අසිරිමත් පසේබුදු පෙළහර 15

0
4


BlogTemplate

ලෙඩ දුක – තුවාලය – උවදුර යන නම ද
රෝගය – යහුළ – භය යයි පවසති මෙයට
කාම ගුණවල ඇති – මේ භය හොඳින් දැනගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් ගැන කරන විස්තරයේදී වදාරණ ලද්දේ ගාථාවන් පමණි. ඒ ඒ ගාථාවන්හි ඇති තේරුම් බොහෝ විට ඒ පසේබුදුවරුන්ගේ ජීවිත අත්දැකීම්ය. උන්වහන්සේලා ද සාමාන්‍ය මනුෂ්‍යයන් මෙන් විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දෙති. රෝග පීඩා ආදිය ඇතිවන විට කලකිරීමට පත්වෙති. දරුවන්ට ආදරය කරති. කාමයට හසුවෙති. එතුළින්ම ඔවුන් ලබන අවබෝධය හේතුවෙන් සත්‍යය කරා යොමු වෙති.

නුවණ මුහුකුරා නොගිය සාමාන්‍ය මනුෂ්‍යයා තමා මුහුණ දෙන නොයෙකුත් කරදර කම්කටොලු වලදී එහි බැසගෙන ඒ තුළින් හටගන්නා දුකට මැදි වී වාසය කරන නමුත් පසේ බුදු බවට පත්වීමට පින් ඇති පුරුෂයින් ඒ දුකින් එතෙර වෙති. සාමාන්‍ය ලෝකයා හට සිතාගත නොහැකි අපූර්ව වූ කල්පනාවකින් හෙබි මේ විශේෂ මනුෂ්‍යයින්ගේ ජීවිත කථාවන් තුළින් අපට ඉගෙන ගත හැක්කේ සසරෙහි ප්‍රගුණ කරන ලද පින් ඇති කෙනාගේ අභ්‍යන්තර චිත්ත සන්තානය තමාටත් නොදැනීම විමුක්තිය පිණිස සකස් වන බවයි.

එනිසා සසරෙහි ගමන් කරන අපට මිනිස් ලොව ගත කරන ජීවිතය විමුක්තිය පිණිස තීරණාත්මක සාධකයක් කරගත හැකි බව මෙබඳු කථාවලින් තේරුම් ගත හැකිය. සත්‍යාවබෝධයට ආශා කිරීම, ඒ සඳහා නුවණ මෙහෙයවීම, ඉඳුරන් දමනය කොට පුරුදු කිරීම, ඉවසීම ඇති කරගැනීම, අත්හැරීම පුරුදු කිරීම වැනි සුවිශේෂ කුසලතා මෙයට උපකාරී වේ.

මෙම කථාවේ සඳහන් වන්නේද ජීවිතය කළකිරුණු රජ කෙනෙකු පසේබුදුවරයෙකු බවට පත් වූ ආකාරයයි. බරණැස් නුවර ඉතා දැහැමි රජෙක් වාසය කළා. කලක් යන විට ඔහුගේ සිරුරෙහි මහත් වේදනා දෙන ගෙඩියක් හටගත්තා. නොයෙක් අයුරින් පිළියම් කළා. එහෙත් ගෙඩිය සුව වුණේ නැහැ. වෛද්‍යවරු පවසා සිටියේ සැත්කමක් කොට ගෙඩිය ඉවත් කළ යුතු බවයි. මේ හේතුවෙන් බොහෝ කල් දුක් විඳි රජතුමා වෛද්‍යවරු කැඳෙව්වා.

“අනේ පින්වත් වෛද්‍යවරුනි, වෙන රජවරු ගැන කල්පනා කරන විදිහට මං ගැන හිතන්න එපා. සැත්කම කොට සුව වුණේ නැතත් මං ඔබට හානියක් කරන්නේ නෑ. එනිසා ඉක්මනින් සැත්කම කරන්න. මා පොරොන්දු වෙනවා, ඔබට අභය දානය දෙන බවට. අනේ මට මේ වේදනාව ඉවසගන්න බෑ…”

“දේවයන් වහන්ස, ඇත්තෙන්ම බොහෝ වෛද්‍යවරු රජවරුන්ට වෙදකම් කරන්නට ගොස් මැරුම් කෑවා. එයට භයෙන්මයි අපි රජවරුන්ට සැත්කම් නොකරන්නේ. නමුත් ඔබවහන්සේගේ කාරුණික ඉවසීම නිසා අපි සැත්කම කරන්නම්.”

වෛද්‍යවරු ගෙඩිය පැලුවා. සැරව ඉවත් කළා. තුවාලයට බෙහෙත් ගල්වා වෙලුම් පටිවලින් වෙලුවා. සත්පාය ආහාරපාන නියම කළා. ටික කලක් යන විට ගෙඩිය සුවපත් වුණා. නමුත් රජතුමාට ගැලපෙන ආහාර නැති නිසා ශරීරය කෘශ වුණා. දුර්වල වුණා. එනිසා යළිත් රජතුමා හිතුමනාපයට ආහාර ගන්න පටන් ගත්තා. නැවතත් එතනින්ම ගෙඩියක් මතුවුණා. මහත් වේදනාවට පත් වූ රජතුමා වෛද්‍යවරුන් ලවා ආයෙමත් සැත්කම කරවා ගත්තා. රජතුමා නැවතත් කෙට්ටු වුණා. ශරීරය දුබල වුණා. කලක් ගත වන විට තමන් අනුභව කරන ලද රසවත් ආහාර පාන මතක් වෙන්න පටන් ගත්තා.

