ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක් ද? හරි ඇටිටියුඩ් හදාගන්න ටිප්ස් මෙන්න! – Sri News

0
8


මොකක්ද ඇත්තටම ඇටිටියුඩ් එකක් කියන්නේ? ඩික්ෂනරිය පෙරළලා බැලුවොත්, කවුරුහරි මනුස්සයෙක්ගේ හැසිරීමට, විදියට බලපෑම් කරන්න පුලුවන් විදියේ හිතන පතන විදියක් හෝ දැනෙන විදියක් තමයි ඇටිටියුඩ් එක කියලා හඳුන්වන්නේ. ඒක අපිට ආකල්පයක් විදියට හඳුන්වන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට “මං පොර, අනික් ඔක්කොම එවුන් නතින්” වගේ උද්දච්ච ආකල්පයක් තිබුණොත්, අපි කොහේ ගියත් හැසිරෙන්නේ ඒ විදියට තමයි. ඒ කියන්නේ කවුරුහරි අපෙන් ප්‍රශ්නයක් ඇහුවත්, අපි උත්තර දෙන්නෙත් පොර මානසිකත්වයේ ඉඳන්, ප්‍රශ්නේ අහන මනුස්සයාව සත පහකට ගණන් ගන්නෙ නැතුව තමයි. ආන්න එහෙම තමයි අපේ හැසිරීමට අපේ ආකල්පය බලපාන්නේ. එතකොට සමහර වෙලාවට ප්‍රශ්නේ අහන මනුස්සයට සිද්ධ වෙන්න පුලුවන්, “මං ඔයාගෙන් ප්‍රශ්න අහන එක ඔයාට වදයක් වගේද” කියලා අහන්නත්.

ආන්න ඒ නිසා, අපි හරි විදියේ ආකල්ප ඇති කරගැනීම සහ වැරදි ආකල්ප නැති කර ගැනීම අපිට ඉතාම වැදගත්. ඒ නිසා, අපි බලමු කොහොමද ඒ විදියට ආකල්ප සම්බන්ධයෙන් තීරණය කරන්නේ කියලා!

1. තමන් කවුද?

හොඳ ආකල්ප ඇති කරගන්න නම් කරන්න ඕන හොඳම දෙයක් තමයි, තමන් කවුද කියන එක මූලිකවම අවබෝධ කරගන්න එක. සාමාන්‍යයෙන් අපි කවුද කියන ප්‍රශ්නෙට, ගොඩක් මිනිස්සුන්ට තියෙනවා උත්තර කීපයක්. එකක් තමයි තමන් කවුද කියලා තමන් දකින කෙනා. ඒක ගොඩක් දුරට හරි ධනාත්මකයි. අපි ගැන අපි හිතාගෙන ඉන්නේ ගොඩක් උඩින්නේ.

ඊලඟට, අපි කවුද කියලා මිනිස්සු දකින කෙනා. ඒක ධනාත්මක හෝ සෘණාත්මක වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් දුරට, අපි අපි ගැන හිතාගෙන ඉන්න තරමට වඩා ටිකක් විතර පහළින් තියෙන්න ඉඩ වැඩියි.

එතකොට අපි ඇත්තටම හොයලා බලන්න ඕන ඇත්තටම අපි කවුද කියන එක. අපේ හොඳ වගේම නරක, අපි තුන්වෙනි දෘෂ්ටි කෝණයකින් බලන්න උත්සාහ කරන්න ඕන. ඒ ඔස්සේ අපි ඇත්තටම කවුද කියන එක වටහා ගන්න ඕන. අපේ හොඳ තවත් වර්ධනය කරන්නත්, නරක මර්දනය කරන්නත් පුලුවන් කොහොමද කියලා හිතලා බලන්න ඕන. ඒක හොඳ ආකල්පයක් ඇති කරගන්න වැදගත්.

2. ස්තුතිය වඩාත් වැඩියෙන්

අපිට හොඳ ආකල්පයක් ඇති කරගන්න තවත් කරන්න පුලුවන් දෙයක් තමයි, ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට, සන්නිවේදනය කරනකොට, ඒ අය එක්ක කතා කරන භාෂාව හදාගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි. දෙයක් ඉල්ලනකොට, “කරුණාකර” එහෙම නැතිනම් “ප්ලීස්” වගේ වචන කියන්න පුරුදු වෙන්න පුලුවන්. අපි වෙනුවෙන් කෙනෙක් දෙයක් කළහම, දෙයක් කිව්වහම ඒ වෙනුවෙන් “ස්තුතියි” කියන්න, “තෑන්ක් යූ” කියන්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන්ම මේක අව්‍යාජයෙන් හදවතින්ම එන්න ඕන. එහෙම නැතුව බොරුවට කිව්වට වැඩක් නෑ.

