ආසියානු රටවල සාම්ප්‍රදායික ඇඳුම් පිළිබඳ තොරතුරු – Sri News

0
4

රටක දේශයක සාම්ප්‍රදායික ඇඳුම හෝ ජාතික ඇඳුම විදිහට බොහෝවිට ඇඳුමක් දැක්වෙනවා. එයින් ඔවුන් සැරසීගෙන සිය ජාතික සංස්කෘතික උත්සව ආදියට සහභාගි වෙනවා. අපෙත් සිංහල අවුරුදු, පෝය, මංගල අවමංගල අවස්ථාවලට සාම්ප්‍රදායික ජාතික ඇඳුම් පාවිච්චි වෙනවා. ඉතින් මේ ජාතික ඇඳුම විදිහට ඇඳුමක් තීරණය වෙන්න ඒ රටේ නිමැවුන රෙදි, ජනතාව කැමති වර්ණ, සෘතු භේදය වැනි සාධක බලපානවා. අපි බලමු ඒ විදිහේ ලස්සන ජාතික ඇඳුම් කිහිපයක් ගැන විස්තර. 

 

චීනයේ වඩාත් ජනප්‍රිය සාම්ප්‍රදායික ඇඳුම  චොන්ග්සම් කියා හඳුන්වනවා. මෙය 1920 දී ෂැංහයි වලදි වැඩිදියුණු වූ විලාසිතා අංගයක් ලෙස දැක්වෙනවා. මෙවැනි ඇඳුම් ඉන් පෙරත් චීන ජනතාව ඇන්දත් එය වඩාත් එකලස් මෝස්තරයක් ලෙස පැමිණියේ ඒ කාලෙදි. මේකෙදි පිරිමි අඳින ඇඳුම  චන්පෝ කියලා හැඳින්වෙනවා. අද වෙච්චි චීනයේ විතරක් නෙමෙයි, තායිවානය හොංකොං වගේ පැතිවලත් මේ ඇඳුම සාම්ප්‍රදායික ඇඳුම  විදිහට පාවිච්චි වෙනවා. චීන කාන්තාවන්ගේ ඇඟ සිහින් සහ අඟ පසඟ සාපේක්ෂව කුඩාතරයි. මේ සාම්ප්‍රදායික චීන ඇඳුම  මගින් කාන්තාවන්ගේ සිරුරේ හැඩය මනාව විදහා පෙන්වනවා.

 

ජපානයේ කිමෝනාව නම් අපේ රටේ අය දැකලා තියෙනවා. ඔෂින් වගේ පැරණි ජපාන නාටක වල මෙම කිමෝනා ඇඳුමින් එදිනෙදා වැඩ කරන ගෑණු පිරිමි අය පේන්න ඉන්නවා. දැන්නම් ජපානයේ උත්සව අවස්ථා, සාම්ප්‍රදායික අවස්ථාවලට හැරුණාම කිමෝනා එදිනෙදා ජීවිතයට අඳින පළඳින අය දැන්නම්  සෑහෙන අඩුයි. කිමෝනා වලදි විවිධ අවස්ථාවලදි අඳින කිමෝනා වර්ග තියෙනවා. දිග ආකාරයෙන් කපන කිමෝනා ශීත කාලයට වෙනමත් ගිම්හානයට ලිනන් රෙදි වලිනුත් ජපන් ජනතාව පාවිච්චි කළා. මෙම කිමෝනා ඇඳුම් 1600 – 1800 කාලයේදි ජපාන රාජ්‍ය සේවකයෝ සිය නිල ඇඳුමක් විදිහටත් පාවිච්චි කළා. එහෙත් අද වෙද්දි ජපානයේ ඉහළ නිලතල වල අයටත් කිමෝනා අඳින්න කියා බලකිරීමක් නැහැ. ඔවුන් අද යුරෝපීය ඇඳුම ජාතික අවස්ථාවන්ට අඳිනවා.

 

 

දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ ජාතික ඇඳුම් එක සමාන වුණත් ඒවාට යෙදෙන නම් වෙනස්. දකුණු කොරියාවේ ජාතික ඇඳුම හන්බොක් නම් වෙද්දි උතුරු කොරියානුවන් එය චොසෝන් කියා හඳුන්වනවා. මේ කොරියානු ඇඳුමත් ශතවර්ෂයක් විතර පැරණි ඇඳුමක්. හන්බොක් උත්සව අවස්ථාවලට අඳින සහ සාමාන්‍ය ඇඳුම ලෙස දෙකක් තියෙනවා. ඒ වගේම වයස, සෘතු භේදය ගෑණු පිරිමි අනුවත් මේ ඇඳුම වෙනස් වෙනවා. හන්බොක්වලට නිශ්චිත පාටක් නැහැ. ඔවුන් විවිධ වර්ණ සහ ඩිසයින් ඒ ඇඳුමට යොදාගන්නවා. එක් කලකදී සමාජයේ කුල මල, නිල තල අනුව මේ සාම්ප්‍රදායික ඇඳුම වෙනස් වුණත් අද ඒ තත්ත්වය අඩුයි.

 

 

ඩීල් කියන්නේ මොංගෝලියානුවන් අඳින පළඳින ලස්සන ඇඳුම් විශේෂයක්. ඩීල් දැන් නම් විවිධ ආකාරයේ ගවුම් විදිහට අපිට පේන්නට තියෙනවා. ලංකාවෙත් ගවුම් මෝස්තර වලට මේ ඩීල් වල ආභාෂය ලැබිලා තියෙන බව පේනවා. ඩීල් ඇඳුම  සාමාන්‍යයෙන් දිළිසෙන රෙදි වලින් තමයි මහන්නේ. මේ ඇඳුම් ගෑණු පිරිමි දෙපාර්ශවයටම තියෙනවා. ඔවුන් පවුලේ උත්සව අවස්ථාවන්ට සහ චන්ද්‍රමාස අවුරුදු උත්සවයට මේ ඩීල් ඇඳුමෙන් සැරසෙනවා. බෞද්ධ දේශයක් වන මොංගෝලියාවේ පංසල් යන්නත් මේ ඇඳුම පාවිච්චි වෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here