ඉන්දුනීසියාව ජාකර්තාව වෙනුවට වෙන අගනුවරක් සොයන්නේ ඇයි? – Sri News

0
6

ඉන්දුනීසියාව කියන්නේ ලොකු රටක්. ඉන්දුනීසියාවට දූපත් 16,000කට වඩා අයිතියි. ඉන්දුනීසියාවට ලංකාවට වඩා බොහොම විසාල දූපත් පහක්ම අයිති වෙලා තියෙනවා. මෑතකදී ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණයෙන් කලින් හිටපු ජනාධිපතිම නැවත පත් වුනා. ජෝකෝ විඩ​ඩෝ ඉන්දුනීසියා ජනාධිපතිවරයා නිදහස් දවසේ කියපු විදියට ඉන්දුනීසියාව ජාකර්තාව වෙනුවට වෙනත් අගනුවරකට මාරු වන්න හදනවා. ජාකර්තා වල ජනගහ​ණය මිලියන 10ක්. ජාකර්තා කියන්නේ සමස්ථ ආසියාවේම තියෙන සුවිශාල නගරයක්. ඉතින් ඇයි මේ හදිසියේ ඉන්දුනීසියාව අගනුව​ර මාරු කරන්නේ? 

 

ඉන්දුනීසියා ජාකර්තාව කියන්නේ මූද අසබඩ තියෙන ලස්සන නගරයක්. මේ ජාකර්තාව ඉස්සර කාලේ ලන්දේසිකාරයෝ රට කරද්දි අගනුවර විදියට තෝරාගත්ත තැන. ඉස්සර මේක හැඳින්වූයේ බතාවියා කියලා. ජාකර්තාව දැන් ගිලෙන්න පටන් අරගෙන. ජාකර්තා නුවරින් 95%ක් 2050 වෙද්දි ගිලෙනවා. එයින් උතුරු ජාකර්තාව වසරකට සෙන්ටිමීටර 25ක වේගෙන් ගිලෙනවා. ඒ කියන්නේ අවුරුද දහයක් යද්දි මීටර් දෙකකට වැඩි ප්‍රමාණයකින් උතුරු ජාකර්තාවේ උස අඩු වෙනවා. එතකොට අසල තියෙන මූදු වතුර ගංගා වල ජලය ඒ භූමියට එනවා. මේක ආරක්ෂා කරගන්න උස තාප්ප ගැහුවත් ජාකර්තාව ආරක්ෂා කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මිලියන 10ක් වාසය කරන ජාකර්තා නගරයේ ඇතැම් කොටස් දැනටම ජලයෙන් යට වෙලා ඉවරයි. නාගරික ජනතාවගෙන් 65%ක් පමණ නල ළි​ං ගහලා ඒ වතුර තමයි එදිනෙදා වැඩට පාවිච්චි කරන්නේ. නල ළි​ං වලින් අදිනකොට යට තියෙන භූගත ජල ස්ථරය තුනී වෙනවා. එතකොට ඉහ​ළ තියෙන මහ පොලව යටට කිඳා බහිනවා. මේ ජලය ලබාගැනීම සහ ගිලෙන එක නවත්වන්න අමාරු දෙයක්. ඒක ඉන්දුනීසියා අගනුවර මාරු කරන්න එක හේතුවක්. 

 

