අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

0
5


ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම වඩාත් හොඳ නොවේද? ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම යම්කිසි පිහිටක් පිළිසරණක් සොයා යනවා.

අනික් අතට මේ ජීවිතය හිතාගන්න බැරිතරම් අවදානම්. කොයි මොහොතේ කුමන ආපදාවකින් අපට කරදර සිදුවේදැයි කාහට නම් කිව හැකිද? හරිම අවිනිශ්චිතයි. කොයි පැත්තෙන් බැලුවත් එක්තරා අසරණභාවයක් දකින්නට ලැබෙනවා. වචන වලින් කියාගත නොහැකි මොකක්දෝ අඩුපාඩු සහිත බවක් ජීවිතවල තියෙනවා. ඔය අතරේ තම තමාගෙන් සිදුවූ අත්වැරදි වලට වන්දි ගෙවමින් සෝ සුසුම් හෙළන ජීවිත කොතෙක්ද? හිත්වල දුක් වේදනා පුරවාගෙන හිතින් හඬ හඬා සිටින ජීවිත කොතෙක්ද?

ජීවිතය අනාරක්ෂිතයි නේද…?

ඊළඟට මේ තත්වය දිගින් දිගටම පවත්වන්නට මෙන් සමහර ජීවිතවල අපල උපද්‍රව ග‍්‍රහදොස් යැයි කියාගන්නා දේවලුත් සතුරු කරදරත් ඉවරයක් නැහැ. ඇත්තෙන්ම ජීවිතය අනාරක්ෂිතයි නේද? ඔය තත්වය නිසාම සිතට ඇතිවෙන්නේ අනාගතය පිළිබඳ සැක සහිත බවක් නේද? බොහෝ දෙනෙක් ජීවිතය සුරක්ෂිත කරගැනීම පිණිස බොහෝ දේ පසුපස ඔහේ දුවගෙන යනවා. නැකත්, සුභ නිමිති, දේව වාක්‍යය, දෙවි රැකවරණ, අපල ලබාදෙන නව ග‍්‍රහයන්ට අයත් දෙවිවරු, හාස්කම් වලින් පිහිට ලබාගැනීම, විස්මය ජනක සෙත් ශාන්ති ආදී දහසක් දේ පසුපස යනවා. යම්කිසි අද්භූත දෙයකින් පිහිටක් ලබාගන්නට පෙළඹෙනවා. එහෙත් අපේ අසරණකම කොතරම්ද කිව්වොත් ඒ කිසි දෙයක සත්‍ය අසත්‍යභාවය සොයන්නට අප කැමති වෙන්නේ නැහැ.

එහෙත් බුදුරජාණන් වහන්සේ ‘ධජග්ග’ නම් වූ දේශනාවේ දී දෙවියන් ගැන අපූරු රහසක් හෙළිකළා. එනම් කෙලෙස් සහිත මානසික තත්වයකින් සිටින ඒ දෙවියන් පවා හදිසි ආපදාවලදී අසරණව තැතිගෙන කම්පනයට පත්ව පළායන බවයි. ඉතින් අප ඉතාමත් භය පක්ෂපාතව පිහිට ඉල්ලා සිටින දෙවියනුත් අප සේම අසරණ වෙත් නම්, තැතිගනිත් නම්, පළායත් නම්, අප බලාපොරොත්තු වන රැකවරණය එබඳු පිරිසකගෙන් ලබාගත හැකියයි සිතීම මුලාවක් නොවේද? මින් කියැවෙන්නේ දෙවියන් නැතැයි නොවේ. ඔවුන්ද අප මෙන්ම අනාරක්ෂිත බවයි. එහෙත් අප යහපත් ක‍්‍රියාවක් කළ විට දෙවියන්ටද එම පින් අනුමෝදන් කිරීම සත්පුරුෂ උතුමන් විසින් සම්මත ඉතා හොඳ සිරිතකි. එහෙත් මේ ජීවිතයේ අපට මහත් සේ පිහිට උපකාරය පිණිස පවතින උත්තම දේ තෝරා බේරා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුය. නුවණින් සලකා යමක් අවබෝධ කරගැනීමේ හැකියාව අපට තිබිය යුතුය. උත්තම මුනිවරුන්ගේ දහම් අසා දැනගත යුතුයි.

