ඇමරිකානුවන් හරක් මසට ගිජු ඇයි? – Sri News

0
4

ඇමරිකාව වසරකට පරිභෝජනය කරන හරක් මස් ප්‍රමාණය මුලු ලෝකෙම හරක් මස් නිෂ්පාදනයෙන් 20%කට වැඩියි. ඒ පරිභෝජනය ජනගහණයෙන් බෙදලා ගත්තාම ඇමරිකානුවෙක් දළ වශයෙන් වසරකට හරක් මස් කිලෝ 36ක් පමණ ආහාරයට ගන්නවා. මේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක්. අනෙක් රටවලට වඩා ආහාර අතින් හැමදාම ස්වයංපෝෂිත ඇමරිකාවට ඒ රටේ ආහාර නිෂ්පාදනය කරගැනීමවත් ගව මස් නිෂ්පාදනය කරගැනීමවත් ගැටළුවක් නෙමෙයි. ඒත් ලෝක මට්ටමේ පරිසර විද්‍යාඥයින් කියන විදිහට ආහාර විදිහට රතු පැහැති මස් ලබාගන්න ගවයින් වැනි සතුන් ඇතිකිරීම පරිසරයට එච්චර හොඳ දෙයක් නෙමෙයි. 

 

ඇමරිකාවට මුලින්ම ගොඩ බැස්සේ කවුද කියන එක ගැටළුවක්. ඒත් ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල හිටි මිනිසුන්. ඒ යුරෝපීයයන්ගේ ආහාර රටාවල කොහොමත් මස් යහමින් තිබුණා. පසුකාලීනව ඔවුන්ටත් වඩා ඇමරිකානුවන් මසට ගිජු වුවත් යුරෝපීයයන්ගේ ඒ ආහාර රටාවේ පුරුද්ද ඇමෙරිකානුවන්ටත් එන්නට ඇති. යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන එහි පදිංචි වූ පසු මුල් කාලයේ ඒ බිමේ සිටි වන සතුන් ආහාරයට ගත්තා. පසුව ඔවුන් සතුන් ඇති කළා. 

 

ඇමරිකාව ඔවුන්ට පරිභෝජනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර නිපදවා ගන්නවා. ඒ ධාන්‍ය අතර ඉරිඟු වැනි ධාන්‍ය මූලික තැනක් ගන්නවා. දැනටත් ඒ අමතරව නිපදවෙන ධාන්‍ය සත්ව ආහාර විදිහට යොදාගන්නවා. 1970න් පසු කාලීනව ඇමරිකාවෙත් චිකන් හෙවත් කුකුල් මස් වලටත් වැඩි පිරිසක් නැඹුරු වුණා. ඒත් තවමත් ඇමරිකානුවන් ගවයින්ට කන්න දීලා ගවමස් ආහාරයට ගැනීම අත හැරලා නැහැ. 

 

 

 

නූතනයේ නම් හරක් මස් වැඩිපුර ආහාරයට ගැනීම හොඳ දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒත් 1860 ගණන්වල අතීතයේදී හරක් මස් ගැන පෝෂණවේදීන් සහ එවකට බලපෑම් කළ හැකි දාර්ශනිකයින් වැඩිපුර විශ්වාසය තබා තිබුණා. ඒ අනුව බත් ගිලින ඉන්දීය හින්දූන්ට වඩා මොළය සහ සිරුර වර්ධනය කරගන්න හරක් මස් උපකාර වෙනවා වැනි අදහස්ද එවකට අමරිකාවේ ජනප්‍රිය වුණා. නව භූමියක් සොයා යෑම වගේම ඒ භූමිය තුළ ඇමරිකානුවන් ලොව බලවත්ම මිනිසුන් බවට පත් වීමේ දේශපාලනික උවමනාවක්ද අමරිකානුවන්ට තිබුණා. එනිසා සිරුරෙන් වගේම මොළයෙනුත් විශාල වීම වැඩිවැඩියෙන් බීෆ් ගිලදැමූ මුල් ඇමරිකානුවන්ගේ අදහස වුණා. 

 

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ පසුකාලීනව ජනාවාස වුණු හැම භූමියකම වගේ ස්වදේශිකයින්ගෙන් කොල්ල කාගත් සුවිශාල භූමිබාග යුරෝපීයයන්ට හිමි වුණා. ඒ භූමි වල සත්ව පාලනය හරිම ලේසි වැඩක්. වැඩි ආයාසයකින් තොරව කරන්නට පුළුවන් සත්ව පාලනයට මුල් කාලේ ඇමරිකානු බලධාරීන්ගෙන් එතරම් නීති රීති සීමාවන් පැනවුනෙත් නැහැ. ඔවුන් ඒ සුවිශාල බිම් වල ගවයින් රිසි සේ ඇතිකරමින් සිය මස් සංචිත පවත්වා ගත්තා. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here