ආදරය එපා වී පසේබුදු වූ අසිරිය

0
6


දුෂ්කරය සලකන්නට – සමහර පැවිද්දන් හට
එලෙසය ඇතැම් ගිහියොත් – ගෙවල්වල ගත කරනා
අනුන්ගේ දරුවන් ගැන – තම හිතට බර නොම ගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ අනඳ මහතෙරුන් වහන්සේට පසේබුදුවරයන් වහන්සේලා ගැන වදාළ තොරතුරුවලදී මෙකරුණ සඳහන්ව තිබෙන්නේ ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි නව වෙනි ගාථාව ලෙසයි. සම්මා සම්බුදුවරුන් පරිද්දෙන් අන් අයට චතුරාර්ය සත්‍යය අවබෝධ වන ආකාරයෙන් විවිධ විචිත‍්‍ර වූ මධුර මනෝහර දම්දෙසුම් පැවැත්වීමේ හැකියාවක් පසේබුදුවරුන්ට නැත. නමුත් උන්වහන්සේලා හුදෙකලාවේම ආර්ය සත්‍ය අවබෝධ කරන සේක. අමා නිවන් සුව අත්විඳින සේක.

පසේබුදුවරුන්ගේ යුගයේදී සිය ගණන් පසේබුදුවරු පහළ වන බව ඉසිගිලි සූත‍්‍රය දෙස බැලීමෙන් පැහැදිලි වේ. බොහෝ විට බරණැස් නුවර ඇසුරු කොට පසේබුදුවරු පහළ වෙන බවකුයි දේශනා තුළින් පෙනෙන්නේ. බරණැස සමීපයෙහි වූ ඉසිපතනය යන නාමය පවා පසේබුදුවරුන් පිළිබඳ කිසියම් ඉඟියක් කරයි. ඉසිපතනය මිගදායකි. එනම් මුවන්ගේ අභය භූමියකි. එම භූමිය තුළ සතුන් දඩයම් කිරීම සපුරා තහනම්ය. එනිසා මිගදාය යැයි කියනු ලැබේ. ඉසිපතන යනු ඍෂිවරුන් අහසින් එම භූමියට පැමිණෙන තැනයි. මෙහිලා ඍෂිවරුන් යනුවෙන් අදහස් කෙරෙන්නේ පසේබුදුවරයන් වහන්සේලා ගැනය. ඍෂි යන වචනය ජම්බුද්වීපයට අලූත් වචනයක් නොවේ. ඉසිගිලි සූත‍්‍රයෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ එම පර්වතයට ඉසිගිලි යන නාමය ලැබුණේ අන්වර්ථ ලෙසිනි. එනම් ඍෂිවරුන් අහසින් පැමිණ පර්වතයට වඩින බවත්, එසේ වඩින ඍෂිවරු පෙරළා ආපසු වැඞීමක් දක්නට නොලැබෙන බවත් හේතුවෙන් මිනිසුන් එම පර්වතය ‘ඍෂිවරුන් ගිලින්නේය’ යන අර්ථයෙන් ඉසිගිලි යන නාමය ලද බවත්ය.

බුදුරජාණන් වහන්සේට ද ඍෂි යන නම භාවිත කොට තිබේ. ‘ඉසිසත්තම’ හෙවත් සත්වන ඍෂිවරයාණන් ලෙස උන්වහන්සේව හඳුන්වා තිබේ. එනම් සියයක් කල්ප ඇතුළත පහළ වූ සම්බුදුවරයන් වහන්සේලා සත් නමටම ඍෂි යන නාමය භාවිත කොට තිබේ.

බොහෝ පසේබුදුවරයන් වහන්සේලා ඉසිපතන මිගදායෙහි වැඩවාසය කොට තිබේ. බරණැස රාජ පරම්පරාව තුළ බොහෝ පසේබුදුවරුන් බිහි වී තිබේ. මෙම කථාවෙහි සඳහන් පසේබුදුවරයන් වහන්සේ ද බරණැසෙහි රජකම් කළ කෙනෙකි.

මෙම බරණැස් රජතුමාගේ අග‍්‍ර මහේෂිකාව කළුරිය කළාය. අගබිසව කළුරිය කිරීම නිසා රජයෙන් පණවන ලද ශෝකාකූල කාලපරිච්ඡේදය ඉක්මගිය විට ඇමතිවරු රැස්වුණා. ඔවුන් රජතුමාට මේ අයුරින් කරුණු පහදා දුන්නා.

