‘ඉන්න බැරිනම් දමලා ගහලා වරෙන්’ කියලා එදා තාත්තා මට කිව්වෙ නෑ

0
4


විවාහ ජීවිතෙත් හරියට විශ්වවිද්‍යාලයක් වගේ කියලයි වෙලාවකට මට හිතෙන්නේ. දවස ගානේ ගෙවෙන හැම විනාඩියකම අනිත් කෙනාගෙ සතුට සැනසීම වෙනුවෙන් ජීවත්වෙන්නෙ කොහොමද කියලා අපි අලුතින් ඉගෙනගන්නවා. මහත්තයාගෙ, දරුවන්ගෙ සතුට ගැන හිතනවා වගේම එයාලා නිසා අපි සතුටු වෙන්නත්, එයාලා නිසා හිත රිදෙන තැන්වලදි හිත හයිය කරගෙන ජීවත් වෙන්නත් ඉගෙනගන්නවා.

මම අද විවාහ ජීවිතයේ සතුට, සැනසීම උපරිමයෙන් විඳින කෙනෙක්. ‘ඇත්තටම ඔච්චර සතුටින් ඉන්න පුළුවන්ද?’ කියලා කෙනෙකුට හිතෙන තරමට මං අද ඉන්නේ සතුටින්. හැබැයි කටුක අත්දැකීම් නොතිබුණාම නෙවෙයි. ඒ හැම අමිහිරි අත්දැකීමක්ම ජීවිතේ හරි පාරට ගේන්න වෙස් වලාගෙන ආපු ආශිර්වාද කියලයි අද මට හිතෙන්නේ. මේකත් එහෙම කතාවක්.

මේ මැයි මාසේ 13 වෙනිදාට අපි විවාහ වෙලා අවුරුදු දහයක්. ඒ වෙනකොට මං හිටියේ කිසිම දෙයක් තනියම කරගන්න බැරි උදව්වට කවුරුම හරි ඕන වුණ කෙනෙක් විදියට. අනිත් එක තමයි මොනා දේ වුණත් අම්මලා ගාවට දුවන්න බලාගෙනයි මම හිටියේ. ඔහොම ඉන්නකොට මගේ 30 වෙනි උපන්දිනේ දවසේ මට අමතක නොවෙන සිද්ධියක් වුණා. ඔවින්‍යා දූ එයා ඉඳගන්න පුංචි පුටුවේ පොඩි හිඩසක ඔලුව හිරකරගෙන, ගන්න බැරුව ලොකු ප්‍රශ්නයක් වුණා. එදා මෙහේ ඇම්බියුලන්ස්වලින් ඇවිත් තමයි දුවව මුදවාගත්තේ. මොකද එදා දහම් ගෙදර හිටියෙ නෑ. ඉතින් එදා දැනුණු වේදනාවට මං දහම්ට අඬ අඬ කිව්වා ‘‘මාව දරු දෙන්නා එක්ක ලංකාවට යවන්න, එයාලා ඉස්කෝලේ දාන්න ළංවුණාම මං ආයේ එන්නම්. මට තනියෙන් මේ වැඩ කරගන්න බෑ, ඔයත් මාසෙන් බාගයක් විතර ගෙදර නෑ. අද මගේ උපන්දිනේ කියලාවත් හිතුවද? කම්පැනි එකේ ඇනිවසරි එක කියලා ඒකට ගියා. මාවද වටින්නේ ඒකද වටින්නේ? අද ඔයා හිටියා නම් මේ දේ ඔවීට වෙන්නේ නෑ…’’ කියලා. අකමැත්තෙන් වුණත් මගේ පෙරැත්තය නිසා දහම් මාව ලංකාවට යවන්න කැමති වුණා.

මේ විස්තරේ මම මගේ අම්මටයි තාත්තටයිත් කිව්වා. එතකොට තාත්තා කිව්වේ, ‘‘ඔයා මෙහේ එන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි දුව. ඔයා ආවාම දහම් පුතාට මොකද වෙන්නේ? කසාද බැන්දාම ඉන්න ඕන එකට. ප්‍රශ්නවලට මූණදෙන්න ඕන එකට. ඔයාට දහම් පුතා එක්ක හොඳ රටක ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙද්දිත් ඔහොම දේවල්වලට අපි ගාවට දුවගෙන එන්න එපා. ඕවා ප්‍රශ්න නෙවෙයි මගේ අම්මාහොඳ දුව වගේ දහම් පුතා එක්ක ඔහෙට වෙලා ඉන්න. ඔයාට වැඩ කරගන්න අමාරුයි නම් රාණි අම්මා එවන්නම් ටික දවසකට…’’ කියලා. ඉතින් මම ආපස්සට දහම්ට කතා කරලා තාත්තා කියපු ටික කිව්වා. ඒ වෙලේ එයාගේ හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වුණා වගේ ඒ මුණෙන් මට පෙනුණා.

