ඊයේ නොදුටුව ලස්සන ලෝකය හෙට කොයින්දෝ … – Sri News

0
6


නොසිතු මොහොතක ඔබේ සතුට පුපුරවා හරින මරණය සිහි කිරීමට කාලය එළැඹ ඇත….

ජීවිතය සතුට,සිනහව, දෝරෙ ගලා එකිනෙක බලාපොරොත්තු ඉටු වෙමින් යනවිට කවුරුත් ජීවිතේට ආසා කරනවා. කවුරුත් ජීවිතේ ගැන විඳින්න ඇලුම් කරනවා. ලෝකයේ ම තියන සතුට හිත ළඟ වගේ දැනෙන කොට තව තවත් බලාපොරොත්තු ගොඩ ගැහෙනවා. ජීවත් වෙන්න තියෙන ආසාව වැඩි වෙනවා.

නමුත් ඔබට නොසිතු මොහොතක සතුට සැනකින් පුපුරා යන්නට බැරිද? සතුටින් පිරි ජීවිතය මරණයෙන් අවසන් වන්නට බැරිද? ආසාවෙන් බැඳී හිතුවට ජීවිතය ගැන සිය දහස් වාරයක් කීයෙන් කීදෙනෙක් හිතුවද මොහොතකට හෝ ජීවිතයේ ළඟම මරණය තියෙන බව? හදිසියේම කඩා වදින මරණය විසින් සුණු විසුණු කර දමන තුරුම ජීවිතේ ඔබට හිතුණේ නැහැ නේද මරණයක් මා ළඟටවත් ඒවි කියලා? ඥාතීන් ළඟටත් නොසිතු මොහොතක මේ තරම් දුකක් රැගෙන යළි ගොඩ නඟන්නට බලාපොරොත්තුවක් හෝ නොතියාම විනාශ වේවි කියල? එක මොහොතකින් සිහින මාලිගා සියල්ල බිඳ දමා හූල්ලනවා, පසුතැවෙනවා , විලාප නගනව…මේ දේවල් මේ ලෙස වෙයි කියල අපි කවුරුත් බලාපොරොත්තු වුනේ නෑ.

ඒ මිත්‍යා අඳුරේම සරණක් සොයනවා. මරණය ගැන අවබෝධයක් නැති තාක් කල් හිසේ අත් බැදන් විලාප තියන්නට පටන් ගන්නවා.

පපුවේ අත් ගසා ගනිමින් මරළතෝනි නගන්නට වෙනවා.

ඔබේ දරුවාගේ ඔබේ මවගේ පියාගේ ඥාති යාගේ නවත්වන්නට බැරි වෙනස් කරන්නට බැරි ලෝක ධර්මතාවයන් හමුවේ හඬා වැලපීමෙන් අපට කළ හැකි කිසිවක් ම නැහැ.

අපරිමිත ගුණ දරා වැඩ සිටි බුදු පසේබුදු මහරහතන් උතුමන් පමණක් මරණය විසින් මොහොතින් අසා දැමූ බව චතුරාරක්ඛා හෙවත් සතර කමටහන් හි මරනානුස්සති යේ
“පිනෙන් නුවණින් ගුණයෙන් ඉතිරිනු බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා පවා මරණය විසින් සැනකින් නසා වනසා දැමූ නම්,මා වැන්නකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැති ම ය ” යනුවෙන්
මෙලෙස සඳහන්ව තිබෙනවා .

ආගම ,ජාතිය, කුලය කුමක් වුවත් ලොව සදාකාලික නොවන සංස්කාරයන්ගේ අනියත බව කාටත් එකමයි. උපන් සියලු සත්වයෝ මියයන බවත්, සියලු සංස්කාරයන් අනියත බවත්, වටහා නොගන්නා තාක් ම සසරේ යන අපට උරුම වන්නේ ජරා මරණ දුක් දොම්නස් පමණමයි. අප මව් කුස පිළිසිඳ ගන්නේ යම් මොහොතකද , මරණය අප හඹා එන්නේ ද ඒ මොහොතේ සිටමයි. මරණයෙන් මේ ජීවිතය අවසන් වන්නේ නම්, මොහොතකදී යළි උපතක් අපට උරුම වන්නේ ද ඒ මොහොතේ දීමයි .