“මහරජතුමනි, අගමෙහෙසියක් නොමැතිව රාජකෘත්‍ය කිරීම අසීරුයි. නොයෙකුත් කටයුතුවලදී කරුණු කාරණා පිළිබඳව දක්ෂ වූ අගමෙහෙසියක් සමඟ සාකච්ඡා කිරීම රජවරුන්ගේ සිරිතයි. එනිසා ඔබවහන්සේට සහාය පිණිස අග‍්‍ර මහේෂිකාවක් පත්කර ගන්නා සේක්වා!”

“ඇමතිවරුනි, ඔබ එසේ සළකනවා නම්, මහේෂිකාවක් පත්කර ගැනීම ගැන මාගේ අසතුටක් නැත. එසේ නම් එයට සුදුසු වූ කාන්තාවක් සෙව්ව මනාය.”

ඇමතිවරු තම රජතුමා හට ගැලපෙන අගමෙහෙසියක් සෙවීමේ කටයුත්තෙහි නියැලූණා. ප‍්‍රාදේශීය රජෙක් මියගිය බවත්, ඔහුට ඉතා ගුණවත් සුරූපී බිසවක් සිටි බවත්, ඇමතිවරුන්ට සැළවුණා. ඇමතිවරු ඒ බිසව සොයාගෙන ගියා. ඇත්ත! ඇය රූපවත්. ගුණවත්. නමුත් ඇය ගර්භනී මාතාවක්.

ඇමතිවරු ගොස් ඇය කෙරෙහි ඇමතිවරුන් පහන්ව සිටින බවත්, බරණැස් රජුගේ අගමෙහෙසිය බවට පත්වන්නට ඇයගේ කැමැත්ත දැනගන්නට අවශ්‍ය බවත් සැළකර සිටියා. එවිට ඇය මෙසේ කරුණු පහදා දුන්නා.

“පින්වත් අමාත්‍යවරුනි, ස්ත‍්‍රිය ගර්භනී වූ කල්හි ඇතැම් පුරුෂයෙකුගේ සිත සතුටු නොකරන්නී වේ. ස්ත‍්‍රිය ඇවැතුම් පැවැතුම් තුළින් පුරුෂයෙකුගේ මන නොබඳින්නී නම් එය නොමැනවි. යම් හෙයකින් මා කුසේ සිටිනා දරුවා වදනා තාක් මෙකී යෝජනාව කල් දමන්නට හැකි නම්, මම ද එයට සතුටු වෙමි. එසේ අකමැති වන්නේ නම් ඔබ කැමති තැනකින්, කැමති කුලයකින්, කැමති ස්ත‍්‍රියක් රැගෙන යත්වා!”
එම බිසවගේ කතාවට ඇමතිවරු බොහෝ සේ සතුටු වුණා. සියලූ කරුණු රජතුමාට පහදා දුන්නා. එවිට රජතුමා සතුටු වූයේ එම බිසවටමයි. එම ගර්භනී බිසව රාජමාළිගාවට කැඳවා අගබිසෝ තනතුර ලබා දුන්නා. ඒ සඳහා ලැබෙන සියලූ සත්කාර සම්මාන ලබා දුන්නා. ඇයගේ පිරිවර සේනාව ද, නෑ හිත මිතුරන් ද රජ මාළිගාවට කැඳවා ගත්තා. ඔවුන්ට ද සත්කාර සම්මාන ලැබුණා.

සුදුසු කාලයේදී ඇය පුත්කුමරෙක් බිහි කළා. රජතුමාට හරි සතුටුයි. තමාට දාව ලද පුතෙකුට පරිද්දෙන් මෙකී කුමරාට සැලකුවා.ආදරය දැක්කුවා.හැම තිස්සේම රජතුමා අර පුංචි කුමාරයාව උකුලෙහි තබාගෙන සුරතල් කරමින් සිටියා. නමුත් බිසවගේ නෑ හිතමිතුරන්ට මේ කුමාරයාට ඇති අධික ස්නේහය ගැන බියක් ඇතිවුණා.

“රජවරු විශ්වාස නෑ. මේ පහදිනවා. මේ උදහස් වෙනවා. මේ සත්කාර සම්මාන දෙනවා. මේ දඬුවම් දෙනවා. බැරිවෙලාවත් අපේ කුමාරයා කෙරෙහි උදහස් වුණොත් මොනවා වේවිද දන්නෙ නෑ. රජ්ජුරුවෝ කුමාරායාගේ පියා නොවන නිසා රජතුමාගේ සිත වෙනස් වෙන්න වැඩිකල් යන එකක් නෑ.”