තුන් ලොවටම ඉහළින් සිටි අභීත ශාස්තෘත්වය…

ජීවිතය පිළිබඳ දේශනා කළ නොයෙක් ශාස්තෘවරු ලෝකයේ කලින් කලට පහළ වෙනවා. ඒ අතර ජීවිතය පිළිබඳ ඉතාමත් පැහැදිලි, ඉතාම තර්කානුකූල, ඉතාම නිදහස් චින්තනයක් ඇති, මනුෂ්‍යත්වය ඉහළින්ම සැලකූ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවටම ඉහලින් වැඩසිටි සේක. තමන් වහන්සේ කුමන ගති ස්වභාවයකින් යුක්තව සිටින්නේද යන වග මෙසේ පෙන්වා දෙන සේක.

“මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ, තථාගතයන් වහන්සේ සියලු ආශා වලින් මිදී සිටිති. සියලු ද්වේෂයෙන් මිදී සිටිති. සියලු මායා මෝහයෙන් මිදී සිටිති. එහෙයින් කිසිදු භයක් නැත. කිසිදු තැතිගැනීමක් නැත. කිසිදු මානසික කම්පනයක් නැත. කිසිසේත් පළායන්නේ නැත. අභීතයහ. අකම්පිතයහ.”
(ධජග්ග සූත‍්‍රය – සංයුත්ත නිකාය)

පින්වතුනි, මොනතරම් ආශ්චර්යයක්ද බලන්න ‘තමන් මුළුමනින්ම කෙලෙසුන්ගෙන් නිදහස් වුණා’ කියා අභීතව ප‍්‍රකාශ කළේ මේ ලෝකයේ වෙන කවර නම් ශාස්තෘවරයෙක්ද? එබඳු උත්තරීතර තත්වයකට පත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙක් මනුලොව තබා දෙව්ලොව බඹලොව හෝ කෙසේ නම් සොයන්නද? වරෙක උන්වහන්සේ තම කාරුණිකත්වය ගැන මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ ලෝකයේ මිනිසුන්ටත්, දෙවියන්ටත්, වඩාත් අනුකම්පා කරන්නේ, වඩාත්ම උදව් උපකාර කරන්නේ, වඩාත්ම ආදරය කරන්නේ, එකම එක් කෙනෙකි. ඒ වෙන කිසිවකු නොව සියලු කෙලෙසුන්ගෙන් මිදුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”
(අංගුත්තර නිකාය – 01)

දෙව් මිනිසුන්ගේ භාග්‍යයේ උදාව…
මේ ලෝකයට මෙබඳු වූ සම්බුදු උතුමෙකුගේ පහළවීම නිතර සිදුවන දෙයක් නොවේ. මුලු මහත් ලෝකයේ සිදුවූ ඉතාම දුර්ලභ සිද්ධිය එයයි. අතිශයින්ම කලාතුරකින් සිදුවන සිද්ධියත් එයයි. ඒ බව උන්වහන්සේ විසින්ම මෙසේ පෙන්වාදී තිබෙනවා.

