන් ගීයක් මිමිණුවා ය. සමාගා උද්‍යානයේ ඇවිද යද්දී නොදැනීම එහි කෙළවරට ආවා ය. ලෂ්ටිවනයට ඇතුළු වූවාය. ගැටගැසී ඇති සුවිසල් කඳ ඇති උණ පඳුරු අතරින් යන ඈ සැණෙකින් නැවතුණා ය. යම්කිසිවෙකු දෙස නෙත් අයා බලා සිටියා ය. ඒ දර්ශනයෙන් ඈ උණුසුම් වූවාය. කුමක්දෝ ප‍්‍රීතියකින් සළිත වූවාය. ඇගේ හදවත වේගයෙන් ස්ඵන්දනය වන්නට විය.

‘ෂා….! කාරායන කවුද? මොහුනේ කඩවසම් පුරුෂයා…. ෂා…. ජවසම්පන්න මස්පිඩු පිරුණු ශක්තිමත් බාහු යුවලක්….. ඍජු ශරීරයක්…. දිගු පුළුල් නෙත් යුග….. දේවදාර අරටුවේ පැහැය…. අභිරූපවත් දර්ශනීය පුරුෂයෙක්….. එහෙත් අහෝ….! මොහු ශ‍්‍රමණයෙක්! චීවරයකින් ගත වසාගෙන මනස්ගාත ලෝකයක තනි වූ කෙනෙක්…. ඔය දැනුත් දෙනෙත් පියාගෙන මොහුගේ ම ලෝකයක විකාර සතුටක් විඳින හැඩයි.’

විමලා ටික වේලාවක් මේ අද්විතීය පුරුෂයා දෙස බලා සිටියා ය. ඔහුගේ කිසි සෙලවීමක් නැත. කලබලයක් නැත. ඔහු කිසියම් ගැඹුරකට පත් වී සිටී. නමුත් අවදිවූ විට ඔහු විමලාට කැමති වුවහොත් ඈට අද උදාර වූ සතුටක් ලැබිය හැකිය. ඈ අමුතුම සිහිනයක තනි වූවා ය. සිහි විකල් වූ එකියක මෙන් ඈ සෙමෙන් සෙමෙන් ඔබමොබ ඇවිද ගියා ය.

‘මෙයාට පිස්සු…! මෙච්චර ලස්සන ජීවිතයක් නිකම්ම නාස්ති කරගන්න හදනවා. මෙවැනි සුරූපී කෙනෙක් මාගේ පුරුෂයා වෙනවා නම් මං මේ වෛශ්‍යා ජීවිතය අදම අත්හරිනවා. එහෙත්….. මා කොහොම ද මොහුට ළං වෙන්නේ…..’

ඈට ගීයක් මතක් විය. මිහිරි සරින් තාලය අල්ලන්නට පටන් ගත්තා ය.

“ස…. සා….. ස….. රි……. ග…… ම…… ප…… ධ….. නී……. සා…….

වරළස ගැවසූ කුසුමින්…….
හිනැහෙන ළඳුනී මමයි…..

මල් හීසර විදින නෙතින්……..
බඳිනා නයනී මමයි……

මුවරද තොල් සඟල වෙතින් …….
පුදනා රජනී මමයි……

දිවසුව දෙන යහන වෙතින්……..
රඟනා කාමිනී මමයි……..”

රුක් සෙවණේ සුවසේ ගිමන් හරින කේසර සිංහරාජයෙකු සේ මහා මොග්ගල්ලානයන් වහන්සේ දැහැන් සුවයෙන් සිටියහ. ලෝකයෙන් එතෙර වූ අලෞකික සිතුවිලිවල ඇති අද්භූත වින්දනයෙන් සැප විඳින ඒ සිත
හඳුනාගැනීමට විමලාට නොහැකි විය. ඕ සියුමැලිව අඩි තබ තබා යන්නට පටන් ගත්තා ය. ඉඟ සුඟ නළවමින් තාලයකට ඇවිදින්නට පටන් ගත්තා ය. දෑත ඔසොවා රන් වළලු සොළවමින් නාද කළා ය. පා විළුඹ පොලොවේ තද කොට හප්පා මිණිනූපුර නාද කළා ය.