මව් කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් පණ කෙන්දට රැකවරණයක් නම් නැහැ. ඕනෑම මොහොතක මරණය අප කරා ආ හැකි කර්මය දායාද කරගෙන උපන් සත්ත්වයාට මරණය උරුමයි.

සාමාන්‍ය සමාජයේ මරණය කියන වචනයට පවා දක්වන්නේ අනිසි බියක්. මරණය ගැන කතා කළොත් කියන්නේ මූසල කතා කියන්න එපා. කියලයි .නමුත් කතාව නොකියා සිටියා කියලා මරණයෙන් ගැලවීමක් තියෙනවද?

කථාව යටපත් කළ හැකි නමුත් මරණය යටපත් කළ හැකිද ? එසේනම් මූසල දේ වන්නේ මරණය ගැන කතා කිරීම නොවෙයි. කතා නොකර සිටීමයි.

උපන් සියලු සත්ත්වයන් මියයනවා යනු යථාර්ථය යි. ලොව පවතින යථාර්ථය යටපත් කළ හැකි කිසිවෙක් ලෝකේ නැහැ. යථාර්ථය සඟවාගෙන කා බී නටමින් ගයමින් සිනාසෙමින් ගෙවන ජීවිතය නොසිතු මොහොතක සුණු විසුණු කරමින් පුපුරුවා දමන්නේ යටපත් කිරීමට උත්සාහ කළ මරණය විසින් මයි.

ඔබ ජීවිත කාලයක් පුරාවට දුක් දුක්මහන්සියෙන් ගොඩනගාගත් සතුට , එක මොහොතින් නැති කර දාන්නට තරම් අනුකම්පා විරහිත බලයක් මරණය සතුව ඇත.

දරුවන් නැතිවීමෙන් අම්මාවරුන් නගන විලාපය, මරණයට ඇහෙන්නේ නැහැ.

දෙමාපියන් නැති වීමෙන් දරුවන් තනිවෙන බව මරණයට පෙනෙන්නේද නැහැ.

සිව් මහ සමුදුරු කඳුළෙන් පිරෙන්නට තරම් ඇඬුවද ඒ කිසිවක් මරණයට අදාළ නැහැ .

මේ ජීවිතයේ ඔබට ඇති කාලය අවලංගු වන සැනින් මරණය ඔබට වලංගු වෙනවා. ඒ වන විට ගෙවෙන්නේ ඔබේ ළදරු විය ද, තරුණ විය ද, මහලු විය ද ,යන්න මරණයෙන් ගැලවීමට හේතුවක් නොවෙයි. මරණය කිසිදා කිසිවකුටත් කාරුණික වන්නේ නැහැ .

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙක් වූ නකුලපිතු ගෘහපතියා දිනක් ගිලන්ව දුකට පත් වුණා. එවිට ඔහුගේ බිරිඳ වන නකුල මාතාව ඔහුට මෙසේ පැවසුවා .

ඔබ අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්නට එපා. අපේක්ෂාවෙන් යුතුව මරණයට පත්වීම දුකක්. ඔබට මා ගැන මෙසේ සිතෙන්නට පුළුවනි.

මාගේ ඇවෑමෙන් පසු ගෙදර කටයුතු කරන ගමන් දරුවන් පෝෂණය කිරීම කිරීමට අසීරු වනු ඇත.

මාගේ ඇවෑමෙන් පසු මැය අන්‍ය සැමියෙකු කරා යනු ඇත.

මාගේ ඇවෑමෙන් පසු මැය ධර්මයේ හැසිරීම අත් හරිනු ඇත.

යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන් එසේ නොසිතන්න. මම ගෙදර වැඩ කටයුතු කරගෙන දරුවන් පෝෂණය කරමින් බ්‍රහ්මචාරීව වසමින් දහම් හිද කටයුතු කරමින් බුද්ධ ශ්‍රාවිකා වක් වශයෙන් ජීවත් වන්නෙමි. එබැවින් ඔබ අපේක්ෂාවෙන් තොරව මැරෙන්න.

මෙසේ ඇය තම සැමියාට දැහැමිව අවවාද සිදුකළා.
බලන්න ධර්මය ජීවිතයට ගළපා ගත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ පවා තිබුණු අවබෝධය.

නකුල මාතාව මෙහෙම කියනකොට….

මේ ගෑනි මං මැරෙන කරබලා ඉන්නේ කියලා වත්
මේ ගෑනි මං මැරෙනවට කිසිම දුකක් නෑනෙ කියලවත්
නකුල පිත ගෘහපතියාට සිතුනේ නැහැ .
තරහ ගියෙත් නැහැ .නකුල මාතාව පෙන්වා දුන්නේ යථාර්ථය බව ඔහු අවබෝධ කරගත්තා .ඒ දහම් කතාවෙන් ඔහුගේ ගිලන් බව නැතිවී ගොස් සුවපත් වුණා.

අද කාලේ මනුස්සයෙක් මැරෙන්න හදන මොහොතක බිරිඳක් මෙවන් ප්‍රතිඥාවක් කින් හැසිරෙයිද? එවන් ප්‍රඥාවන්තයින් දක්නට වත් නැහැ. මනුස්සයා ළඟට වෙලා “අනේ මාව දාලා යන්න එපා” අපි අතරටම ආයෙත් එන්න.” දරුවොත් එක්ක මාව තනි කරල යන්න එපා” ආදී වශයෙන් මර විලාප තියන බිරින්දෑවරුන් අද ඉන්නේ.

ඉතින් අවසාන මොහොතේ තම දරු පවුල ගැන තණ්හාවෙන් මැරිල එතන දොර මුල්ලක හරි උපදිනවා .වර්තමානය ලෙඩ වෙලා ඔත්පල වී මැරෙන බොහෝ අය මෙවන් දුක්ඛිත උපතකට මග පාදා ගෙනමයි මෙලොවින් හුස්ම ටික අතහරින්නේ.

මරණය ගැන අවබෝධයක් නැති තාක් කල් සිල් රකින පින් රකින ජීවිතයක් ඇතිකර ගන්න තාක්කල් මරණය පරලොව ජීවිතය දුක් වෙනවා ඇත .

පවාත දීප තුල්‍යාය
සායුසන්තති යාක්ඛයන්
අරූප මාය සම්පස්සං
භාවයෙ මරණස්සතිං

සුළගින් සැලී නිවෙනා
පහන් සැලකට සමවන
තිබෙන ආයු අපගේ
වේගයෙන් ගෙවෙමින් යයි.
අන් අය මැරෙන හැටි දැන
එයම උපමාවට ගෙන
මරණය ගැන ද නිරතුරු
වැඩිය යුතුය භාවනාවක් ලෙස…

විස්මිත ප්‍රඥාවෙන් ලොව සියල්ල අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ ,හැම මොහොතකම මරණය සිහි කළ යුතු බවයි.

මරණසතිය භාවනාවක් ලෙස වැඩීමෙන් බලවත් කුසල් රැස් වන බවද පෙන්වා වදාළා.

යෞවන මදය, ආරෝග්‍ය මදය ,ජීවිතය මදය, ආදී මද මාන දුරුකර ගැනීමට ද මරණය සිහිකිරීම උපකාරී වෙනවා.

උපන් සියලු සත්වයෝ මරණය උරුම කරන් ජීවත්වන අය.

හේතූන්ගෙන් හට ගෙන ඇති සියල්ල හේතු නැතිවීමෙන් නැතිවී යනවා. මේ පරම සත්‍ය ලොවට පෙන්වා දෙන්නේ ලෝක සත්ත්වයාගේ ම යහපත පිණිසම ලොව පහළ වන බුදුවරුන් ම පමණයි.

