ඊ-බුක් සහ ඊ-බුක් රීඩරයන් ගැන දන්න නොදන්න හැමදෙයක්ම! – Sri News

0
3

පොත් කියවන ඈයෝ දෙකොටසක් ඉන්නවා. එක කොටසක් පොත් වලට ආදරෙයි, පොත් වලට ආසයි, පොත් එක්ක රොමෑන්ටික් බැඳීමක් තියෙනවා. ඒ අය පොත් කියවන්නේ දැනුම විනෝදය ලබාගන්න විතරක් නෙවෙයි, පොතක සුවඳ විඳින්න, පොතක පි‍ටු අතගාන්න වගේ දේවලුත් ඒ අයට වුවමනායි. හැබැයි ඒකේ කිසීම වැ‍රැද්දක් නෑ. හැබැයි අනෙක් කොටස පොත් එක්ක රොමෑන්ටික් බැඳීමක් තිබුණා හෝ නැතා හෝ පොත් කියවන්නේම දැනුම සහ විනෝදාස්වාදය ලබාගන්න. පොතක සුවඳ විඳින එක, පි‍ටු පෙරළන එක ඒ අයත් කරනවා වෙන්න පුලුවන්. හැබැයි ඒ දේවල් නැතුව වුනත් ඒ අයට පොතක් කියවන්න පුලුවන්. දැන් ඇයි අපි ඊ-බුක් සහ ඊ-රීඩර්ස් ගැන මේ කතන්දර කියන්නේ? සරලයි. අපි කියපු පළමුවෙනි කොටස ඊ-බුක් රීඩර්ස් එක්ක මාරාන්තික තරහයි. ඒ අය හිතන විදියට ඊ-බුක් රීඩර්ස් කියන්නේ පොත් නැති කරන්න ආපු නව තාක්ෂණික මාරයෙක්. ඒ අය කියන විදියට ඊ-බුක් රීඩර් එකකින් කවදාවත් පොතක් කියවන සැබෑ හැඟීම ලබාගන්න බැහැ. ඒක ඇත්තද? ඒ ගැන තමයි අපි හොයලා බලන්න යන්නේ.

 

පොත් කියනකොටම අපිට මතක් වෙන්නේ අතට අහුවෙන කොළ තියෙන, පි‍ටු පෙරළන්න පුලුවන්, පි‍ටුවල සුවඳ දැනෙන, පිටුවල අකුරු අච්චු ගහලා තියෙන භෞතික පොතක් නේ. ඒක හරි. එතකොට ඊ-පොතක් කියන්නේ මොකක්ද? ඊ-පොතක් නැතිනම් ඉලෙක්ට්‍රොනික් පොතක් කියන්නේ පි‍ටු පෙරළන්න පුලුවන්, පි‍ටුවල අකුරු තියෙන පොතක්. හැබැයි මේ පොත තියෙන්නේ ඩිජිටල් මාදිලියෙන්. ඒ කිව්වේ මොකක් හරි කම්පියුටරයක් හරි, ටැබ් එකක් හරි ඒ වගේ තිරයක් තියෙන ඉලෙක්ට්‍රොනික් උපාංගයකින් තමයි මේ පොත කියවන්න පුලුවන් වෙන්නේ.

එතකොට ඊ-රීඩර් නැතිනම් ඊ-බුක් රීඩර් කියන්නේ අන්න ඒ විදියේ ඊ-පොත් කියවන්න පුලුවන් තිරයක් තියෙන ගැජට් එකකට. බැලූ බැල්මට ඊ-බුක් රීඩරයක් හරියට ටැබ්ලට් උපාංගයක් වගේ තමයි. හැබැයි මේ ඊ-බුක් රීඩරයන්ගේ තියෙන්නේ ඊ-ඉන්ක් කියලා හඳුන්වන විදියේ කළු-සුදු තිරයක්. ඒ වගේම ඊ-රීඩරයක් බොහොම සැහැල්ලුයි.

 

ඔව්, ඇත්ත පොතක වගේ කොළවල සුවඳ දැනෙන්නේ හරි, පි‍ටු පෙරළන කොට අතට දැනෙන්නේ හරි නම් නෑ. ඒ නිසා පොතක් කියවන එකෙන් ඔය දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඊ-රීඩර් හරියන්නේ නෑ. හැබැයි එතනින් එහාට නියම පොතක් වගේම ඊ-රීඩරයක් පාවිච්චි කරන්න පුලුවන්.

