ආදර්ශමත් වූ දිවියකට… – Sri News

0
8


බුදු සිරිතෙන් ලැබෙන මහඟු වූ ආදර්ශ …

බුදු සිරිතෙන් ලද හැකි ආදර්ශ කිහිපයක් පිළිබඳ අප අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණිකත්වය,  තාදී ගුණය, ශ්‍රේෂ්ඨ වූ මාර්ගෝපදේශකත්වය ,පුද්ගලයින් හික්මවීමේ විශිෂ්ටත්ව ගුණය  යන චරිත ලක්ෂණ පිළිබඳ අපි මෙහිදී විග්‍රහ කර බලමු .

බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයකු වශයෙන් පෙරුම් දම් පුරමින් බුදු බව ලබා ගැනීමට අපමණ වෙහෙසුනේ තමන් සසර දුකින් මිදී ලෝක සත්ත්වයා ද එයින් මුදවා ගැනීමේ වූ කාරුණික අදහසින්. ඒ මහා කාරුණිකත්වය බුද්ධ චරිතය මුළුල්ලේ ම විහිදී යන රන් හුයක් බඳුයි.  උන්වහන්සේ තුළ පැවැති කරුණාවෙහි විශේෂත්වයක් තිබිණි. ඒ ලෝකවාසී සකල සත්ත්ව වර්ගයා කෙරෙහි කිසිදු භේදයක් නොමැතිව කරුණාව පැතිරීමයි. උන්වහන්සේගේ ජීවිතයෙහි දෛනික කටයුතු සියල්ලම කාරුණික සිතිවිලි මුල් කොට ගෙන සිදු විය.  මහා කරුණා සමාපත්ති ඥානයට සමවැදී ලොවට පිහිට විය යුතු සත්ත්වයන් ගැන දිනපතා සොයා බලා ඔවුන්ට පිළිසරණ වීම පන්සාලිස් වසරක් මුළුල්ලේම   නො කඩවා  සිදු කරන ලද කර්තව්‍යයක්. තම පිහිට අවැසි පුද්ගලයින් වෙත වෙහෙස නොබලා ම පා ගමනින් ම වැඩම කොට අවැසි කටයුතු සිදු කර දෙන ලදී. මේ උන්වහන්සේගේ මහා කාරුණිකත්ව ගුණය යි .

සිසිල් දිය උල්පතකින් ගලා එන්නාවූ පිවිතුරු දිය දහරක් බඳු බුදුරජාණන් වහන්සේ වෙතින් නික්මුණු සිතිවිලිත් වචනත් ක්‍රියාත් කුළුණින් සිහිල් විය. උන්වහන්සේගේ කරුණාවට වෙලාවක් හෝ පුද්ගල භේදයක් නොතිබිණ.   හැම වෙලාවකම හැම පුද්ගලයකු වෙත ම ගලා ආවේ එකම කරුණා ගුණය කි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවෙහිදී ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සොයා පැමිණි සුභද්ද ට ඒ සඳහා ඉඩ සලසා දුන්නේ ද උන්වහන්සේගේ කරුණාවට තැනක් වෙලාවක් නොවූ හෙයිනි .මල මිනියකට බැද සොහොනක දමා තිබුණු සෝපාක නම් සැඩොල් දරුවාට සිය ජීවිතය රැක ගෙන රහත් ව පැවිදි වීමට හැකි වූයේ ද පුද්ගල භේදයකින් තොරව උන්වහන්සේ තුළ කරුණාව පතුරුවා හැරීමේ ගුණය තිබුණු නිසාමය. මෙබඳු කරුණාවක් බුදුරජාණන් වහන්සේ තුළ පැවති නිසාම මහා කාරුනිකෝ යනුවෙන් උන්වහන්සේ හඳුන්වනු ලැබූහ .