නෑ පිරිස මේ සඳහා උපක‍්‍රමයක් කළා. පුංචි කුමාරයාට කරුණු කිව්වා. ඒ වනවිට කුමාරයත් රජතුමා කෙරෙහි අධික ස්නේහයකිනුයි හිටියේ. කුමාරයාගේ සිත වෙනස් කරන්නට ඔවුන් උත්සාහ කළා.

“පුංචි කුමාරයාණෙනි, ඔයා දන්නෙ නෑ. ඔය රජ්ජුරුවෝ ඔයාගේ අප්පච්චි නොවෙයි. ඔයාගේ අප්පච්චි අභාවයට පත්වෙලා. මැරිලා ගියා. අපි මේ ඉන්නේ අනුන්ගේ මාළිගාවකයි. ඔයාගේ අම්මා අගබිසව කරගත්තේ මේ රජ්ජුරුවන්ගේ බිසවුන් වහන්සේ මියගිය නිසයි. ඉතින් පුංචි කුමාරයාණෙනි, මේ රජ්ජුරුවෝ ඔයාගේ අප්පච්චි නොවෙයිනේ. ඇතැම් විට පිය රජවරු පවා පුත්කුමාරවරුන්ව මරලා දානවා. ඒ නිසා ඔයා වුණත් කල්පනාවෙන් ඉන්න. අපිට ඔයා ගැන හරි භයයි.”

මේ සිඟිත්තා හොඳටම භය වුණා. රජතුමාට තිබුන ආදරය නැති වුණා.රජ්ජුරුවෝ දකිද්දී තැති ගත්තා. පපුව ගැහෙන්න පටන් ගත්තා. රජ්ජුරුවෝ ආදරයෙන් අඬ ගැහුවා.
“කෝ….? ඉතින් මෙහෙ එන්න. මගෙ පුංචි පැටියෝ…”

රජ්ජුරුවෝ අතින් ඇද්දා. කුමාරයා පොඞ්ඩක් වත් කැමති නැහැ. අඬන්න පටන් ගත්තා. ළඟට යන්න බැහැ කියනවා. භය වෙනවා. රජ්ජුරුවෝ කුමාරයාව තුරුළු කරගන්න යනවා. කුමාරයා රජතුමාව තල්ලූ කරලා දුවනවා. මෙය රජතුමාට මහත් ප‍්‍රහේලිකාවක් වුණා. රජතුමා කරුණු සොයා බැලූවා. මෙතරම් සංග‍්‍රහ කරද්දී, සත්කාර සම්මාන කරද්දී අගමෙහෙසියගේ නෑදෑයින් විසින් කුමාරයාව නොමඟ යවා ඇති බව රජතුමාට දැනගන්න ලැබුණා. රජතුමා හොඳටම කළකිරුණා.ආදරය ගැන කලකිරුණා. රජකම වෙන කෙනෙකුට පැවරුවා. රජතුමා පැවිදි වෙන්න ගියා.

රජතුමා පැවිදි වූ කරුණ ඇමතිවරුන්ට සිත් වේදනාවට හේතුවක් වුණා. ඇමතිවරු රජතුමාට ඉතාමත් ආදරය කළ නිසා බොහෝ දෙනෙක් රජතුමා අනුව ගොස් පැවිදි වුණා. රජතුමාගේ පිරිවර සෙනඟටත් මෙය දැනගන්න ලැබුණා. ඒ අයත් රජතුමාට ගොඩක් ආදරය කලා .ඔවුනුත් කළකිරුණා. ඔවුනුත් පැවිදි වුණා.
දැන් මේ ශ‍්‍රමණයන් වහන්සේලා පිඬු සිඟා වඩිද්දී මිනිසුන් නොයෙක් අයුරින් ප‍්‍රණීත, රස මසවුළු වලින් පිරි ආහාරපාන පූජා කළා. මේ සියලූ පූජාවන් ලැබුණේ රාජ ඉර්ෂීන් වහන්සේටයි. රාජ ඉර්ෂීන් වහන්සේ ඒ ප‍්‍රණීත ආහාරපාන ආදිය වැඩිමහළු පිළිවෙලින් බෙදා දුන්නා. ඇතැම් ශ‍්‍රමණවරුන්ට ප‍්‍රණීත දේ ලැබුණා. එතකොට ඔවුන් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඇතැම් ශ‍්‍රමණවරුන්ට නීරස දේ ලැබුණා. ඔවුන් දොස් කියන්න පටන් ගත්තා.

