අසිරිමත් පසේබුදු පෙළහර 13

0
4


BlogTemplate

රන්කරු තැනූ මැනැවින් – දිලෙස රන් වළළු යුගලක්
අතෙහි ලා ගත් විට – එකිනෙක ගැටෙනු දකිමින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දුන් පසේබුදුවරුන්ගේ අසිරිමත් චරිතාපදානයන් ගැන ඉගෙන ගනිද්දී සැබැවින්ම පුදුම සහගතයි. නිවන් අවබෝධය පිණිස හුදෙකලාවේම මෝරා ගිය සිත් ඇති මහා පුණ්‍යවන්තයින් පසේබුදුවරුන්ගේ යුගයේදී ලොවට පහළ වෙනවා. ඒ පසේබුදුවරුන් පවා උපදින්නේ ජම්බුද්වීපයෙහි පමණක් බව අප අමතක නොකළ යුතුයි. කොටින්ම බුදු බව ලබන්නට පෙරුම් දම් පුරමින් සිටි අප මහා බෝසතාණන් වහන්සේ පවා ජම්බුද්වීපයෙන් බැහැර වූ රටක උපත ලැබූ බවක් සඳහන් වන්නේ නැහැ. මෙනිසා සියළු බුදුවරුන් හට, පසේබුදුවරුන් හට වාසභූමිය වූ ජම්බුද්වීපයෙහි බොහෝ විට මුනිවරුන්ගෙන් හිස් වීමක් නැහැ.

මෙහි සඳහන් වන්නේ එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ ආකාරයයි. එනම් කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි වූ එක්තරා භික්ෂුවක් ‘ගතපච්චාගත‘ වත පුරමින් ආර්ය සත්‍යාවබෝධය මුල් කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් මහණදම් පිරුවා. උන්වහන්සේට එම සසුන තුළදී මාර්ගඵලාවබෝධයක් ඇති කරගන්නට බැරිවුණා. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපත ලැබුවා. පසේබුදුවරුන්ගේ යුගයෙහිදී බරණැස් රාජ්‍යයෙහි රජු ලෙස මනු ලොවට පැමිණ සිටියා.

දිනක් මේ රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඒ ග්‍රීෂ්ම කාලයයි. රජතුමා රුක් සෙවණේ සැතැපී සිටියා. රජු අසල ම එක්තරා ස්ත්‍රියක් සඳුන් කල්ක පිණිස සඳුන් කුඩු කරමින් සිටියා. එසේ සඳුන් කුඩු කරමින් සිටිද්දී එම දාසියගේ අත්දෙක නිතර සෙළවුණා. හාන්සි වී සිටි රජතුමාගේ දෙනෙත් අර දාසියගේ දෑත වෙත යොමු වුණා. එක අතක තනි වළල්ලක් දමා සිටියා. අනිත් අතේ රන් වළළු දෙකක් දමා සිටියා. තනි වළල්ල ඇති අත කොපමණ සෙළවුණත් කිසි හඬක් නැඟුණේ නෑ. නමුත් වළළු දෙකක් දමා සිටි අත සෙළවෙන සෑම වාරයකදීම හඬ නැගුණා. රජතුමා ඒ දෙස අවධානයෙන් බලා සිටියා.

‘හරි පුදුමයි! මේ තනි වළල්ල සෙළවෙනවා. නමුත් හඬක් නැඟෙන්නේ නෑ. හුදෙකලා බවක් තියෙනවා. වළළු දෙක දැමූ අත සෙළවෙන වාරයක් පාසා නද දෙනවා. මට හිතෙන්නේ ජීවිතයත් මේ වගේ කියලයි. පිරිසක් එක්ක එකතු වුණොත් තමයි මේ සිතට හැම අර්බුදයක්ම හටගන්නේ. නමුත් හුදෙකලාව සිටිද්දී එයාට ලැබෙන සැප, දුක සතුටින් විඳ දරාගෙන අවුලක් නැතුව ඉන්නවා.’

එතකොට රජ බිසව සියළු ආභරණ වලින් සැරසී රජු අසළම වාඩි වී සිටියා. බිසවට අමුත්තක් තේරුණා.

“ම්…! මොකද මේ… රජ්ජුරුවන් වහන්සේ මේ කාන්තාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ…..? මෑ ගැන සිතක් පහළ වෙලා වත් ද….? මෑට සිත ගියෝතින් මගේ සැප සම්පත් වලින් කොටසක් මෑට දෙන්න වේවි! මං දැන් සෑහෙන වෙලාවක් බලාගෙන සිටියා. රජතුමා වශී වෙලා වගේ…. එහෙම වෙන්න දෙන්න බෑ…!”

ඉතින් බිසව අර ස්ත්‍රියට මෙහෙම කිව්වා.