ලෝක ධර්මයන්ට මුහුණ පෑමේ දී බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් නොසැලු නහ. උන්වහන්සේ ප්‍රියජනක වූ හෝ අප්‍රිය ජනක වූ ලෝක ධර්මතා වලට මුහුණ දීමේදී සුළඟකින් නොසැලෙන ගල් පර්වතයක් වැනි විය. බුදුන් වහන්සේ ලෝකාර්ථ චර්යාවෙහි යෙදීමේදී ශීත උෂ්ණ ආදී පාරිසරික පීඩා මෙන්ම ආහාර නවාතැන් ආදී සැප පහසුකම් ගැන සම සිතින් සලකා ක්‍රියා කරන ලදී .

වේරංජාවේ දී උදය නම් බමුණාගේ ආරාධනාවෙන් වස් වසා දන් හැන්දක් වත් ඔහුගෙන් නොලැබි  දුප්පත් ලෙස කල් ගෙවීමට බුදුන් වහන්සේට සිදුවුණත් උන්වහන්සේ ඒ ගැන අප්‍රසන්න භාවයකට පත් නොවූහ. ජේතවනාරාමය පූර්වාරාමය වැනි සුවිසල් ආරාමයන් පිළිගන්වා සිව්පසයෙන් සංග්‍රහ කළ සැදැහැවතුන් ගැනත්, විශේෂ ප්‍රීති ප්‍රමෝදයට පත් නොවූහ. අලාභයෙහි දී උන්වහන්සේ තුළ පැවැති චිත්ත තත්ත්වය ලාභයේ දී ද ඒ ආකාරයටම විය. මෙසේ  ලාභ අලාභ  යස අයස නින්දා ප්‍රශංසා සැප දුක යන ලෝක ධර්මතාවයන් හි දී උන් වහන්සේගේ චිත්ත තත්වයෙහි වෙනසක් නොවීය. මෙය පුද්ගල දියුණුව සලසා දෙන මංගල කාරණයක් බව පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති යනුවෙන් මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත .මේ උන් වහන්සේගේ තාදී ගුණය පිළිබිඹු වන කරුණුයි

ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකත්වය පිළිබඳව කතා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට මාර්ගෝපදේශක වූ බව සත්ථා දේව මනුස්සානං යන බුදු බුදු ගුණයෙන් ප්‍රකාශ වෙයි. උන්වහන්සේ නොමඟ ගිය උන් සුමගට ගැනීම සඳහා අනුශාසනා කරන ලදී. කාන්තාවක සොයා ගිය භද්දවග්ගිය කුමාරවරුන් තිස් දෙනා අමතා බුදුරජාණන් වහන්සේ …”දරුවනි වඩා උතුම් වන්නේ තමන් ගැන සෙවීම ද නැතහොත් ස්ත්‍රියක සෙවීම ද” යනුවෙන් විචාළහ. තමන් ගැන සෙවීම වඩා උතුම් බව පැවසූ කුමාරවරු ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට දෙපස හිඳගත්හ ඔවුන් උන් වහන්සේ දෙසූ දහම් අසා මාර්ගඵල අවබෝධය කොට සසුන් ගත වූහ .

අනවබෝධය නිසා සර්පයකුට හිංසා කළ දරුවන් පිරිසක් බුදුරජාණන් වහන්සේ සත්ව හිංසාව  හා එයින් ඈත් වී මෙහි උසස් අනුසස් ප්‍රකාශ වන ධර්මානුශාසනාවක් කිරීමෙන් එයින් මුදා ගත්හ. දරු සොවින් පෙළුණු කිසාගෝතමියට දරු දුක නිවා ගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම කළහ සිව් මසකින් ගාථාවක් ඉගෙනීමට අසමත් වූ චුල්ල පන්ථක තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා සත්‍ය අවබෝධ කොට රහත් වීමට ද සමත් වූහ.