අමා නිවන් සුව විඳිමින් සිටි මහා මොග්ගල්ලානයන් වහන්සේ සමවත් සුවයෙන් නැගිටින වේලාව පැමිණියේ ය. හේ සෙමෙන් තම නෙත් සඟල විවර කළේ ය. තමා ඉදිරියෙන් සිටින මේ තැනැත්තිය කවරකදැ යි බලා සිටියේ ය. සැණෙකින් ඈ මොග්ගල්ලානයන් දෙස බලා මිහිරි හඬින් සිනාසෙන්නට වූවාය. ගයමින් සිටි තාලය ද වෙනස් කළා ය.

“හ්ම්…… හ්ම්…… ම්…… ලා…. ලා…. ලලා……

වනගැබ තුළ මේ…..
හිමසිසිර විසිරෙන යාමේ…..

මන්මත් කරවන……
ගත සනසන හෝරාවේ…..

කාමිනියක ගේ ඇරියුම ගෙන…….
තනිවී ඇති මේ මොහොතේ……

ඔබ පතමින් මා…… දිගු කරනා……
මේ දෑත පිළිගනු සබඳේ……”

විමලා දැත් දිගුකොට තමා සමීපයට පැමිණෙන ලෙස උන්වහන්සේට ඇරියුම් කළා ය. කිසිවෙකු නැති වනයේ නිදහසේ කම්සුව විඳින්නට හැකි බව ඉඟිබිඟි පාමින් පැවසුවා ය. ඉතා සන්සුන් ලෙස ඇය දෙස බලා සිටි මහා මොග්ගල්ලානයන් වහන්සේට අනාත්ම වූ සිරුරක් සරාගී සිතකින් මෙහෙයවන අයුරු පෙනී ගියේ ය.

විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.

“තාං…. තං…. තක්….. තරිකිට….. තං….. තාං……

එන්න එන්න අනෙ…… ඇයිද පමා අනෙ….. රඟදෙමු වන අරණේ…..

දෙන්න දෙන්න අත….. දෙන්න ඔබේ අත….. වැළඳ සිටිමු තුටිනේ…..

මෙන්න මෙන්න මගෙ…… හදවත ඔබ ළඟ….
එනු මැන විගසකිනේ……

ඔන්න ඔන්න ඔබ…… ඇයිද පමා අනෙ…… පිහිනමු පෙම් සයුරේ…..”

උන්වහන්සේට කිසිදු කලබලයක් නැත. තැතිගැනීමක් නැත. වටපිට බැලීමක් නැත. ඉතා ඍජු පැහැදිලි වදනින් විමලා ඇමතූ සේක.

“ආ….. මොකද ඔය….? මක් වුණා ද? ඒයි….. එම්බල ස්ත‍්‍රිය….. තී පපුවේ සාදා ගත් ගෙඩි පෙන්වන්නේ කවුරුන් රවටන්නද ? එම්බල ස්ත‍්‍රිය…… තිගේ සිරුරේ තිබෙන්නේ ඇටසැකිල්ලක්. එය මසින් නහරින් ගැවසී හමකින් වැසී තිබෙනවා. ඔය සිරුරේ පිරී තිබෙන්නේ දුගඳ හමන අසූචි. නවද්වාරයකින් තිගේ සිරුරෙන් පිළිකුල් වූ ඕජස් වැගිරෙනවා. එබඳු සිරුරක් දරා අනුන්ගේ සිරුරු තමා සතු කරගන්නට සිතන තිට නින්දා වේවා!”

සැණෙකින් ඈ නැටුම නැවැත්තුවා ය. බිරාන්තව නෙතුයුග විදහා ගත්තා ය. මුව අයා ගත්තාය. අදහාගත නොහැකි විස්මයකින් ඇගේ මුවින් මෙවදන් ඉබේම පිටවී ගියේය.

“ ඕ….හෝ…… එතකොට….. ම…. මා…. අවලස්සන එකියක් ද?”

“කිසිවක් නොදන්නීය තී. නවද්වාරයෙන් වැගිරෙන දුගඳ හමන අසූචියෙන් පිරුණු ඔය ස්ත‍්‍රී ශරීරය නිවනට ඇති ප‍්‍රධානම බාධාවයි. පිරිසිදු ජීවිතය කැමති භික්ෂූන් මේ ලෝකයේ ඉන්නවා. ඔවුන් ඔය අසූචි වළ දුරින්ම දුරු කරනවා.

