ඇරියස් එක්ක මැරෙනවට වඩා වෛරස් එකකින් මැරෙන එක සැපයි

0
7


මේ සමාජයේ අපි එක්ක ජීවත්වෙන විවිධ තරාතිරම්වල මිනිස්සු ඉන්නවා. සමහර අය ජීවිතේ දිහා ගොඩාක් පටු විදියට බලද්දී තවත් අය ගොඩක් පුළුල් විදියට ජීවිතේ දිහා බලනවා. එක එක අය බලන විදිය වෙනස් වෙන්නේ ඒ අයට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක.

ගොඩක් වෙලාවට හොඳට වඩා ඕනෑම දෙයක නරක දකින්නේ ජීවිතේ අමිහිරි අත්දැකීම් ලැබුණු මිනිස්සු කියලයි මට හිතෙන්නේ. ඒ අමිහිරි අත්දැකීම් නිසා එයාලා සමාජය එක්ක වගේම අනිත් මිනිස්සු එක්කත් ලොකු වෛරයකිනුයි ඉන්නේ. ඇරියස් තියෙන මිනිස්සු කියලා අපි කියන්නේ ඒ වගේ අයට. තමන්ගේ ජීවිතේ විඳින්න හේතු හොයාගන්න බැරි ඒ මිනිස්සු, ලස්සනට ජීවිතේ විඳින මිනිස්සු දැක්කම ගොඩක් වෙලාවට කරන්නේ විෂ මුදා හරින එක. ඒ විතරක් නෙවෙයි ඒවාගෙන් සතුටකුත් ලබනවා. ගොඩක් වෙලාවට එහෙම අය සතුටු වෙන්න දන්නේ, අනුන්ට විෂ මුදාහැරීමෙන් විතරක් නිසා, සතුට අඩුවෙද්දී ආයේ ඒ දේම කරනවා.

මටත් එහෙම අය මුණගැහිලා තියනවා. එයාලා මං එක්ක ඉඳලා තියන්නේ ලොකු ඇරියස් එකක කියලා තේරුණේ මං මේ වගේ ලියවිලිවලින් මිනිස්සු අතරට ආදරේ අරන් යන මුල් කාලෙදි. මට ඒවා තේරෙද්දි මං කළේ ඒ අයට වෙනදාට වඩා ආදරේ දීපු එක. හැබැයි මාව මෝඩයෙක් ගානට දාගෙන මොන දේ වුණත් මෙයාව ශේප් කරගන්න පුළුවන් කියන තැනට ඒ අය මගේ ආදරේ පාවිච්චි කරනවා දැනුණාම මං එයාලාව අතහැරියා. ඇරියස් පිරිමහන අයගෙන් ඈත්වෙන එක මගේ මානසික සුවයට යෝග්‍යයි කියන දේ තේරුම් අරන් පුළුවන් තරම් ඈත්වුණා. ඒ ඈත්වීම් නිසා මගේ ජීවිතේට නරකක් වුණේ නෑ.

හැබැයි අවාසනාව කියන්නේ අපිට මේ අයව එකපාර අඳුරගන්න ලැබෙන්නේ නෑ. සමාජ මාධ්‍යවල වගේම අපේ වටපිටාවෙත් අපි ළඟින්ම ආශ්‍රය කරන අය අතර මෙහෙම අය ඉන්න පුළුවන්. ඔබටත් මුණගැහිලා ඇති. තමන්ට නොලැබුණු දෙයක් තවකෙනෙක්ට ලැබෙද්දි හිතෙන් තැවෙන, ඒ වගේම තමන්ට ලැබුණ දේම තව කෙනෙක්ට ලැබෙද්දි හිතෙන් දැවෙන, තව කෙනෙක්ගේ ජයග්‍රහණයකදී සතුටු වෙන්න බැරි ඒ වගේ මිනිස්සු වටේ තියාගෙන සාමකාමී ගමනක් යන්න හිතනවනම් ඒක කරන්න අමාරුයි.

