ආයුර්වේද සත්කාරවලින් හිස්හොරි නැත්තටම නැති කරමු ⋆ ධරණී

0
17

ඔන්න එක ගමක අයියා මලෝ දෙන්නෙක් එකතුවෙලා හේනක් කොටන්න පටන්ගත්තලු. ඊටපස්සේ ඒ හේනේ අස්වනු පැහෙන කාලෙට දෙන්නා මාරුවෙන් මාරුවට පැල් රකින්නත් පටන්ගත්තලු. මේ දෙන්නා මොනතරම් දාඩිය මහන්සියෙන් වැඩ කරගෙන ගියත් පුංචි බාධකයකුත් මේ දෙන්නට තිබුණා. ඒ තමයි මේ හේනට අරක්ගත්තු  යකා. මල්ලි බය නැති බව දන්න නිසා මල්ලි ඉන්න දවසට මේ යකා හේනට එන්නෙ නැතිලු. හැබැයි අයියා බය බව දන්න නිසා අයියා ඉන්න දවසට යකා හේනෙට එනවලු. ඇවිත් කියනවලු “ගිනි පිඹපිය, හොරි කසපිය, මෑ කරල් පුච්චලා කටේ දාපිය” කියලා. ඒකට හේතුව තමයි මේ යකාගේ ඇඟ පුරාම හොරි තිබුණු එක. ඉතින් මේකාගේ හොරි කසලා අයියගෙ ඇඟෙත් හොරි. ඒ නිසා අයියට හරිහැටි කෑමක්බීමක් ගන්න වගේම ගමනක් බිමනක් යන්නත්  පුළුවන්කමක් ලැබිලා තිබුණේ නෑ.

මේක දැනගත්තු මල්ලි දවසක් අයියා වගේ වෙස් වලාගෙන හේනට ගියා. එදත් යකාගේ අන ලැබුණු ගමන් ගමන් මල්ලි කිව්වලු යකාට පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න කියලා. ඊටපස්සේ ලිපේ තිබුණ රත්වුණ යකඩ පොල්ල අරගෙන යකාගේ ඇඟෙන් තිබ්බලු. ඒත් එක්කම බුදුඅම්මෝ පණ එපෝ කියලා යකා මැස්සත් කඩාගෙන කැලේට දුවලා තිබුණා. එදායින් එදා මේ යකා ඒ හේනේ පස් පාගන්න ඇවිත් තිබුණේ නෑ. ඕක අපේ ජනප්‍රවාදයේ එන එක කතාවක්. 

එහෙම බලද්දී හේනට විතරක් නෙවෙයි සමහර නෝනාලාගේ හිස්වලටත් හිටපු ගමන් ඔය වගේ හොරි හැදුණු යක්කු ආවේශ වෙනවා. ඒ තමයි හිස්හොරි. හිස්සොරි යකාව මට්ටු කරන්න කොයිතරම් දේවල් හිසේ ආලේප කරත් හරි නොයන අවස්ථා එමටයි. අන්න ඒ කාරණාව නිසා තැවුලෙන් ඉන්න අයට ගෙදරදීම කරගන්න පුළුවන් ආයුර්වේද සත්කාර කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නෙත්.

හිස්හොරි කියන්නේ හිසේ තියෙන මැරුණු සෛලවලට. හිස්කබලේ තියෙන සමේ පිටත ස්ථරය වියළිලා ගැලවිලා යාම තමයි එතැනදී මූලිකව සිද්ධ වෙන්නේ. 

ඕනම කෙනෙක්ගේ හිස්කබලේ Malassezia Furfur කියලා දිලීරයක් වර්ධනය වෙනවා. ඒ දිලීරය රෝගවලින් සම ආරක්ෂා කළත් හිස්කබල වියැළෙන්නත් ඒක හේතුවක් වෙනවා. මොකද ඒ දිලීරය මගින් හිස්කබලේ නිපදවෙන සීබම් ආහාරයට ගන්නවා. ඊටපස්සේ මේද අම්ලවලින් සෑදුන සංයෝගයක් වෙච්ච මේ සීබම් වියෝජනය වෙලා සම ඇතුළටම කිඳා බහිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි හිස්කබලේ කුඩා පැලුම් ඇතිවෙලා  ජලයත් ඉවත් වෙලා වියැළෙන්න පටන්ගන්නේ.