“මේ අසනීපයක් නිසා නිදහසේ කෑම ටිකක්වත් කන්න නෑ. වෛද්‍යවරු ඇවිදින් ආහාර නියම කරනවා. හැමදාමත් මේවා කන්න පුළුවන්ද? දැන් මට සනීපයි. එක වතාවක් ගෙඩිය කපලා ඉවත් කළා. කටට රහට රජබොජුන් වළඳලා වැඩි දවසක් ගියේ නෑ. ආයෙමත් ගෙඩියක් ආවා නෙව. දැන් ඒකත් ඉවත් කළා. දැන් ඉතින් මට ලෙඩක් හැදෙන එකක් නෑ. සෑහෙන දවසක් කෑමක් නැතිව දුක් වින්ඳා.

මේක මොන වදයක්ද…? දැන් මං කරන්නෙ මෙච්චරයි. ඕන දෙයක් වුණාවේ කියලා මට හිතෙන දේවල් ආහාරයට ගන්නවා.”

ඉතින් රජතුමා ආයෙමත් හිතුමනාපෙට ආහාර පාන ගන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී කලින්ටත් වඩා දරුණු විදිහට ගෙඩිය මතුවුණා. රජතුමා ආයෙමත් වෛද්‍යවරුන්ව කැඳෙව්වා.

“අනේ දේවයන් වහන්ස, ඔබවහන්සේ අපගේ අවවාදයට අනුව හික්මෙන්නෙ නැහැ නෙව. දැන් දෙපාරක්ම සුවපත් කළා. හැබැයි මේ වතාවෙ නම් ගෙඩිය හැදිලා තියෙන්නේ සුව කරන්න බැරි විදිහටයි. සත්පාය ආහාරපාන ලැබෙනකම් විතරයි ගෙඩිය සුවපත් වුණේ. දැන් තියෙන තත්වය අනුව ආයෙමත් සැත්කමක් කළොත් බේරගන්න බැරිවේවි. එනිසා අපට ජීවිත දානය දෙන සේක්වා! ඔබවහන්සේ බේරාගන්න අපට පුළුවන්කමක් නෑ.”

වෛද්‍යවරුන් විසින් තමන්ව අත්හැර දැමීම ගැන රජතුමා මහත් කම්පාවකට පත්වුණා. තනියම කල්පනා කරන්නට පටන් ගත්තා.
“ඔව්… මේ හැම දේකටම මුල තෘෂ්ණාවමයි. මේ රස තෘෂ්ණාව නිසා මම පෝෂණය කළේ කුණු ශරීරයක්. විනාශ වී යන දෙයක්. එතකොට මේ ශරීරය තුළිනුයි මං ආශ්වාදයක් හොයන්න පෙළඹෙන්නේ. මේ ශරීරයයි මං එයට යොදවන්නේ. ඒ ශරීරයෙන්මයි මට වද දෙන්නෙත්. මගේ රජකමට ගෙඩිය සනීප කරන්න පුළුවන්කමක් නෑ. වෛද්‍යවරු මාව අත්හැරියා. දැන් මම කොහොමත් මැරෙනවා. නමුත් මාව නැවත නැවත දුකට පත් කරවන මේ තෘෂ්ණාවත් සමඟ නම් මට තවත් ගණුදෙනු කරන්න ඕන නෑ. තෘෂ්ණාව නැතිවෙන මඟක් හොයන්න ඕන. මේ රජකම කරමින් කරන්න බෑ.”

රජතුමා හොඳටම කළකිරුණා. ඇමතිවරු රැස්කළා. රජකම භාරදුන්නා. රෝගය සුවපත් නොවී තියෙද්දීම පැවිදි වුණා. හුදෙකලාවේම බරණැස ඉසිපතනයට පිටත් වුණා. ඒ දිනවල ඉසිපතන මිගදායෙහි පසේබුදුවරයන් වහන්සේලා වැඩසිටිනවා. මේ අලුත් ශ්‍රමණයන් වහන්සේ ඉසිපතන වනයේ පාළු කුටියකට ගියා. ගෙඩිය මෝදු වී ඇදුම්කද්දී මේ ශ්‍රමණයන් වහන්සේ පුදුම විදිහට ඉවසුවා. සිත දමනය කරගත්තා. සිත සමාධිමත් කරගත්තා. නුවණින් විමසන්න පටන් ගත්තා. සත්‍යාවබෝධය පිණිස ප්‍රඥාව වැඩී ගියා. තෘෂ්ණාව ක්ෂය වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධියෙන් අහසට නැගී හිමාලයේ ගන්ධමාන පර්වතයේ මංජූසක රුක් සෙවනට පැමිණුනා.

අලුත පැමිණි මේ පසේබුදුවරයන් වහන්සේගේ ජීවිත අත්දැකීම කුමක්දැයි විමසූ විට උන්වහන්සේ මේ ගාථාව වදාළා.

ඊති ච ගණ්ඩෝ ච උපද්දවෝ ච
රෝගෝ ච සල්ලං ච භයං ච මේතං
ඒතං භයං කාමගුණේසු දිස්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක්. සැරව පිරුණු ගෙඩියක්. මහා වධයක්. රෝගයක්. රිදුම් දෙන හුලක්. ඕනෑම මොහාතක භය ඇතිකරවන දෙයක්. මේ හැම දෙයක්ම ඇතිවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපය නිසා. මං මේකෙ ආදීනව දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

The post අසිරිමත් පසේබුදු පෙළහර 15 appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here