ඇක්සිඩන්ට් එකක් වුනාම කලබල වෙන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න – When an Accident Happened – Sri News

0
4

ඔයා කොච්චර හොඳ රිය පදවන්නෙක් වුනත් වාහනය මහපාරට දැම්මට පස්සෙ ඔයාට විවිධ රියපදවන්නො එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නෙ. ඒ අතරෙ සමහර අය දඩිබිඩියෙ ලේන් මාරු කරනව, සිග්නල් නෑ, මහපාරෙ රිවර්ස් කරනව, එකපාරටම නවත්තනව වගේ ලෙඩ ගොඩක්. ඒ නිසා හදිසි අනතුරක් සිද්ධ වෙන්න මහා ලොකු වෙලාවක් යන්නෙ නෑ.

මේ වගේ කරද‍රයකදි කලබල වුනොත් ඔයාගෙ කාලය සහ මුදල් නාස්ති වෙනවා වගේම අනවශ්‍ය වෙනත් ප්‍රශ්නත් ඇති වෙන්නට ඉඩ තියෙනවා.අන්න ඒ නිසා ඔලුව පැහැදිලිව තියාගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අපි මේ කියන පියවර අනුගමනය කරන්න.

 

ඔෆිස් එකේ පෑනක් නැතිවුනත් රණ්ඩුවට යන අපි කාර් එක ඇක්සිඩන්ට් වුනු ගමන් දොර ඇරගෙන එළියට බහින්නෙම වචන දහසකුත් එකක් හිතලා. ඉතිං අනිත් පැත්තෙ මනුස්සයත් එහෙමම කෙනෙක් වුනොත් එතන කෙලින්ම ඡන්ද සටන වගේ බොරු අනවශ්‍ය රණ්ඩුවක් පටන්ගන්නව. වටෙන් පිටෙන් අඩුපාඩුවට කට්ටියට මේ රණ්ඩුවට සෙට් වෙන නිසා මේක නරක අතට යනවා.

ඇත්තටම මෙතනදි තමන්ගෙ අතේ වැරැද්ද වහගන්න වැරදි පාර්ශවේ උත්සාහ කරනව වගේම, අනිත් පැත්ත ඒ අයගෙ වැරැද්ද කොහොමහරි බාරගනීවි කියල හිතාගෙන මේ පැත්තෙ අය ඔප්පු කිරීම් කරනව. එහමෙ වැඩකට ලේසිම විදිහ තමයි රණ්ඩුව. ඒ කොහොම වුනත් කේන්තිය පැත්තකින් තියල බැලුවොත් ඇක්සිඩන්ට් මහ පාරකදි කොහොමත් සිද්ධ වෙන නිසා මේ දේ ගහ බැණගෙන විසඳගන්න යන්නෙ නැතුව නිරවුල් මනසින්, අනික් පාර්ශවය රණ්ඩු වෙන්න ආවත් තමන්ගේ සන්සුන්කම තියාගෙන ඉස්සරහ වැඩ ටික ප්ලෑන් කරන්න.

 

අපේ අය ඇක්සිඩන්ට් එකක් වුනාම මුලින්ම රණ්ඩු වෙන ටික ඔක්කොම ඉවර කරලනෙ අනිත් කාටවත් තුවාලද කියන දේ හොයන්නෙ. ඒ නිසා මෙන්න මේක හොඳින් මතක තියාගන්න. ඇක්සිඩන්ට් එකක් වාසනාව සහ රියදුරුගේ දක්ෂකම් මත වාහන වලට විතරක් අලාභ වෙලා නවතින්න පුලුවන්. හැබැයි සමහර විට වාහනේ හිටපු කෙනෙක්ට හෝ පාරේ හිටපු කෙනෙක්ට හෝ තුවාල හෝ අනතුරක් සිද්ධ වෙන්න පුලුවන්. මෙතනදී ඒ අදාළ තුවාලකාරයින්ට පිළියම් කරන්න ඔබ බැඳිලා ඉන්න වගේ සිහියේ තබාගන්න. ප්‍රථමාධාර දෙන්න අවශ්‍ය නම් ඒ වැඩ කටයුතු, රෝහල් ගෙනයාමට අවශ්‍ය නම් ඒ වගකීම් ඉෂ්ට කරන්න. වාහනයට පෙර මිනිස් ජීවිත ගැන සිතන්න. පිටතින් තුවාල හෝ වෙනත් ආබාධ කිසිවක් නොතිබුනත් වේදනාවක් හෝ ඇත්නම් ඉක්මනින්ම ඒ ගැන සැළැකිලිමත් වෙන්න.