“මහණෙනි, සම්මා සම්බුද්ධ යනු මේ ලෝකයේ පහළ වූ ඉතාමත් ආශ්චර්ය වූ මනුෂ්‍යයාය. මහණෙනි, සම්මා සම්බුද්ධත්වයට පත්වූ උතුමෙකු පහළ වූවා යනු අඥානකම නැමැති අන්ධකාරය දුරුකරන ප‍්‍රඥාලෝකයේ පහළවීමයි. මායා වංචා පිරීගිය අසත්‍යයේ කඩතුරාව ඉරා දමන සත්‍යයේ උදාවයි. දුක් දොම්නස් දුරුකරන සෙත ශාන්තියේ උදාවයි. සියලු මානසික වහල් බැමිවලින් මිදුණු සනාතන විමුක්තියේ උදාවයි. සැනසිලි මග හඳුනාගත් සෝවාන් වූ තථාගත ශ‍්‍රාවකයන්ගේ පහළවීමයි. ධර්මය හඳුනාගෙන විමුක්තිය උදෙසා කැපවී කෙලෙස් සංසිඳවා ගත් සකදාගාමී තථාගත ශ‍්‍රාවකයන්ගේ පහළවීමයි. රාගයත්, ද්වේෂයත් සදහටම සිතෙන් ඉවත් කරගත් අනාගාමී වූ (නැවත කාම ලෝකයට නොපැමිණෙන) තථාගත ශ‍්‍රාවකයින්ගේ පහළවීමයි. සියලු කෙලෙසුන්ගෙන් මිදී සදාකාලික සැපය වූ නිර්වාණය අවබෝධ කිරීමෙන් රහත් වූ තථාගත ශ‍්‍රාවකයින්ගේ පහළවීමයි. මෙසේ මහණෙනි, සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීම දෙව් මිනිසුන්ගේ භාග්‍යය උදාවීමකි.”
(අංගුත්තර නිකාය – 01)

විශ්වය පුරා විහිදි විස්මිත අවබෝධය…

මොහොතක් සිතා බලන්න. අපට උදාවී තිබෙන්නේ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද? බුදුරජාණන් වහන්සේගේ එ් සුවිශේෂ ආධ්‍යාත්ම බලය විස්මයජනකයි. මුළු මහත් විශ්වය පුරාම කිසිදු බාධාවකින් තොරව තම ධර්මය පැතිරවීමේ හැකියාව උන්වහන්සේ තුළ පැවතුණා. දිනක් උන්වහන්සේ ඒ ගැන ආනන්ද හිමියන් සමග වදාළේ මෙහෙමයි.

“ආනන්ද, අපට පායන හිරු සඳුගෙන් දහසක් ග‍්‍රහලෝක එළිය වෙනවා. එවැනි චක‍්‍රාවාට දහසක් තිබෙනවා. ඒ සා පැතිරී ගිය මුලු මහත් විශ්වය පුරාම තථාගතයන් වහන්සේට ආලෝක තරංග යැවිය හැකියි. පිටසක්වල ජීවීන් හට ඒ ආලෝක ධාරා හොඳින් හඳුනා ගන්න පුළුවන්. ඒ ආලෝක තරංග ඔස්සේ තථාගතයන් වහන්සේට ශබ්ද තරංග සම්පේ‍්‍රෂණය කළ හැකියි. ඒ ශබ්දයන්ද ඔවුන් හඳුනාගන්නවා.”
(අංගුත්තර නිකාය – 03)

බුදුරජාණන් වහන්සේ අසම වන සේක…

උන්වහන්සේ තුළ වූයේ විස්මයජනක වූ අපූර්ව වූ ආධ්‍යාත්මික ශක්තියකි. එමෙන්ම එපමණ පිවිතුරු, එපමණ නොකැළැල්, එපමණ ශාන්ත, එපමණ ගාම්භීර, එපමණ උදාර චරිතයක් වෙන කවරෙකු තුළ දකින්නද? ආදරය, කරුණාව, දයානුකම්පාව, ඉවසීම, නිහතමානී බව, වංචාවෙන් තොරවීම, බුද්ධිමත් බව, තැනට සුදුසු නුවණ, තීක්ෂණ ප‍්‍රඥාව ආදී උත්තම ගුණයන්ගෙන් ඒ ජීවිතය පිරීගොස් තිබුණා.