මේ විදියේ දීර්ඝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵල විදියට තමයි හිස්කබලේ හිස්හොරි ඇති වෙන්නේ.

ඕනම කෙනෙක්ගෙ හිසෙහි මේ විදියට හිස්සොරි ඇතිවීමට ඉඩකඩ තිබුණත් ඒකට ජානවල ස්වභාවය,  වයස, හෝර්මෝන වෙනස්කම් වගේම විවිධ ආලේපන වර්ගත් බලපානවා. හැබැයි ඔය කොයි හේතුව නිසා හිස්හොරි හැදුණත් ඒවා පාලනය කරන්න පුළුවන් සත්කාර ඕනෑතරම් ආයුර්වේද විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ සත්කාර කිරීමෙන් වගේම නිතර දෙවෙලේ පිරිසිදුව සිටීමෙනුත් හිස්හොරි මට්ටු කරන්න පුළුවන්. 

ඒකට මුලින්ම වෙරළු කොළයි පේර කොළයි කොටලා ඒ ඉස්ම හිස්කබලෙහි හොඳින් ආලේප කරගන්න ඕනෑ. ඊටපස්සේ පැය භාගයක් විතර තියලා සෝදා හැරියා නම් හරි. ඒ විදියට දින තුනක් හතරක් එකදිගට කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්නත් පුළුවන්.

හිස්හොරිවලට ගොඩපර ඉස්මවලින් හිස්කබල සෝදාගැනීමත් හොඳ විකල්පයක්.

තව ඕනෙ නම් කරපිංචා කොළ, වෙරළු කොළ  හොඳට කොටලා ඒ ඉස්මවලින් හිස්කබල සෝදාගන්න.

ඇහැළ කොළ වගේම කොහොඹ කොළත් කොටලා ඒ යුෂවලින් හිස සේදීමෙන්  හිස්හොරි මට්ටු කරන්න බැරිකමක් නම් නැහැ.

උකු පොල්කිරිවලට දෙහිකොළ තැම්බූ වතුරයි දෙහි යුෂයි සමාන වෙන්න දාලා අව්වේ තියලා කකාරලා  හිස්කබලෙ ආලේප කළත් හරි.

ඉහත කියාපු දේවල්වලින් සත්කාර කළොත් නම් හිස්කබලේ දිලීර ආසාදනය වළක්වලා සීබම් ශ්‍රාවයත් වැඩියෙන් ලැබිලා  හිස්කබලට අමතර පෝෂණයක් ලබාගන්න පුළුවන්. ඒකෙන් සම වියැළීම වැළකිලා ආසාදන ඇතිවීමත් වැළකෙනවා. ඔය කියාපු හිස්හොරි මුහුණට වැටීමෙන් කුරලෑ වුණත් ඇතිවෙන්න පුළුවන්. ඒ හිස්හොරි හරියට පාලනය කළොත් කුරුලෑ කරදරයෙනුත් බේරගන්න පුළුවන් ඕන්. 

මේ කියපු දේවල්වලට අමතරව හිස්කබලෙහි පෝෂණය වැඩි කරගන්න තෛල අභ්‍යංගය සිදු කරන්න පුළුවන්. ඒකෙදී කරන්න ඕන තෙල් ගාලා හොඳට හිස සම්භාහනය කරන එකයි. එහෙම කළාම  හිස්කබලට රුධිර සැපයුම වැඩිවෙලා පෝෂණයකුත් ලැබෙනවා.

උපදෙස් – වෛද්‍ය නිලංකා පතිරණ

ප්‍රධාන වෛද්‍ය නිලධාරී

ශල්‍ය අංශය

බස්නාහිර පළාත් ආයුර්වේද රෝහල

මීගොඩ

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here