ඉක්මනින් රසවත්, ඇමෙරිකන් පෑන් කේක් හදමු… – Sri News

0
16

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකීය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ. 

ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කරල රෝලක් හැඩයට හදාගෙනනෙ.

හැබැයි සාමාන්‍යයෙන් යුරෝපා රටවල් වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක් පිළිඟන්වන විදිහත් ටිකක් වෙනස්. 

අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රසම රස ඇමෙරිකන් පෑන් කේක් විනාඩි 10 ක් වගේ කෙටි කාලෙකින් ලස්සනට හදාගන්න විදිහයි.

එහෙනම්, මුලින්ම බලමු අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියල. 

ඇමෙරිකන් පෑන් කේක් (20 ක් සඳහා / කැලරි 131)

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 200 g ක්

බේකින් පවුඩර් 10 g ක්

සීනි මේස හැඳි 01 ක්

ලුණු කුඩු තේ හැඳි 01 ක්

කිරි 300 ml

කාමර උෂ්ණත්වයේ ඇති බටර් 40 g ක්

බිත්තර 01 ක්

පිළිගැන්වීමට පැණි සමඟ බටර්, මාගරින්, ස්ට්‍රෝබෙරි, ඇපල්, කෙසෙල් හෝ බ්ලූබෙරි වැනි ඔබ කැමති පළතුරක්

සාදාගන්නා ආකාරය

පිටි වලට බේකින් පවුඩර්, සීනි සහ ලුණු කුඩු එකතු කර තරමක් විශාල වෙනත් භාජනයකට පෙරනයක් ආධාරයෙන් හලා ගන්න.

හලාගත් පිටි මිශ්‍රණය හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් එයට බටර්, බිත්තර සහ කිරි එකතු කර කැට නොසිටින උකු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් පැතලි සාස්පානක් ලිපතබා එය රත්වන විට එහි බටර්, මාගරින් හෝ තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.

තරමක් විශාල හැන්දක් ආධාරයෙන් සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය සාස්පානට වත්කර ගන්න. 

වත්කර ගත් මිශ්‍රණය ඝනවී කුඩා බුබුළු ඒමට පටන් ගත්විට සෙමින් පරිස්සමින් අනෙක් පැත්ත හරවා ගන්න. 

තත්පර 30 ක් පමණ තබා ලිපෙන් ඉවත්කර ගන්න. 

(දෙපැත්ත රන්වන් පැහැ වී තිබිය යුතුයි)

දැන් අපි පෑන් කේක් පිළියෙල කර අවසන්.

මඳ රස්නෙන් පවතින විටම ඊට උඩින් පැණි වත්කර බටර්, ජෑම් හෝ ඔබ කැමති පළතුරක් සමඟ උණුසුම්වම රස විඳින්න ඔබට පුළුවන්. 

එකම හැන්දක් භාවිතයෙන් මිශ්‍රණයෙන් එක සමාන ප්‍රමාණ තැටියට වත්කර එකම ප්‍රමාණයේ පෑන් කේක් පිළියෙල කරගන්න ඔබට පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here