ඉරානයේ තාක්ෂණික සහ විද්‍යාත්මක දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට සූදානම්

0
13

වර්තමානයේ ඉරානය තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන් විශාල ප්‍රගතියක් ළඟා කර ගෙන සිටින බවත් එම තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා හදා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා පවසනවා

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉරානයේ 45වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතාගේ කොළඹ පිහිටි නිල මැදුරේ දී සංවිධානය කර තිබූ නිදහස් දින උත්සවයේදීයි .

ඉරාන නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

මෙහිදී අදහස් දක්වමින් අලිරේසා ඩෙල්කොෂ් මහතා කියා සිටියේ ඉරාන විදේශ ප්‍රතිපත්තිය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වා ගෙන යන බවත් රාජ්‍යයන් අතර ආර්ථික සහයෝගිතාවය සහ කලාපයේ මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහාය වීම යන අංශ දෙක ඊට ඇතුළත් වන බවත්ය

එමෙන්ම ත්‍රස්තවාදයට සහ මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම ඉරාන රජයේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු අතරට ඇතුළත් වනවා .

එදා මෙන්ම වර්තමානයේත් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මනා සම්බන්ධතාවක් ගොඩ නැඟී තිබෙන බවත් එය ඉදිරියටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාමට දෙරට මනා අවබෝධයකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු පවසා සිටිනවා .

ඉරාන නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිටම පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය සහ මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික සමාජීය, සහ සංස්කෘතික සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වී ඇති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රාහිම් රයිසි මහතා අතර පවතින අනෝන්‍යය සුහදශීලීත්වය හා නොබිඳෙන මිත්‍රත්වය දෙරටේම සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් බොහෝ ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට ඉවහල් වූ බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී සඳහන් කළා

ඉරානය ශ්‍රී ලංකාවේ තේ සහ කුළුබඩු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ තවදුරටත් ප්‍රමුඛයා වනවා

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වෙළඳ වාණිජ කටයුතු ප්‍රවර්ධනය සඳහා දෙරට අතර විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම සිහිපත් කළ යුතු බවත් අමාත්‍යවරිය පවසා සිටියා .

ඉකුත් වසරේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටි දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉරාන රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළා

“උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ” ඇතුළු ඉරාන රජයේ ආධාර මුදල් යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් සිහිපත් කළ අමාත්‍යවරිය කොවිඩ් 19 වෛරසය සමයේ වුවද එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට මූල්‍ය සහ තාක්ෂණික වශයෙන් ඉරාන රජය ලබා දුන් සහාය ද මෙහිදී ඉමහත් ගෞරවයෙන් සිහිපත් කර සිටි බවයි පැවසෙන්නේ
.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here