සිවුරකින් ගත වසාගත්, ලද අහරින් යැපුණු, චාම් ලෙස දිවි ගෙවූ, මේ උත්තම මනුෂ්‍ය රත්නයේ අභිමානවත් ජීවිතයට අන්‍යාගමික මිථ්‍යා දෘෂ්ටිකයන් පමණක් නොව උන්වහන්සේගේම ඇතැම් අඥාන ශ‍්‍රාවකයන් පවා ඊර්ෂ්‍යා කළා. දේවදත්ත නැමැති ශ‍්‍රාවකයෙක් උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන්නට නොයෙක් වර මහන්සි ගත්තා. වරෙක නාලාගිරි නම් චණ්ඩ හස්ති රාජයාට රා පොවා මත්කොට උන්වහන්සේ ළඟට එව්වා. වරෙක චරපුරුෂ ඝාතක කණ්ඩායම් එව්වා. ඒත් ඒ සියල්ල අසාර්ථක වුණා. අවසානයේදී දෙව්දත් තීරණය කළේ සියතින් මහා කාරුණිකයන් වහන්සේගේ උදාර ජීවිතය ඝාතනය කරන්නටයි.

පුදුමාකාර හාස්කමක්…

එදා භාග්‍යවතුන් වහන්සේ විවේක සිතින් ගිජුකුළු පව්ව පාමුල සක්මන් කරමින් සිටියා. හොරෙන්ම එම පර්වතය මුදුනට නැගගත් දෙව්දත් මහත් වූ කළු ගලක් උන්වහන්සේගේ හිස මතට හෙලුවා. ඒත් එතැනදී සිදුවූයේ පුදුමාකාර හාස්කමක්. උන්වහන්සේව ඒ අනතුරෙන් රැකගන්නට කිසිම මනුෂ්‍යයෙක් අසල සිටියේ නැහැ. කිසි දෙවියෙක් අසලක සිටියේ නැහැ. එහෙත් හිත් පිත් නැති මේ මහ පොළොව වහාම ක‍්‍රියාත්මක වුණා. සැණෙකින් විශාල ගලක් පොළොවෙන් මතුවී අර ගල වළකා දැම්මා. බාහිර උපක‍්‍රමයකින් උන්වහන්සේව ඝාතනය කළ නොහැකි බව නැවත වරක් ලොවටම ප‍්‍රත්‍යක්ෂ වුණා.

අකම්පිත සිතක ස්වභාවය…

එහෙත් මේ සිද්ධිය, උන්වහන්සේට මුළු හදවතින්ම ආදරය කළ ශ‍්‍රාවකයින්ට මහත් වේදනා ගෙන දෙන්නක් වුණා. ඔවුන් කම්පනයෙන් සිටිනු දුටු අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ තම ජීවිතයේ ආශ්චර්යවත් ලක්ෂණයක් මෙසේ හෙළිකළ සේක.

“මහණෙනි, කම්පා වන්නේ මන්ද? කලබල වන්නේ මන්ද? තැති ගන්නේ මන්ද? නැත; ඔබ කම්පා නොවිය යුතුය. බිය නොවිය යුතුය. තැතිනොගත යුතුය. බාහිර ආරක්ෂාවක කිසිදු අවශ්‍යතාවයක් නොමැත. මහණෙනි, එසේම දැනගන්න. තථාගතයන් වහන්සේගේ ජීවිතය නිමවන්නේ බාහිර උපක‍්‍රමයකින් නොව, තම කැමැත්තෙන් ගත් තීරණය පරිදිය. ඉතාම සිහි නුවණින්ය. ශාන්ත ලෙසය.”

තුන්ලොව ඇති අසමසම, අසහාය පාරිශුද්ධ නායකත්වය උන්වහන්සේය. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පමණක් නොවේ, ජ්‍යෙෂ්ඨත්වයද අසහායය. වේරංජ නම් වංශවත් මිනිසෙකුට මේ බව උන්වහන්සේම පැහැදිලි කළහ.

“බ‍්‍රාහ්මණය, උපමාවකින් කියතොත් මේ ජීවිත බිත්තර සමූහයක් වැන්න. අඥානකම නැමැති ගණ කටුවෙනුයි, ඒ බිත්තර සැකැසී තිබෙන්නේ. මුළුමණින්ම ඒ කටුවට හිරවෙලයි පවතින්නේ. බ‍්‍රාහ්මණය, අඥානකම නැමැති හාත්පස වෙළාගත් ඒ ඝන කටුව මගේ උත්සාහයෙන්ම ප‍්‍රඥාව නම් වූ නියසිලෙන් සිදුරු කොට එළියට පැනගත් පළමු තැනැත්තා මම වෙමි. එහෙයින් බ‍්‍රාහ්මණය මගේම බුද්ධියෙන්ද ස්වෝත්සාහයෙන්ද ගුරූපදේශ රහිතව ධර්මාවබෝධ කළ හෙයින් මම වනාහී ලොවට ජ්‍යෙෂ්ඨද වෙමි. ශ්‍රේෂ්ඨද වෙමි.”
(වේරඤ්ජා සුත්ත – අ.නි. 06)