“අනේ…. ඔයාට හරි මහන්සි හැඩයි. සඳුන් කල්ක හදන්නට සඳුන් කුඩු කිරීම ලෙහෙසි නෑ තමයි. නමුත් මාත් හරී ආසයි සඳුන් කුඩු කරන්න. එනිසා මේ ඔයා සඳුන් කුඩු කළා ඇති. කෝ දෙන්න මට….”

ඉතින් දාසිය නැගිටුවා ඇයගේ තැනින් වාඩි වුණා. සඳුන් කුඩු කරන්න පටන් ගත්තා. රජතුමා එවරත් ඇසිපිය නොහෙලා බිසවුන් වහන්සේ සඳුන් කුඩු කරන අයුරු බලා සිටියා.

‘ඔව්! අර අත්දෙකෙයි මේ අත්දෙකෙයි ලොකු වෙනසක් තියෙනවා… කලින් තනි වළල්ලක අතක් තිබුණා. වළළු දෙකක අතක් තිබුණා. තනි වළල්ල හඬ නැඟුවේ නෑ. වළළු දෙක ඝෝෂා කළා…. දැන් මේ අත් දෙක ඊට වෙනස්. මේ අත් දෙකේම රන් වළළු පුරෝලා තියෙනවා. මේ වළළු ගැටෙද්දී මහා ඝෝරණාඩුවක් ඇහෙනවා….. හුදෙකලාවමයි හොඳ! හුදෙකලාවමයි හොඳ!’

රජතුමා අනිත් පැත්ත හැරුණා. ඒ ගැන හිතන්න පටන් ගත්තා. හුදෙකලා බවෙහි අරුත විමසන්න පටන් ගත්තා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. සංසුන් සිතින් වැතිර සිටි ඒ පසේබුදුවරයන් වහන්සේ ළඟට බිසොවුන් වහන්සේ පැමිණියා.

“ස්වාමීනී, මේ බලන්න…. හරී සුවඳයි. මං මගේ අතින්මයි මේ සඳුන් කල්ක හැදුවේ…. ඔබතුමාගේ නළලත මං සඳුන් තිලකයක් තබන්නද….?”

පසේබුදුවරයන් වහන්සේ සැණෙකින් නැගිට්ටා.

“පින්වත් නැගණිය, ඉවත් වෙන්න! සඳුන් කල්කයෙන් මට කම් නැත.”

ඕ පුදුමයට පත්වුණාය. දල්වා ගත් දෑසින් යුතුව රජතුමාගෙන් විමසා සිටියාය.

“මා ප්‍රියාදර ස්වාමීනී, ඔබවහන්සේට කිසියම් සිත් තැවුලක් ඇතිවුණාද? ප්‍රිය රජ්ජුරුවන් වහන්ස, පවසන සේක්වා…!”

“නැත. මම දැන් රජෙක් නොවෙමි. සියළු දෙයින්ම නිදහස් වූ යම්කිසි අපූර්වත්වයක් මට දැනෙනවා…”

රජතුමාගේ මේ වෙනස ලැව් ගින්නක් සේ පැතිරුණා. ඇමතිවරුන් හනිකට පැමිණුනා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේට මේ මොකද වුණේ?”

“දරුවෙනි, මා දැන් රජෙක් නොවෙයි. නිදහස් පුද්ගලයෙක්. ඔව්! ඒ නිදහස එක්තරා හුදෙකලා බවක්. ඇලෙන, ගැටෙන ලෝකයට අයිති නැති බවක්, ශාන්ත බවක්.”

“ඒ කියන්නේ ඔබවහන්සේ පසේබුදු බවට පත්වුණාද? පසේබුදුවරයන් වහන්සේලා රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසිලා නෑ. උන්වහන්සේලා ඉන්නේ කෙස් රැවුල් බාලා, සිවුරු පාත්‍රා අරගෙනයි. නමුත් ඔබවහන්සේගේ හිසෙහි කෙස් තියෙනවා. ගතෙහි සළු පිළි තියෙනවා.”

එතකොට රජතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් ඉවත් වී, සළු පිළි වෙනුවට සිවුරු පොරවා ගත් උපශාන්ත ශ්‍රමණ රුවක් දිස්වුණා. උන්වහන්සේ අහස් තලයෙන් නන්දමූලක පර්වතයට වැඩම කළා. පසේබුදුවරයන් වහන්සේලා සමඟ වැඩසිටිද්දී තමන් වහන්සේට අවබෝධයට උපකාරී වූ අත්දැකීම පවසා සිටියා.

දිස්වා සුවණ්ණස්ස පභස්සරාණී
කම්මාරපුත්තේන සුනිට්ඨිතානි
සංඝට්ඨමානානි දුවේ භුජස්මිං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළළු මට දකින්නට ලැබුණා. අත්දෙක සෙළවෙද්දී ඒ වළළු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණා. මං හුදෙකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

The post අසිරිමත් පසේබුදු පෙළහර 13 appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here