ඒ ඇරෙන්න, මනුස්සයෙක්ට කතා කරනකොට හැමතිස්සෙම ගරු කරලා කතා කරන්න පුරුදු වෙන එකත් වැදගත් දෙයක්. උදාහරණයක් විදියට කිව්වොත්, අපි රෙස්ටුරන්ට් එකක ඉන්නකොට වේටර් කෙනෙක්ට කතා කරන්න ඕන නම්, “ස්ස්” ගාන්නෙ නැතුව, විසිල් කරන්නෙ නැතුව, “මේ”, “අයිසේ” වගේ වචන පාවිච්චි නොකර, ආචාරශීලීව “එක්ස්කියුස් මී” කියලා කතා කරන්න පුලුවන් නම්, ඒකෙන් අපි ඒ කෙනාට වගේම එයා කරන වෘත්තියටත් ගෞරවයක් දෙනවා. අපේ යහපත් ආකල්ප දියුණු වෙන්න මේක ඉතාම වැදගත්.

3. සමානාත්මතාවය

දැන් අපි කිව්වනේ උඩින් කොහොමද කෙනෙක් එක්ක කතාබහ කරන්නේ, ඒ කතා කරනකොට යහපත් විදියට, ගරු සරු ඇතුව කතා කරන්නේ කියලා. හැබැයි මේක හරියටම ක්‍රියාත්මක වෙන්න නම්, අපිට ඔළුවේ ආකල්පයක් තියෙන්න ඕන කිසිම කෙනෙක් අපිට වඩා පහළින් නෙවෙයි ඉන්නේ කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ඇයි බැරි අපිට පොළේ එළවලු විකුණන කාන්තාවකට නම්බු ඇතිව “නෝනා” කියලා කතා කරන්න? ඇයි අපිට බැරි, අපිව එක්කගෙන යන්න එන ත්‍රීවිල් රියැදුරුවරයාට ගරුකටයුතු විදියට “මහත්තයා” කියලා ආමන්ත්‍රණය කරන්න? අවශ්‍ය නම්, ශ්‍රී ලංකාවේ විදියට අපි හුරුවෙලා ඉන්න ආකාරයට සාමාන්‍ය සමාජයේදී “මාමේ”, “නැන්දේ”, “තාත්තේ”, “අම්මේ” කියලත් ආමන්ත්‍රණය කරන්න පුලුවන්. හැබැයි එහෙම නෑදෑ කමකින් ආමන්ත්‍රණයක් ලබන්න අකමැති කෙනෙක්ට නම් උඩ කියපු විදියට වෙනත් ගරු කටයුතු ආමන්ත්‍රණයක් පාවිච්චි කරන්න පුලුවන්. එතනදී හොඳට මතක තියාගන්න, අපි තවත් කෙනෙක්ට ගරුනම්බු දීලා සැලකුවා කියලා අපේ තත්වය පහළ වැටෙන්නෙ නෑ. ආන්න ඒ සමානාත්මතාවය තමයි අපි සංවර්ධනය කරගන්න ඕන ආකල්පය.

4. නරක ගැන අවධානයෙන් ඉන්න, හොඳ වෙත අවධානය යොමු කරන්න

අපි ඕනම කෙනෙක්ගේ හොඳ පැත්තට වැඩි අවධානයක් දෙනවා නම්, ඇත්තටම ඒකෙන් අපේ ආකල්පයත් යහපත් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිත් එක්ක වැඩ කරන කෙනෙක්ගේ දුර්වලකම් තියෙන්න පුලුවන්. අපි කියමු එයා කොයිවෙලෙත් එයා ගැන පම්පෝරි ගහනවා කියලා. එතකොට අපි ඒක අහගෙන ඉන්නවත්, ඒ පම්පෝරි වලට පෝර දාන්නවත් ඕන නෑ. හැබැයි ඒක ජොබ් එකට අදාළ නැතිනම්, ඒ දුර්වලතාවය අපි අදාළ කරගන්නත් ඕන නැහැනේ. අන්න එතකොට අපිට පුලුවන් එයාගේ ඒ දුර්වලතාවය අමතක කරලා, එයාගේ හොඳ පැත්තට වැඩි අවධානයක් දෙන්න. අන්න එතකොට, අපිට ඒ කෙනා ගැන නරක ආකල්පයක් ඇතිවෙන්නෙ නෑ.

හැබැයි එකක්, අපි එහෙම හැම කෙනෙක්ගෙම හොඳ පැත්ත ගැන අවධානය වැඩියෙන් දෙනවා කියලා, ඒ ඒ කෙනාගේ නරක සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න කියලා නෙවෙයි මේ කියන්නේ. ලෝකේ මිනිස්සු විවිධාකාරයි. හැමෝගෙම හොඳ නරක දෙකම තියෙනවා. හැබැයි අපි හොඳ ගැන අවධානය යොමු කළාට, නරක ගැනත් ඇහැ ගහගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ඒ නරක ගතිගුණ නැතිනම් හොඳ නොවෙන ගතිගුණ ඔස්සේ පුද්ගලයාව මනිනවා කියන එක නෙවෙයි. හැබැයි ඒ හොඳ නොවෙන ගතිගුණ වලින් අපිට හානියක් වෙන්න පුලුවන්ද කියන එක ගැන හිතලා බලන්න ඕන. එච්චරයි.