ඉන්දුනීසියා සුමාත්‍රා වල ඇතිවූ භූමිකම්පාව නිසා 2004 වර්​ෂයේ සුනාමියෙන් ලංකාවටත් දැඩි හානි වුනා. ලංකාව තියෙන්​නේ ඉන්දුනීසියාවේ ඉ​ඳලා කිලෝමීටර තුන්දාහක් විතර ඈතින්. ඒත් අවදානමට ගොදුරු වුනා. මේ ගිනිකඳු ඇතිවෙන ගිනි ව​ළල්ල හෙවත් රින්ග් ඔෆ් ෆයර් කියන එකට ඉන්දුනීසියාව අහු වෙලා තියෙනවා. මේ ගිනි ව​ළල්ල තුල ජාකර්තාව දැනට තියෙන ජාවා දූපත ඇතුලත්. ජාකර්තා නගරය වෙනුවට අලුත් නගරය පිහිටුවන්න ඉන්දුනීසියා රජය අදහස් කරගෙන ඉන්නේ බෝර්නියෝ දූපතේ. බෝර්නියෝ කියන්නේ මේ ගිනිකඳු සහ භූමිකම්පා ඇතිවෙන සීමාවෙන් පිට තියෙන තැනක්. ජාවා දූපතේ ගිනි ගොඩ උඩ තවත් ඉන්නවාට වඩා ඉන්දුනීසියාව අලුත් ගැස්සීම් පැද්දීම් ස​හ ගින්දර අඩු තැනකට යන්න කැමැත්තෙන් ඉන්නවා ඇති. 

 

ජාකර්තා නගරයේ වපසරිය වර්ග කිලෝමීටර 661ක්. ආසන්නව ප්‍රමාණය අනුව අපේ කොළඹ දිස්ත්‍රික්කයට සමානයි. මේ කුඩා ඉඩකඩ තුල ලංකාවෙන් බාගයක් විතර ඒ කියන්නේ මිලියන දහයක සෙනගක් ඉන්නවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නගරය ලෝකේ නරකම ට්‍රැෆික් තියෙන මහා නගර වලට ඇතුලත් වෙලා තියෙනවා. ට්‍රැෆික් අඩු කරන්න බස් සේවාවන්, දුම්රිය සේවාවන් ස​හ නාගරික මෙට්‍රො සේවාවන් ජාකර්තාවේ අලුතින් දමලා තියෙනවා. ඒත් ට්‍රැෆික් වල නම් කිසිම අඩුවක් නැහැ. නගරය මේ විදියට තියාගෙන ට්‍රැෆික් වලට විසඳුම් හොයන එක කරන්න පුළුවන් වුනත් නගරයේ කොටස් පදාස පිටින් ගිලෙන නිසා ඒ වැඩෙත් ලේසි නැහැ. ඉන්දුනීසියාව තමුන්ගේ අගනුවර මාරු කරන්න තවත් එක හේතුවක් විදියට මේ අසික්කිත වාහන තදබදයත් දක්වලා තියෙනවා. 

 

නගරයකට ජලය කියන්නේ මූලික සාධකයක්. නල ළි​ං වලින් ජලය ගැනීම ජාකර්තාව ගිලෙන්නට හේතුවක් වුනා. ඒත් ඒ වෙනුවට සෑම නිවසකටම ජල සැපයුමක් දෙන්න ජාකර්තා පාලකයින්ට හැකියාවක් නැහැ. ඒ වගේම නගරය තුල ප්‍රවාහන පහසුව මීට වඩා ශක්තිමත් කරන්නත් තියෙන්​නෙ අඩු ඉඩක්. තවදුරටත් ඉස්සරහට දියුණු ලෝකයට යද්දි මීට වඩා ශක්තිමත් ලෙස නගර පහසුකම් වර්ධනය කරන්න ඕනි කියලා ඉන්දුනීසියාව හිතලා තියෙනවා. අලුත් නගරය වෙනස් වීම එක්ක අනිවාර්යයෙන් රජයේ කාර්යාල සහ පරිපාලන කටයුතු අලුත් නගරය වෙත මාරු වේවි. රජයේ සේවක පිරිස සහ රජයේ කාර්යාල නගරය තුල වැඩි වපසරියක් අත් පත් කරගන්නේ නැහැය, ඒ නිසා ඔය මාරුව තේරුමක් නැහැය කියලත් පිරිසක් කියනවා. ඒත් කෙමෙන් කෙමෙන් වාණිජ කටයුතුත් අලුත් නගරයට මාරුකරගන්න ඉන්දුනීසියාවට පුළුවන් වුනොත් ඒක සාර්ථක මාරුවක් වේවි. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here