ඒයි මෝඩි…! තී මේ සිරුර ගැන කිසිවක්ම නොදන්නී ය. නමුත් මා මේ සිරුරෙහි ඇත්ත දුටු කෙනෙක්. මෙහි සත්‍යය දුටු කෙනා ළාමක ස්ත‍්‍රී ශරීරය දුරු කරන්නේ වැසි කල උතුරා යන අසූචි වළක් දුරු කරන ලෙසිනුයි.”

ඕ නිශ්ශබ්ද වූවා ය. සැණෙකින් තම සිරුර දෙස බැලුවා ය. නග්න වූ උඩුකයෙහි පපුව එල්ලා වැටෙනු දුටු ඇයට මහත් ලැජ්ජාවක් හටගති. සෙමෙන් පහත් වී බිම වැටී තිබූ තනපට රැගෙන යළි බැඳගත්තා ය. ඇය මේ අසන්නේ කුමක් දැ යි තේරුම් ගත නොහැකි තරම් අද්භූත විස්මයක් ඈ තුළ ඇතිවිය. ඒ සෑම වචනයකම ගැබ් වී ඇති සත්‍යය ඇගේ සිත විනිවිද ගියේ ය. ඈ පුදුමයෙන් පුදුමයට පත්වූවා ය.

“පින්වත් ශ‍්‍රමණය….. ඔබ අද්භූත පුරුෂයෙක්! සැබෑ ම පිරිමියෙක්…. මෙතෙක් කල් මට මුණගැසුණේ මෙවැනි පෞරුෂයකින් හෙබි උදාර පුරුෂයන් නොවේ….! නාකි මී හරක්…. ඔවුන් මඩ වගුරක් දුටු විට දුවගොස් ඒ මඩේ බැස ගිලෙනා නාකි මී හරක් සේ මේ ස්ත‍්‍රී සිරුරට මත් වී එහි කිඳා බසිනවා. නමුත් ඔබ මේ කිසිවකට නොසැලී මෙවන් අභිරූපී මනමෝහනීය ස්ත‍්‍රී රූපය අභියස සිංහරාජයෙක් සේ අභීතව සිටිනවා. මට මෙය අදහාගත නොහැකියි. ස්ත‍්‍රී රුවට වසඟ නොවනා පුරුෂයෝ ලොව සිටිත් ද?”

“මෝඩ ගැහැනියේ….. අහසේ සිතුවම් අඳින්නට කාටවත් ම බැහැ. එවැනි දෙයක් කරන්නට ගියොත් ඔහුට අත්වන්නේ වෙහෙසක් ම යි. මා තුළ සමාධිමත් සිතක් තියෙනවා. මේ සිත සොළවන්නට ලොව කිසිවෙකුටත් බැහැ. මට තී ගැන අනුකම්පාව ඇතිවෙනවා. මහා ගිනිජාලාවක් මැදට පනින පළඟැටියක සේ තී මහා විපතකට පත්වෙන්නට යි හදන්නේ.”

“මුනිඳාණෙනි, එසේ නම් මේ ශරීරය මෙතරම් ලස්සනට සරසන්නේ මක් නිසා ද?”

“ඔව්! අවිද්‍යාවෙන් වැසී ගිය මිනිසුන් සිතන අයුරුයි ඒ…. ඔවුන් කරන්නේ අසූචි භාජනයට කැටයම් දැමීමයි. යටිපතුල් ලාක්ෂාරසයෙන් තවරනවා. නෙත් යුග වටා අඳුන් තවරනවා. තෙල් තැවරූ කෙස් කළඹ මත මල් ගසනවා. රන් අබරණවලින් ඔවුන්ගේ දෑත් දෙපය වසනවා. අසූචි බඳුන කැටයම් කිරීමෙන් එහා දෙයක් ඔවුන් කරන්නට දන්නේ නැහැ. නමුත් අමා නිවන සොයන කෙනෙකුට ඔය අසූචි බඳුනෙන් පලක් නැහැ.”