 

වාහනය ඇක්සිඩන්ට් වුනු ගමන්ම මුලින්ම රණ්ඩු කරලා, ඊටපස්සෙ ලැබෙන කෙටි විවේකයකදී පොලිසියට කෝල් කරලා, ආයෙත් පොලිසිය එනතෙක් රණ්ඩු කරන එක නෙමෙයි විදිය. ඒකෙන් ඔයා‍ලගෙ ඇක්සිඩන්ට් එක නිසා ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙන්නට වගේම තවත් ඇක්සිඩන්ට් සිද්ධ වෙන්නට පුළුවන්.

ඒ නිසා ඒ විදිහට නැතුව මේ විදිහට කරන්න. වාහනවල රෝද පිහිටීම සහ වාහනයේ ඉදිරිපස පිටුපස පිහිටීම් ඒ අදාළ වෙනත් දේවල් පොලොවේ සළකුණු කරන්න. හැම අතකම ස්මාට්ෆෝන් තියෙන නිසා ඒ කැමරාවකින් වාහන දෙකම තියෙන විදිය හැම ඈන්ගල් එකකින්ම ඡායාරූප ගන්න. ඒ ඡායාරූපවල නම්බර් ප්ලේට්ස් හසු වෙන්නටත් පින්තූර ගන්න. වාහන දෙක දැන් පාරෙ අයිනකට කරලා පොලිසියට 119න් කෝල් කරන්න හෝ අසළ සිටින ට්‍රැෆික් පොලිස් මහත්මයෙකුට කතා කරන්න.

 

මේ දේත් සිහි තබාගන්න. ඇක්සිඩන්ට් එකේ වැරැද්ද තනිකරම සිද්ධ වෙන්නෙ අනිත් පාර්ශවයනම්, එයා ලයිෆි කියවපු නැති හෝ යුක්ති ගරුක මනුස්සයෙකුත් නෙමෙයිනම්, එයා අනිවාර්යයනේම ඔයාව කටින් බය කරලා වැඩේ ෂේප් කරන්න උත්සාහයක් දරාවි.

එහෙමත් නැත්නම් ඒ වාහනේ එළවගෙන ඇවිත් තියෙන්නේ ලයිසන් නැති මනුස්සයෙක් එහෙම නං, වැඩේ වරදින නිසා ඩ්‍රයිවර්ලා මාරු කරන්න උත්සාහ කරන්න පුලුවන්. එක්කෝ පොලිසිය එන්න කලින් පැනලා යන්න උත්සාහයක් දෙන්න පුලුවන්. ඒ වගේම දන්න අඳුරන‍ ලොකු ලොක්කොන්ට කතා කරන්නත් ඉඩ තියෙනවා.

අපි ඉස්සෙල්ලා කියපු විදිහට වලි දාගන්න, ගේම ඉල්ලන්න යන්නෙ නැතුව කූල් එකේ වැඩ කරන්න කියන්නෙ මෝඩයෙක් වගේ අසාධාරණයන්ට ඔලුව නමාගෙන ඉන්න කියලා කියල නෙමෙයි. එනිසා අනික් පාර්ශවයෙන් එහෙම හොර වැඩක් කරන්න ගියත්, බලහත්කාරකමින් වැඩේ ක්ලෝස් කරන්න ගියත් වහාම ඒකට එරෙහි වෙන්නට සහ තමුන්ගේ අදහස් දක්වන්නට ඔබට අයිතිය සහ හැකියාව තියෙනවා. අදාළ නීති නිලධාරියෝ එතනට එනකල් තමන්ගේ ස්ථාවරයට බාධාවක් වෙන්න දෙන්න එපා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here