අමුතු මිනිස්සුන්ගේ ලැජ්ජා නැතිකම

0
37


ලංකාවේ ඉන්නෙ අමුතු ජාතියෙ මිනිස්සු. අත් දෙකට වැටෙන මාංචු කූට්ටම උස්සලා පෙන්නන එක ජයග්‍රාහී ජනතා නියෝජිතයෙක් වෙන්න සුදුසුකමක් වෙච්චි රටක්.මේ වැඩේ දේශපාලනයට විතරක් නෙමෙයි හැම පැත්තටම පැතිරිලා යන විලාසිතාවක් වගෙයි.
මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවෙ නිලධාරීන් ගණනාවකට එල්ල වෙලා තියෙන චෝදනා නිසා සහ ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පදනම් කරගෙන ආචාර ධර්ම කමිටුව යෝජනා කර තිබෙන්නේ චෝදනාවලට ඉලක්ක වෙන ඔලිම්පික් කමිටු ලේකම්වරයාගේ නිල බලය නිශ්ක්‍රීය කර මේ පරීක්ෂණ සිඳු කළ යුතු බවයි.එහෙත් ඒ සම්බන්ධයෙන් වන කටයුතු සියල්ල නිහඬව තිබෙන අතර මේ තත්ත්වය යටතේ සිඳුවෙමින් පවතින්නේ දෙසැම්බර් මාසයේ පැවත්වීමට නියමිත මහා සභාවට ප්‍රථම විශේෂ මහා සභාවක් පවත්වා ඊ ළඟට එළැඹෙන නිලවරණය වෙනුවෙන් තැවරී ඇති කුණු සෝදා ගැනීමට උත්සාහ කිරීමයි.

මෙවැනි කරුණු නැවතීමට ලංකාවේ ක්‍රීඩා පණත අනුව ගනු ලබන උත්සාහයන් දුර්වල ඒවා වන අතර ක්‍රීඩා නීතිය පමණක් නොවන නීතිමය සාධක ද සැළකිල්ලට යොමු කර අධිකරණයෙන් එන තීරණයකට පමණක් එවැනි නැවතීම්වලට ඉඩ ඇති බව පැහැදිළියි.මන්ද රටක පොදු නීතිය ඉක්මවා කුමන අන්දමේ ජාත්‍යන්තර සංවිධානයතට වුව වැඩ කිරිමට අවසර නැති නිසයි.එහෙත් චෝදනා කරන කිසිවෙක් ද පශ්චාත්තාපවිම හැරෙන්නට මේ කරුණු සම්බන්ධයෙන් නිවැරදිව නීතියෙන් කටයුතු කරන්නට පෙළඹෙන්නේ නැහැ.

එසේම චෝදනා එල්ල වන පුද්ගලයින් තමන්ට එල්ල වෙන දූෂිතයි කියන චෝදනාව ගැන,එයින් වෙන අපකීර්තිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට ඉඩ දී නිවැරදි වෙන්න කිසිඳු ආකාරයකින් උත්සාහ ගන්න බවක් පෙනෙන්නෙත් නැහැ.තව දුරටත් චෝදනාවලට තුඬු දෙන තනතුරු රැක ගන්න යළි පත්වෙන්න මහන්සි වෙනවා ඇරෙන්න සමාජය ඉදිරියේ තමන්ව අපහාසයට සහ අපහසුවට පත්වන කරුණු ගැන නිර්වද්‍යතාවය ඔප්පු කරන්න මහන්සි වෙන්නෙත් නැහැ.ඔවුන්ට බලය හිමි වපසරියට අයත් වන පිරිස අඩුම තරමෙ අපි මේක නිවැරදි කරගෙන එමු හෝ මෙහෙම තියෙන එක ලැජ්ජා සහගත වැඩක් අපිම මේ ගැන පරීක්ෂණ මණ්ඩලයක් පවත්වමු ලෙස යෝජනා කරන්නෙත් නැහැ.එල්ල වී තිබෙන දූෂණ චෝදනා නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ගැන නොසිතා යළිත් අවස්ථාවක් සකසා ගෙන බලය තහවුරු කර ගැනීම මොවුන්ගේ ඉලක්කය වී තිබෙනවා.