‘‘මං ආස ඔයලා මං එක්ක ඉන්නවට. මං කොහේ ගියත් මට මෙහේ ඔයාලාගේ ආරක්ෂාව ගැන බය නෑ. අනික මට ඔයාලා තුන්දෙනාගෙන් ඈත්වෙලා ඉන්න බෑ. මං එහෙම ඉන්න ආස නෑ. අපි කසාද බැන්දේ ප්‍රශ්න වුණාම තැන් දෙකකට වෙලා, ඒවා විසඳුනාම ආපහු එකට ජීවත් වෙන්න නෙවෙයිනේ. මට සතුටුයි ඔයා ගත්‍ත තීරණේට. ඔයාට පුළුවන් හැමවිදියටම මං උදව් කරන්නම්. අපි රාණි අම්මාවත් ගෙන්න ගමු ටික කාලෙකට. ඔයාට අමාරුයි කියලා මට ​​තේරෙනවා…’’ කියලත් කිව්වා.

රාණි අම්මා කියන්නේ අපි ඉපදුණ දා ඉඳන් අපිට ළෙංගතු, අම්මා හා සමානව ආදරේ දීපු අපේ ආච්චි කෙනෙක්. ඉතින් දහම් කියපු විදියට අපි රාණි අම්මව ජපානෙට ගෙන්න ගත්තා. එයා අපි ගාව හිටපු කාලෙදි මං තවත් පිළිවෙල, පිරිසිදුකම රාණි අම්මාගෙන් ඉගෙනගත්තා. අයාන් පුතා එතකොට ඉපදිලා නෑ. ඒ කාලෙදිත් මගේ වැඩ ලේසි කරන්න දහම් හැමදේම කළේ පවුලක් විදියට අපි එකට ඉන්න ඕන නිසා. ඒ සිද්ධියෙන් පස්සෙත් වැදගත් දෙයක් වුණා. මගේ උපන්දිනේ වගේ විශේෂ දවස්වල දහම් කල්තියා නිවාඩු අනුමත කරගත්තා.

ඉතින් මං දැන් දන්නවා පවුල් ජීවිතේ ඇතුළේ දෙන්නාගෙම සහයෝගය තියෙන්නම ඕනේ. ‘ඔයා මේක කරාට මාත් මේක කරනවා නෙවෙයි, අපි දෙන්නාම කරමු’ කියන හැඟීම තියෙන්න ඕනේ. ඕනම දේකට මූණ දෙන්න හිත ශක්තිමත් කරගන්න ඕනේ. ගෙදරින් වෙන්වෙලා වෙනම ජීවත් වෙන කෙනෙක් නම්, කාගෙවත් සහයෝගයක් බලාපොරොත්තු නොවී පුළුවන් තරම් බිරිඳ සැමියාටත් සැමියා බිරිඳටත් සහයෝගය දුන්නාම ආදරෙත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්. අඩුපාඩු වගේම මගහැරෙන තැන් ඒවි. දෙන්නට දෙන්නා සහයෝගෙන් ඉන්නකොට ඒවා දිහා වුණත් පරිණත විදියට බලන්න පුළුවන් වේවි.

අනිත් එක මේකත් කියන්න ඕන. අම්මලා තාත්තලාට ​මොන වැරැද්ද වුණත් තමන්ගේ දරුවා වටිනවා තමයි. ඒ නිසා දරුවො පවුල් ජීවිත ගත කරන්න ගත්තට පස්සේ තමන්ගේ දුව හෝ පුතා කියන දේ අහලා, සමහරවිට ලේලි හෝ බෑණා එක්ක අමනාප වෙන දෙමව්පියෝ වැඩියි. සමහර වෙලාවට තමන්ගේ මහත්තයා එක්ක පුංචි රණ්ඩුවක් හදාගෙන දුව ගෙදර එන්න හැදුවම ‘උඹව අපිට වැඩි නෑ. ඕක අතෑරලා දාලා වරෙන්’ කියන අම්මලා තාත්තලාත් නැතුවම නෙවෙයි. හැබැයි ඒ වගේ තැන්වලදි දෙමව්පියෝ ටිකක් ඉවසීමෙන්, බුද්ධිමත්ව කටයුතු නොකළොත් දරුවන්ගේ පවුල් ජීවිත අවුල් වෙලාම යන්න පුළුවන්.

මේත් එක්ක තවත් සතුටු දෙයකුත් ලියනවා. ‘ධරණී’ පුවත්පතට ලිපි ලියන්න අරන් අදට අවුරුද්දක්. ඒ ලිපි ආදරෙන් වැළඳගත්ත පාඨක ඔබ සැමට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. සමාජ මාධ්‍යයේ විතරක් ලිපිවලින් සතුට බෙදපු මට මුද්‍රිත මාධ්‍ය තුළිනුත් ඒ සතුට බෙදන්න අවස්ථාව දුන්නු ‘ධරණී’ පුවත්පතට ගොඩාක් ස්තුතියි.

හෂීණි මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here