අපේ වාසනාව…

ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ අසලටවත් පැමිණි වෙන කෙනෙක් මේ ලෝක ධාතුවේ කෙසේ නම් සොයන්ටද? මෙබඳු උත්තමයෙකු අපගේ අධ්‍යාත්මික නායකයාණන් ලෙස තෝරාගෙන සිටීමට තරම් අප වාසනාවන්තවීම ගැන අපමණ සතුටු වෙමු. සැබැවින්ම අපි අන්‍යාගමික, අන්‍ය තීර්ථකයන්ගේ ශ‍්‍රාවකයන් නොවෙමු. අපි කවුරුත් ඉතාම ආදරයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේම ශ‍්‍රාවකයන් වෙමු. උන්වහන්සේ අවබෝධයෙන් යුතුව වදාළ ධර්මයත්, උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ මාර්ගඵලලාභී ආර්යන් වහන්සේලාත් යන මේ තෙරුවන් සරණ ගියෙමු. එක් වතාවක් පමණක් නොවේ. ‘දුතියම්පි, තතියම්පි’ කියමින් තුන් වතාවක්ම සරණ ගියෙමු. මෙසේ යම් කෙනෙක් මුළු හදවතින්ම, හිතට එකඟව අවංකව තෙරුවන් සරණ යාම ගැන උන්වහන්සේම පැහැදිලි කළ සේක.

“ආනන්දය, ඔය සඳුන්, සමන් ආදී මල් වලින් හමන සුවඳ හමායන්නේ යටි සුළඟට පමණයි. එහෙත් ඔබ මෙය දන්නවාද? මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයාගේ ගුණ සුවඳ දෙව්ලොවට පවා හමා යනවා. දෙව්ලොව දෙවියන් ඒ ගැන මේ විදිහට කතා වෙනවා.

‘පින්වත්නි, බලනු මැනවි, මිනිස් ලොව බුද්ධිමත් මිනිසුන්ගේ අසිරිය. අසවල් ගමේ අසවල් නම් ඇති අසවල් ස්ත‍්‍රීන්, අසවල් පුරුෂයන් මුළු හදවතින්ම බුදුන් සරණ ගිහින්. දහම් සරණ ගිහින්. සඟුන් සරණ ගිහින්. සැබැවින්ම ඒ මනුෂ්‍යයන් වාසනාවන්තයි’ කියලා.”
(අංගුත්තර නිකාය – 03)

විසිතුරු දේ නොව පිවිතුරු දේ අනුගමනය කරන්න…

ජීවිතය අවබෝධ කිරීම සඳහා තමන් තෝරාගන්නා ධර්මය තමාට ඉතාම තදින් බලපාන බව උන්වහන්සේ හොඳින් දැන සිටි සේක. ඒ නිසා උන්වහන්සේ නිතරම වදාළේ “කෙනෙකු අනුගමනය කළ යුත්තේ වඩාත් විසිතුරු දේ නොව වඩාත් පිවිතුරු දේ” බවයි. තෙරුවන් සරණ යාම යනු පරම පිවිතුරු දෙයකි.

“ආනන්දය, යම් කෙනෙක් තම දෙමව්පියන්ට ආදරේ නම්, දූ දරුවන්ට සෙනෙහෙවන්ත නම්, හිතමිතුරන්ට සානුකම්පිත නම් ඔහු කළයුතු පාරිශුද්ධ දෙයක් තිබේ. එනම් ඔවුනට ඉතාම පැහැදිලි ලෙසත්, ස්ථිර ලෙසත් තෙරුවන් සරණ යන හැටි කියාදීමයි. මුළු හදවතින්ම සමාදන් කරවීමයි.