“මේක හරි වැඩක් නෙව. අපි තමයි මිදුල අමදින්නේ. අපි තමයි සක්මන් මළු අමදින්නේ. අපි තමයි භාජනවලට පැන් පුරවන්නේ. අපි තමයි ගිනිහල් ගේ සකසන්නේ. නමුත් අපටමයි කටුක දේ ලැබෙන්නේ. ප‍්‍රණීත දේ ලැබෙන්නේ වෙනත් උදවියටයි” කියමින් ගෝරනාඩු කරන්න පටන් ගත්තා.

රාජඉර්ෂීන් වහන්සේ මේ පැවිද්දන් ගැන හොඳටෝම කළකිරුණා.

“මට ලැබෙන දේවල් මං වැඩිමහළු පිළිවෙලින් බෙදලා දුන්නේ. කොච්චර දුන්නත් මුන්දැලාට පිරිමසන්නේ නෑ නෙව. දුන්නත් බනිනවා. නොදුන්නත් බනිනවා. ප‍්‍රණීත දේ දුන්නත් බණිනවා. මේ පිරිසත් සමඟ ඉන්න එකේ තේරුම මොකක්ද? කවදාවත් මෙයාලව නම් සලකලා සතුටු කරන්න බෑ.”

රාජඉර්ෂීන් වහන්සේ කිසිවෙකුටත් නොකියාම පාත‍්‍ර සිවුරු ගෙන හුදෙකලාවේ පිටත් වුණා. මහා වනය ඇතුළට ගියා. තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. තනියම භාවනා කරන්න පටන් ගත්තා. පිරිසෙන් වෙන්වී හුදෙකලාව වාසය කිරීම නිසා රාජ ඉර්ෂීන් වහන්සේට මහත් සැනසිල්ලක් ඇතිවුණා. සැපයක් ඇතිවුණා. භාවනාවට වඩ වඩාත් යොමු වුණා. කෙමෙන් කෙමෙන් පංච නීවරණ සංසිඳී ගියා. සමාධිය දියුණු වුණා. ධ්‍යාන ලැබුණා. රාජඉර්ෂීන් වහන්සේ පැවිද්දන් තුළත්, ගිහියන් තුළත් ඇති තෘප්තියට පත් නොවන ස්වභාවය විමසන්න පටන් ගත්තා. තෘෂ්ණාව හේතු කොට ගෙන මනස තුළ ඇතිවෙන විකෘතිය හඳුනා ගන්නට උන්වහන්සේ සමත් වුණා. තෘෂ්ණාව හටගන්නේ වින්දනය තුළින් බවත්, වින්දනය හටගන්නේ ස්පර්ශය තුළින් බවත්, ස්පර්ශය හටගන්නේ ආයතන හය තුළින් බවත්, එයට නාමරූප ප‍්‍රත්‍ය වන බවත්, නාමරූපයට විඤ්ඤාණය ප‍්‍රත්‍ය වන බවත්, විඤ්ඤාණයට සංස්කාර ප‍්‍රත්‍යය වන බවත්, මේ සියල්ලටම අවිද්‍යාව ප‍්‍රත්‍ය වන බවත් අවබෝධ වුණා. ආර්ය සත්‍යාවබෝධය නම් විද්‍යාව පහළ වීමෙන් අවිද්‍යාව ප‍්‍රහාණය වුණා. විද්‍යා විමුක්ති ඇතිවුණා. නිකෙලෙස් වුණා.ආදරය නම් වූ කෙලෙස් මල දුරු වුනා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

ඒ පසේබුදුරජාණන් වහන්සේ නන්දමූලක නම් පර්වතයේ ඇති ගල්ලෙනට වැඩම කළා. සමාපත්ති සුවයෙන් වැඩසිටි පසේබුදුවරයන් වහන්සේලා මේ නවක පසේ බුදුවරයන් වහන්සේගේ අත්දැකීම් විමසුවා. ඒ පසේ බුදුවරයන් වහන්සේ මෙය වදාළා.

දුස්සංගහා පබ්බජිතාපි ඒකේ
අථෝ ගහට්ඨා ඝරමාවසන්තා
අප්පෝස්සුක්කෝ පරපුත්තේසු හුත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“කොටින්ම සමහර පැවිද්දන්ට නම් කොයිතරම් සැළකුවත් සංග‍්‍රහ කොට සතුටු කරන්න බැහැ. ඇතැම් ගිහියොත් ඒ වගේමයි. මොනතරම් සැළකුවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ. අනුන්ගේ දරුවන් ගැන ඕනෑවට වඩා සෙනෙහෙ ඇති කරගෙන හිතට බර ගැනිල්ල වැඩකට නැති දෙයක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

ඊළඟ කථාවට පිවිසෙන්න >>>



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here