ඒ නිසා නොදැනුවත්ව හෝ ඒ වගේ ඇරියස් පිරුණු මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට ජීවිතේ එපා වෙන එක විතරයි. ඔයාට තව කෙනෙක්ගේ දුකකදි දුක්වෙන්න වගේම තව කෙනෙක්ගේ සතුටක් දැක්කාම සතුටු වෙන්න පුළුවන්ද කියලා තමන්ගේ හිතින් අහලා බලන්න. තව කෙනෙක්ගේ අඳුරු කලාපයෙන් එළියට එන්න උදව් කරන කෙනෙක්ද නැත්‍නම් ඒ අඳුරු කලාපයන් මතක් කර කර නින්දා කරන කෙනෙක්ද කියලා හිතින් අහලා බලන්න. ඔයා ගතකරන සුන්දර ජීවිතේම තව කෙනෙක් ගතකරද්දි, ඔයාව දැවෙනවද? නැත්නම් ඒ සතුට බෙදාගන්න කෙනෙක්ද කියලා හෘදසාක්ෂියෙන් අහලා බලන්න. ඔයාගේ පීඩනය, තරහව, වේදනාව ඔයා තව කෙනෙක් පිට යවනවාද? නැත්නම් මොන පීඩනයක හිටියත් තව කෙනෙක්ට කරුණාවන්ත වෙලා තියෙනවද කියලා හිතලා බලන්න. උත්තර සුබවාදී නම් ඔයා ඇරියස් නැති මනුස්සයෙක්.

ඔයාට ලැබුණ පිළිතුරු අසුබවාදී නම්, මං ආදරෙන් ඔයාට දෙයක් කියන්නම්. තමන්ගේ හිත කුණු ගොඩක් වෙලා තියෙද්දී ලෝකය ලස්සන තැනක් කරන්න අපිට බෑ. ලෝකේ ලස්සන කරන්න ඕනේ මුලින් අපි ලස්සන වෙලා. අනිත් මිනිස්සුන්ගේ හිත්වල ලස්සන හොයන්න ඕනේ අපේ හිත ලස්සන කරගෙන… අනිත් අයගේ ජීවිතවල සතුට බෙදන්න නම් පුංචිම හේතුවලින් පවා අපි අපේ ජීවිතේ සතුට හොයාගෙන තියෙන්න ඕනේ. කණ්ණාඩියෙන් මූණ බලද්දී ඔයාට ඔය ගැන තෘප්තියක් දැනෙන්නේ  නැත්නම් ඔයා ඉන්නේ ඔයාව අභ්‍යන්තරයෙන් සුවපත් වෙන්න ඕන තැනක කියන එක තේරුම්ගන්න.

තමන්ට ආදරේ නොකරන, ආත්ම ගෞරවය කෙලෙසගත්තු කෙනෙක්ට ලෝකයෙන් ආදරය, ගෞරවය බලාපොරොත්තු වෙන්න බෑ. සරලවම කියනවනම් තමන්ගේ සතුට තමා තුළින් හොයාගන්න නොදන්න කෙනෙකුට බාහිර ලෝකය තමන්ව සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම නොවුණම, සතුටින් ඉන්න මිනිස්සු දිහා බලලා හූල්ලන එක තේරුමක් නැති වැඩක්.

ඒ නිසා පුංචි පුංචි දේවල්වලින් සතුට හොයාගන්න පුරුදු වෙන්න. චෝදනා කරන, ආඩපාලි කියන දාහක් දේවල් අස්සේ ඔයාට නොපෙනුණාට ස්තුතිවන්ත වෙන්න, සතුටු වෙන්න පුළුවන් දේවල් දස දහස් ගාණක් ඇති. ඒ දේවල් හොයාගන්න. එහෙම නොකළොත් සතුට, සැනසීම කියන එක හීනයක් විතරක්ම වෙයි. ඇරියස් පිරුණු මනුස්සයෙක් විදියට මැරිලා යන එක අපරාදේ නේද?

ඒ නිසා මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න.

හෂීණි මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here