මං හිතන්නෙ මේ ලැජ්ජා නැතිකම මහා විනාශකාරී එකක් වෙන්නෙ රටටයි.දේශපාලකයාට අපව පාලනය කරන්න බලය ගන්නත් වැදගත් වෙන්නෙ චෝදනා නැතිකම නෙමෙයි.චෝදනා තියෙන එක,අත් අඩංගුවට පත්වීම වගේ කාරණා.ඒ හැඩේටම තමයි ජාතික ඔලිම්පික් කමිටුව ගමන් කරන්නෙත්.මොන චෝදනා එල්ල වුණත් ලැජ්ජාව ගෑවිලත් නැති විදිහට ඔවුන් වැඩ කරනවා.ඇත්තටම දූෂිතයෙක් කියලා චෝදනා එල්ල වීම යම් කිසි ප්‍රභූ තත්ත්වයක් බවට පිළිගන්න වපසරියක ඒ චෝදනා සියල්ල පවතිද්දි බලය රැක ගැනීම වෙනුවෙන් කඳවුරු බැදීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගයක් විදිහට නොවැම්බර් 29 වන දා විශේෂ මහා සභාවක් එළියට ඒම වළක්වන්න කවුරුත් කටයුතු කරන්නෙ නැහැ.ඒ වෙනුවෙන් අවශ්‍යය නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙන බවකුත් නැහැ.හොරු හොරු කිව්වට වැඩේ නවතින්නෙ නැහැ.ඒක නවත්වන්න පුළුවන් ක්‍රමයක් නිතිය සතුව ඇත්නම් ඉටු කරවා ගත යුත්තේ එයයි.එසේ නොමැති වූ විට චෝදනා එල්ල වෙන,ඊට ගෑවෙන,එයින් වාසි අත් වේ යැයි සිතන සමූහය තමන්ට එල්ල වී ඇති චෝදනා කිසිවක් නො‘සළකා වැඩ කරනවා.

තියෙන හැඩේට අපි හොරු නැත්නම් අපිට තියෙන හොර චෝදනාවලින් නිදහස් වෙන්න අවශ්‍යය බව කියමින් ඔවුන් නවතින්නෙ නැහැ.බලය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් ඔවුන් වැඩ කරනවා.තව දුරටත් බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඔවුන් වැඩ කරනවා.එතකොට මේ එල්ල වෙන චෝදනා ඇත්තමයි කියන්න චෝදනා එල්ල කරන පාර්ශවය විශ්වාස කරනවනම් මොකද කරන්න ඕනි.ඒ ඇත්තයි කියන චෝදනාවලින් සමාජය සහ ක්‍රීඩාවට හානියක් වෙනවනම් ඒ දත්ත තියෙන පිරිස නීතිය ඉදිරියේ එවා හරියට මෙහෙයවන්න ඕනි.

කොහොම නමුත් එක දෙයක් ඇත්ත.ඒවා නිතිය නොවී තිබුණත් අන්තිම පහත් සදාචාරාත්මක නොවන ක්‍රියා.ඔලිම්පික් නිලවරණයෙන් පත්වන තනතුරු දරන අය ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කරනවා.එහෙත් එහි කාර්යාලීය වැඩ කිරිමට නිශ්චිත කාර්ය මණ්ඩලයක් සිටිනවා.එම කාර්ය මණ්ඩලයෙ පිරිස්, නිලවරණයෙන් පත්ව එන පිරිස විසින් අලුතෙන් මේ පොළවෙ ස්ථාපිත කරන ක්‍රීඩා සංගම්වල තනතුරුවලට ගෙන ඒමනම් සදාචාර සම්පන්න නැහැ.එවිට කාර්යාලීය වශයෙන් සිඳු වෙන පරිපාලනයට යම් කිසි ආකාරයේ පරික්ෂාකිරීමේ බලයක්,විගණන බලයක් තිබේනම් ඒ සියල්ල පාක්ෂික සහ සැක සහිත වීම සාමාන්‍ය පරිදි විය හැකියි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here