අකාලික ශ්‍රී මුඛ බුද්ධ වචනය අන්ධකාරයෙන් වැසුනු මිසදුටු ජීවිතවලට නොලැබී යාමෙන් අවාසනාව නිසා අද මුළු ලෝකයක්ම විඳවනවා.

කඩු කිනිසි යොදාගෙන ගහපිය මරාගෙන මැරෙව් ලෙස අති බිහිසුණු හිංසාකාරී දේවල් වලින් ධර්මය නසන්නට තරම් මේ මිත්‍යාව ඔවුන් කොතරම් අන්ධ කර තිබේද.

ඒ ඝන අන්ධකාරයේ ම ලගිමින් අනෙකාගෙ කඳුළු සුසුම් ලේ ගංගාවල් මතින් ගොස් හිමිකරගන්නා සුගතියක් ගැන ඔවුන් සිහින දකිනවා .දෘෂ්ටිය මිත්‍යාවක් වූ කල, කය වචනය සිත මුල්කරගෙන කරන්නා වූත් සියල්ලෙන්ම රැස්වන්නේ අනන්ත පව්. ලොව සියල්ල අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ මේ මිථ්‍යා දෘෂ්ටිය තරම් සත්ත්වයාට අහිත පිණිස දුක් පිණිස අනර්ථය පිණිස පවතින දෙයක් තවත් නැති බවයි.

ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මය විසින්ම රකී.පන්සාලිස් වසක් පුරා බුදු මුවින් වදහළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය එලෙසින්ම නිර්මලව රැකී පවතින්නේ ද මේ ලක් දෙරණේ ම පමණයි.

බුදු පියාණන් කියාදුන් ඒ උතුම් ධර්මය පුරුදු කරමින් ලොවුතුරු නිවන් මගේ වඩිනා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට පියාගෙන් දායාද වූ ධර්මය හා දායාද වූ ධර්මද්වීපය ද මෙයයි.

අප මුනීන්ද්‍රයන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් ධර්මය පවතින තාක් කල් මේ රට විනාශ කරන්නට මොනම බලවේගයකටවත් නොහැකියි.

බුදුන්ගේ අධිෂ්ඨානයක් වෙනස් කළ හැකි කිසිදු බලවේගයක් මෙලොව නැහැ. මෙතෙක් කල් මේ රට මෙතරම් ආරක්ෂා වීමෙන්ම, එය මනාවට පැහැදිලි වෙනවා .

මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූයේ ද යම් රාත්‍රියක පිරිනිවන් පාන්නේ ද මේ අතර කාලය තුළ යමක් පවසයිද කියයිද නිර්දේශ කරයි ද සියල්ල ඒ අයුරින්ම වෙයි. අන් අයුරකින් නොවෙයි. එනිසා තථාගත යැ යි කියනු ලැබේ.

ලොව කොහේ ජීවත් වුණත්, ඔබ හඹායන මරණයෙන් ගැලවීමක් නම් නැත්තේ මයි .එදාට මරණය අභියස ශෝක නොකරන බිය තැති ගැනීමෙන් හඬා නොවැටෙන දුක් නොවන සිතක් ලැබිය හැක්කේ , ඔබ දිවි පුදා මුළු හදවතින්ම තෙරුවන් සරණ යාමෙන් මයි.

ඒතං ඛෝ සරණං ඛේමං
ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති

මේ සරණ බිය රහිතයි. මේ සරණ මයි උතුම්. මේ සරණට පැමිණීමෙන් සියලු දුකින් මිදෙන්නේ ම ය .

කෙලෙස් පිරුණු පහත් ජීවිත මේ සරණට පැමිණීමෙන් උතුම් බවට පත්වුණා. නිකෙලෙස් බවට පත්වුණා. ජරා මරණ වලින් නිදහස් වුණා. සසරෙන් ම නිදහස් වුණා. බුදුවරුන්ගේ අනුශාසනාව සියලු දුකින් නිදහස් වීම පිණිසමයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here