5. සමාව දීම ප්‍රගුණ කරන්න

අපි ගොඩක් වෙලාවට කෙනෙක්ට ලේසියෙන් සමාව දෙන්න සූදානම් නෑ. එහෙම නේද? සමහර වෙලාවට අපිට ඇත්තටම වැරදි කරපු මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට අපිට කිසිම වැරැද්දක් නොකළ, ඒත් අපි වැරදි කළා කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. මේ හැමෝටම අපි සමාව දෙන්න ලැහැස්ති නෑ. සමහරු නම්, තමන්ගේ පළිය ගන්න වෙලාව එනකලුත් බලාගෙන ඉන්නවා. හැබැයි ඒක කොහොම වෙතත්, ඔය සමාව නොදීම කියන එක ඇත්තටම අපේ ආකල්ප වලටත්, අපේ මානසික සෞඛ්‍යයටත් සෘජුවම බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කෙනෙක්ට සමාව නොදෙනවා කියන්නෙම, අපි ඒ කෙනා ගැන සෘණාත්මක ආකල්ප වලින් හිත පුරවගෙන ඉන්නවා කියන එක.

නිකමට හිතලා බලන්න, කෙනෙක් ගැන නරක හිතමින් ඉන්න එක කොයි තරම් අමාරු කාරණාවක්ද කියලා. ඒකෙන් අපේ හිත දූෂ්‍ය වෙනවා. අපිට ඇත්තටම වැරැද්දක් කරපු කෙනෙක්ව වුණත් ආයෙමත් විශ්වාස කරලා ආශ්‍රය කරන්න නොගියත් කමක් නෑ, හැබැයි ඒ වැරැද්දට සමාව දීලා ඒ සිදුවුණු දේ අමතක කරලා දාන්න පුලුවන් නම්, අපිට වඩාත් හොඳ ආකල්පයක් ඇති කරගෙන ජීවත් වෙන්න පුලුවන්.

6. රබර් බෝලයක් වෙන්න

අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා කොහොමද හරි විදියට ප්‍රතික්ෂේප වීම් භාරගන්නේ කියන එක ගැන. ඇත්තටම අපිට කොතැනින් ප්‍රතික්ෂේප වුණත්, රබර් බෝලයක් වගේ ආයෙමත් නැගිටින්න පුලුවන් හැකියාව තියෙනවා නම්, ඒක අපේ ආකල්ප වර්ධනයටත් සෑහෙන්න වැදගත් වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? අපේක්ෂා භංගත්වය කියන්නේ අපිව සෑහෙන්න වට්ටවන්න පුලුවන් මානසික තත්වයක්. එහෙම වැටෙනවා කියන්නේ, අපේ ආකල්පත් දුර්වල වෙනවා කියන එක. අපි තුළ ධනාත්මක ආකල්ප නැතිවෙනවා විතරක් නෙවෙයි, අපි අනික් අය ගැන හිතන විදිය පවා නරක පැත්තට යන්න වැඩි ඉඩක් තියෙනවා. ආන්න ඒ නිසා, පසුබැසීම්, ප්‍රතික්ෂේපයන් කියන හැම දෙයක්ම ධනාත්මකව භාරගන්න පුලුවන් චිත්ත විශ්වාසයක්, ආත්ම ශක්තියක් අපි හදා ගමු. අන්න එතකොට, අපේ ආකල්පත් සෑහෙන්න දුරට වර්ධනය වෙයි.

7. ප්‍රතිඵල අපේක්ෂා නොකරන්න

සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් ඕනම දෙයක් කරන්නේ මොකක් හරි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් නේ. ඒ කියන්නේ අපි කරන දෙයක්, ගන්න තීරණයක් අපිට යහපත් ප්‍රතිඵලයක් ගෙනෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් මනුස්ස හැටියක්. හැබැයි නිකමට මෙහෙම හිතන්න. අපි දෙයක් කරන්නේ හෝ තීරණයක් ගන්නේ හොඳ පැත්තට, වර්ධනීය පැත්තට දෙයක් සිද්ධ වීම උදෙසා තමයි. හැබැයි අපිට බැරිද, ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර ඒ දේවල් කරන්න. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ජොබ් ඉන්ටර්වීව් එකකට යන්න හොඳටම ලැහැස්ති වෙන්නේ ඒකෙන් අපිට ජොබ් එකක් ලබාගැනීමේ අවශ්‍යතාවය නිසා. එතකොට අපි ඒ ලකලැහැස්ති වීම හොඳටම කරන්න ඕන. හැබැයි අපිට බැරිද ඒ ජොබ් එක හම්බවෙන්නම ඕන කියන මානසිකත්වය නැතුව ඒ වැඩේට ලැහැස්ති වෙන්න. එතකොට ලැබෙන වාසිය තමයි, බැරිවෙලාවත් ඒක අපිට නොලැබුණොත්, අපිට දැනෙන අපේක්ෂා භංගත්වය සෑහෙන්න අඩු වීම. ආන්න එහෙම අපේක්ෂාවන් අඩුවෙන් තියෙන කොට, අපි ජීවිතය ගැන පොදුවේ තියෙන ආකල්පයත් ධනාත්මක වෙනවා.





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here