උදාහරණයක් විදියට කිවුවොත්, අපි කිවුවනේ මේ ඊ-රීඩර් වල තියෙන්නේ ඊ-ඉන්ක් තිරයක් කියලා. මේ කළු සුදු තිරය හරියට මුද්‍රිත කොළයක් වගේම තමයි. කිසිම දිලිසීමක් එහෙම නෑ. ඒ නිසා පොතක් කියවන අත්දැකීමම මේ ඊ-බුක් රීඩරයකින් ලබාගන්න පුලුවන්. එතකොට ඊ-රීඩරයක් බොහොම සැහැල්ලු නිසා පොතක් අතේ තියාගෙන ඉන්න විදියටම සෑහෙන වෙලාවක් අතේ තියාගෙන කියවන්නත් පුලුවන්. පරණ තාලේ ඊ-රීඩර් වල පි‍ටු පෙරළන්න තිබුණේ බට්න් දෙකක්. හැබැයි දැන් එන ඊ-ඉන්ක් තිර හැම එකක්ම ටච්ස්ක්‍රීන්. ඒ නිසා ඇඟිල්ලෙන් එහාට මෙහාට කරලා පි‍ටු පෙරළන්න පුලුවන්.

ඔය පොත් කියවීම රොමාන්තීකරණය කරන අයට වැස්ස වෙලාවක, කෝපි එකක් බොන ගමන් පොතක් කියවන අත්දැකීම වගේ දේවල් බොහොම වැදගත්නේ. ඉතින් ඊ-පොතක් කියවන කොට වුනත් ඒ අත්දැකීම කරදරයක් නැතුව ලබාගන්න පුලුවන්.

 

ගස් කැපීම නිසා සිදුවෙන පරිසර  හානිය ගැන හිත් කරදර කරගන්න කෙනෙක්ට ඊබුක්-රීඩරයක් අතේ තියෙනකොට සහතික වෙන්න පුලුවන්, තමන් කියවන පොත වෙනුවෙන් එක ගහක්වත් කපන්න සිද්ධ වෙලා නැහැයි කියලා. හැබැයි ඊ-බුක් රීඩර් එකක වඩාත් ප්‍රායෝගික වාසි තියෙනවා.

ඊ-බුක් රීඩරයක් අතේ තියෙනවා කියන්නේ සම්පූර්ණ පුස්තකාලයක් අතේ තියෙනවා කියන එක තමයි. බොහෝම අඩු මතක ධාරිතාවක් තියෙන ඊ-බුක් රීඩරයක වුනත් පොත් සිය ගාණක් පහසුවෙන් ඇතුළත් කරලා තියාගන්න පුලුවන්. ඒ කියන්නේ අද කාලේ තියෙන ඊ-බුක් රීඩරයක පොත් දහස් ගාණක් සුරක්ෂිතව තියාගන්න පුලුවන්. වුවමනා නම් ක්ලවුඩ් මතක පහසුකම් පාවිච්චි කරන්නත් පුලුවන් නිසා, තවත් පොත් දහස් ගාණක් අන්තර්ජාලයේ ක්ලවුඩ් මතකයක සුරක්ෂිත කරලා තියාගන්නත් පුලුවන්.

ඊ-බුක් රීඩරයක් සාමාන්‍ය පොතකටත් වඩා කුඩා සහ සැහැල්ලු, හුරුබුහුටි නිමාවකින් යුතු නිසා එහා මෙහා ගෙනියන එක කරදරයක්ම නෑ.

එතකොට ෆොන්ට් එක අපිට ඇහැට ලේසි විදියට ලොකු කරගන්න පුලුවන්. අපිට ඇහැට හොඳ විදියට පසුතලය වෙනස් කරගන්නත් පුලුවන්. පසුබිම් ආලෝකය තියෙන ඊ-බුක් රීඩරයක් ගත්තොත් රෑට වුනත් කිසිම කරදරයක් නැතුව පොත් කියවන්නත් පුලුවන්.

වර්තමාන ඊ-බුක් රීඩර් වල සෑහෙන්න අමතර පහසුකම් තියෙනවා. උදාහරණ විදියට ඊ-බුක් රීඩර් එකේ ස්ථාපනය කරලා තියෙන ශබ්ද කෝෂය නිසා දන්නෙ නැති වචනයක් අහුවුණු ගමන් ඒ වචනය ටච් කරලා ඒකේ තේරුම දැනගන්න පුලුවන්. සමාන වචන හොයාගන්න පුලුවන්. අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මොහොතක නම් විකිපීඩියා පි‍ටු පරිශීලනය කරන්නත් පුලුවන්. එතකොට පොතේ යම් යම් තැන් වල සටහන් තියාගන්න පුලුවන්.

එතකොට නොමිලේ ලබාගන්න පුලුවන් පොත් තිබීමත් ඊ-බුක් රීඩරයක් අතේ තියෙන එකේ වාසියක්. උදාහරණයක් විදියට gutenberg.org වගේ සයිට් එකකට ගියහම නොමිලේ දෙන ක්ලැසික් පොත් සෑහෙන ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here