මහණෙනි, යමෙක් පාරිශුද්ධ සන්තානයක් ඇති තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින්ම පිළිගනීද, අදහාගනීද, නිසැක බවට පත්වෙයිද, එය ඔහුට සැනසීම ලබාදෙන පළමුවෙනි මහා පුණ්‍ය ගංගාවයි. කුසල ගංගාවයි.”
(අභිසන්ද සූත‍්‍රය – ස.නි. 05)

“මහණෙනි, යමෙක් වනාහී තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය නොපිළිගනීද, නොඅදහාගනීද සැක කරයිද, ඔහු දිළින්දෙකි. ආධ්‍යාත්ම දිළින්දෙකි.”
(ඉණ සූත‍්‍රය – අං.නි. 5)

“එහෙත් මහණෙනි, යමෙක් මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියේ නම්, තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින්ම අදහාගනී නම්, ඒ අවංක ශ‍්‍රද්ධාවන්තකම ඔහු සතු මහා ධන සම්පතයැයි කියමි.”
(විත්ථත ධන සුත්ත – සං.නි. 5)

අවංක ශ‍්‍රාවකයෙකුගේ ලක්ෂණ…

වරෙක උන්වහන්සේගේ ළඟම ඥාතිවරයෙක් වූ ශාක්‍යවංශික මහානාම තෙමේ අවංක ශ‍්‍රාවකයෙකුගේ ශ‍්‍රද්ධාව ගැන කියාදෙන ලෙස ඉල්ලා සිටියා. එහිදී උන්වහන්සේ විස්තර කළේ මේ ආකාරයටයි.

“මහානාම, සෑබෑ ලෙස තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයා තුළ පැවතිය යුත්තේ මෙන්න මේ ආකාරයේ ශ‍්‍රද්ධාවකි.
ඔහු තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය මුළු හදවතින්ම අදහා ගනී. එනම් ඔහු නොයෙක් අයුරින් සම්බුදු ගුණ හඳුනාගනී. ඒ මෙසේය.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මායා මෝහ ජාලය සිඳ දමා සියලු රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් වලින් මුළුමණින්ම මිදුණු බව (අරහං) මුළු හදවතින්ම පිළිගනී. උන්වහන්සේ ගුරූපදේශ රහිතව ස්වකීය බුද්ධියෙන් හා වීර්යයෙන් යුතුව සියල්ල අවබෝධ කළ බව (සම්මා සම්බුද්ධ) මුළු හදවතින්ම පිළිගනී. උන්වහන්සේ ඉතාම පිවිතුරු සීලයකින් යුතුව සමාධිමත් සිතකින් යුතුව, අඥානකම දුරුකොට විද්‍යාව පහළ කරගත් බව (විජ්ජාචරණ සම්පන්න) මුළු හදවතින්ම පිළිගනී. උන්වහන්සේ පැහැදිලිවම විමුක්තිය උදෙසා වෙහෙස මහන්සි වී ඒ විමුක්තිය සාක්ෂාත් කළ බව (සුගත) හදවතින්ම පිළිගනී. උන්වහන්සේ මෙලොව පමණක් නොව, අපායේද, දිව්‍ය ලෝකයේද, බ‍්‍රහ්ම ලෝකයේද, මුළු මහත් විශ්වයේම රහස් සොයාගත් බව (ලෝකවිදූ) මුළු හදවතින්ම පිළිගනී. විමුක්තිය සළසාගැනීමට පින් තිබෙන ඕනෑම මිනිසෙකුට හෝ දෙවියෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ඒ මග පෙන්වාදී ඔහුට විමුක්තිය සළසාදිය හැකි බව (අනුත්තර පුරිසදම්ම සාරථී) මුළු හදවතින්ම පිළිගනී. උන්වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් එකම හා උත්තම ආදරණීය ගුරුවරයා බව (සත්ථා දේවමනුස්සානං) මුළු හදවතින්ම පිළිගනී. උන්වහන්සේ මහත් වූ කැපවීමකින් යුතුව අවබෝධ කළ ධර්මය සඟවා නොගෙන සතුටින් බෙදාදුන් බව (බුද්ධ) මුළු හදවතින්ම පිළිගනී. එකම එක මිනිසෙකු තුළ තිබෙන මේ සා ආශ්චර්යවත් ගුණ සමූහයක් ඇතිකර ගැනීමේ භාග්‍යවන්තයා උන්වහන්සේ පමණක් බව (භගවා) මුළු හදවතින්ම පිළිගනී.
මහානාමය, යමෙක් මෙන්න මේ ආකාරයට සම්බුදු ගුණ හඳුනාගනීද එය ඔහුගේ සැබෑම ශ‍්‍රද්ධාවකි.”