“ඒ වුණාට බොහෝ පුරුෂයන් මගේ පහසට මත්වෙනවා. වසඟ වෙනවා. දිය සොයා යන පිපාසිතයන් සේ ඔවුන් මා සොයා එනවා. මා ගැන අනේක කව්, ගී, නිසඳැස්, සිලෝ ලියනවා. ඒ හැමදෙයක්ම මේ සිරුර ගැනයි. ඔවුන් මේ සිරුරට සිර වෙනවා…..”

“ඒක ඇත්ත. මුව වැද්දා නැමැති මාරයා අටවන උගුලයි ඔය…. නමුත් මේ මුවා නම් ඒ උගුල කෑලිවලට කඩලා දැම්මා. මුව වැද්දාට කරන්නට දෙයක් නැහැ. ඔහු හඬනවා. ඔහු හඬද්දී ගොදුරු කන මුවා වැද්දාට නොපෙනී පලා යනවා. මං ඒ වගේ කෙනෙක්.”

විමලා එහෝම ඇණ තියාගත්තා. මහා මොග්ගල්ලානයන් වහන්සේට වන්දනා කළා. මොග්ගල්ලානයන් වහන්සේ දෙස බලා සිටියා. උන්වහන්සේ වදාළ හැම වචනයකින්ම ඇගේ ජීවිතයට අමුතුම ආලෝකයක් ලැබුණා. ඈ වෙනස් වුණා. හඬන්නට පටන්ගත්තා.

“ඉහි….. ඉහි….. ඉහි…… අ…. අනේ…. පින්වත් මුනිඳාණෙනි, නොදැන කළ වරදට සමාවන සේක්වා…! මා සිටියේ රූපයෙන් මත්වෙලා අන්ධ වූ දෙනෙතින්. නමුත් ඔබවහන්සේ මාගේ ඇස් පෑදුවා. මා අඳුරේ සිටියා. ඔබවහන්සේ මට ආලෝකය දුන්නා. මා මුලා වී සිටියා. ඔබවහන්සේ මට නුවණ දුන්නා. පින්වත් මුනිඳාණෙනි, ඔය වදාළ හැම වචනයක්ම ඇත්ත! ලාමක සිරුරක ගනුදෙනු මටත් එපා…! මං මේ මොහොතෙම මේවා අත්හරිනවා. මටත් වුවමනා අහස වගේ සිතක්…. කිසිවකට නොකැළඹෙන සිතක්…. මුළා නොවෙන සිතක්…. නොරැවටෙන සිතක්…. නොබැඳුණු සිතක්….. අනේ මුනිඳාණෙනි, මට මේ මායා මෝහයෙන් නිදහස් වෙන්නට ඕන.”

“නැගණිය, රාජගෘහයේ වේළුවනයට යන්න. එහි අප මුනිරජාණන් වහන්සේ වැඩසිටිනවා. සේනා සහිත මරු පරදා ලොව දිනූ මුනිඳාණෝ ලෝ සතුන්ගේ මායා මෝහ පටලය සිඳලමින් සම්බුද්ධ විද්‍යාවේ අරුණලු නංවමින් සිටින්නාහු ය. ඔබ යන්න. බුදුරජාණන් වහන්සේ ගේ සරණ ඔබට ලැබේවා!”

විමලා ඉතා සංසුන් වූවා ය. එදා සමාගා උද්‍යානයෙන් පිටවී යද්දී ඈගේ හදවතෙහි අලුත් පැතුමක් දැල්වී තිබුණි. ඈ කෙලින්ම ලොවෙහි එකම පිළිසරණ සොයා ගියා ය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව ඈට මුණගැසුණි. ඈ තෙරුවන් සරණ ගියාය. ගිහි ජීවිතය අත්හැරියා ය. භික්ෂුණියක් බවට පත්වූවා ය. මෙතුවක් කල් ඇගේ සිත වෙලා තිබූ අනේක බොළඳ ආශාවන්ගෙන් දුක් දොම්නස්වලින් ඈ නිදහස් වූවාය. කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි අලෞකික සිතක් ඇති කරගන්නට වාසනාව ඈට තිබිණ. ඈ අමා නිවන පසක් කළා ය.

ථේර ගාථාවල සඳහන් මොග්ගල්ලාන තෙරුන්ගේ ගාථා ඇසුරෙනි.

රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

The post උගුල සිඳෙයි appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here