පුරිසදම්මසාරථී ගුණය හෙවත් පුද්ගලයින් හික්මවීමේ විශිෂ්ටත්ව ගුණය මගින් ඇතුන් වැනි දරුණු සතුන් හික්මවීමට වඩා විෂම චරිත ලක්ෂණ ඇති මිනිසුන් හික්මවා ගැනීම දුෂ්කර බව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී වදාළ සේක .විෂම පුද්ගලයින් දමනය කිරීමෙන් ලද අත්දැකීම් නිසා උන්වහන්සේ එසේ වදාළ බව කිව හැක. එබඳු පුද්ගලයින්  දමනය කිරීමේ දී විවිධ ක්‍රම හා උපායමාර්ග අනුගමනය කිරීමට උන් වහන්සේට සිදු වූ අවස්ථා එමට ඇත .

අංගුලිමාල නම් දරුණු සොරා දමනය කරනු පිණිස සැවැත් නුවර ජේතවනාරාමයේ නික්ම මහමග වැඩම කරනු දුටු ජනයා ඒ ගමනෙහි අනතුරුදායක බව කියමින් අවසන් වශයෙන් මෙසේ පැවැසූහ. ස්වාමීනි මේ මඟ යග යන අය කණ්ඩායම් වශයෙන් ආයුධ සන්නද්ධව යන්නෙත් මහත් බියෙන් හා සැකෙන් යුතුවයි එබඳු කණ්ඩායම් වලට පවා අඟුල්මල් සොරුන් ගෙන් බේරුමක් නැහැ.ඒ නිසා මේ මගින් නොවඩින්න. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට කිසිදු පිළිතුරක් නොදීම නිර්භයව අඟුල්මල් සොරා සොයා ගොස් ඔහුට නිසි මඟ පෙන්වා දහම් දෙසා දමනය කොට සසුන් ගත කළහ .

බුදුරජාණන් වහන්සේ ආලවක දමනය කිරීම සඳහා ඔහුගේ වාසස්ථානය ට වැඩම කළ අවස්ථාවේදී උන් වහන්සේට හිංසා පීඩා කිරීමට විවිධ උපක්‍රම යෙදුව ද ඉන් පලක් නොවූ විට දැඩි සේ කිපුණු ආලවක බුදුරජාණන් වහන්සේ කුපිත කිරීමට සිතා නින්දා සහගත වචනයෙන් ද බැන මෙතනින් පිටව යව යයි කීය.

ඉවසීමෙන් ඔහුගේ තද කෝපය අඩු කර ගත හැකි බව වටහාගත්  බුදුරජාණන් වහන්සේ.. මැනවැ ‘යි පවසා බැහැරට වැඩි සේක.

ආලවකයා උන්වහන්සේ ඇවිද්දවා වෙහෙසට පත් කිරීමට සිතා නැවතත් ඇතුලට එවයි අණ කළේය. බුදුරජාණන් වහන්සේ තුන් වන අවස්ථාව  තෙක් ඔහුගේ අණ පිළිපැද  ඉන්පසුව නුඹට හැකි දෙයක් කරන්න. වදාරා වාසස්ථානය තුළ ඔහුගේ අසුනෙහි අසුනෙ හිම වැඩ උන්හ.

ඉක්බිති ආලවක …ප්‍රශ්න සහ බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කිරීමට සිතා  ප්‍රශ්න හතරක් විචාළේය. ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා ඔහු සෝවාන් ඵලයට පත්විය.

මෙසේ බුදුරජාණන් වහන්සේ විවිධ විෂම පුද්ගලයන් දමනය කිරීමෙහි දී විවිධ.විශේෂ උපක්‍රම අනුගමනය කළ බව පෙනේ. එහෙයින් පුරිසදම්මසාරථී යනුවෙන් උන්වහන්සේ පුදනු ලබයි. බුදුරජාණන් වහන්සේගේ මෙබඳු චරිත ලක්ෂණ ආදර්ශයට ගෙන අපේ ජීවිතය හැඩගසා ගැනීම… උන්වහන්සේට කරන උසස්ම පූජාව සේ සලකමු .

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here