ලොවේ උතුම්ම දෙය…

පින්වතුනි, අපිත් මුළු හදවතින්ම තෙරුවන් සරණ යමු. වෙන කිසි කෙනෙක් හෝ වෙන කිසිදෙයක් සරණ නොයමු. මේ ලෝකයේ වඩාත් අවංක, වඩාත්ම සීලවන්ත, වඩාත්ම ඤාණවන්ත, වඩාත්ම කරුණාවන්ත, වඩාත්ම බුද්ධිමත්, උත්තම වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණයාම තරම් වෙන උත්තම දෙයක් කොයින් ලබන්නද? අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ යාමෙන් සාර්ථක වන්නේ මෙලොව ජීවිතය පමණක් නොවේ. පරලොව ජීවිතයද ඒකාන්තයෙන්ම සැනසිලිදායක වනු ඇත. ඔහු කිසිසේත් නරක තැනක නූපදී. ඒ බව සම්බුදු මුවින්ම වදාළ තැන් තිබේ.

“මහානාමය, යම්කිසි කෙනෙක් දිගු කලක් මුළුල්ලේ මුළු හදවතින්ම බුදුන් සරණ ගියේ නම්, මුළු හදවතින්ම දහම් සරණ ගියේ නම්, මුළු හදවතින්ම ඒ ශ‍්‍රාවක සංඝරත්නය සරණ ගියේ නම් ඒ සැදැහැවත් තථාගත ශ‍්‍රාවකයා කෙසේ නම් නරක තැනක උපදින්නද?”
(සරකානි සුත්ත – සං.නි. 5)

එසේ නම් දැන් අපට ඉතාම පැහැදිලියි, අපගේ ජීවිතයේ සියලු දුක් පහකොට, සියලු ධෛර්යයත්, සැනසීමත්, භාග්‍යයත්, සළසාදිය හැකි උත්තමයෙක් සිටී. උන්වහන්සේගේ සම්බුදු බලය ඉතාම ආශ්චර්යය, අචින්තනීයය. මුළු මහත් විශ්වය පුරාම බලපවත්වයි.

ඉතින් ඔබටත් ඒ උදාර ශක්තියේ පිළිසරණ ඒකාන්තයෙන්ම ලබාගත හැකිය. සියලු ප‍්‍රාර්ථනා සඵල කරගැනීම පිණිසත් අපට පීඩාකරන යම්කිසි අතීත කර්ම දෝෂ ඇත්නම් ඒවාද ඉක්මණින්ම ගෙවාදමා සැප විපාක දෙන කුසල කර්ම උපදවාගැනීම පිණිසත් ඒ සම්බුදු පිහිටම ලබාගත හැකිය.

සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දේව මණ්ඩලයේ ආශිර්වාදයත්, අනුග‍්‍රහයත් ලබාගනු පිණිස, ඒ සම්බුදු පිහිටම ලබාගත හැකිය. එපමණක් නොවේ, සදහටම සංසාරික දුක් නිමාකොට මාර්ගඵල පිළිවෙලින් ලබා අමා මහ නිවන් සුව අවබෝධ කරගැනීම පිණිසත්, ඒ සම්බුදු පිහිටම ලබාගත හැකිය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

The post අවබෝධයෙන් තෙරුවන් සරණ යමු appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here