අපේ රටේ ජන සංගණයක් වගේ දේව සංගණනයක් කරන්න බැරිද? | Sri News

0
15


අප රටේ ජනගහණය කෝටි දෙකකට මඳක් වැඩි ය.එහෙත්,අප ජන සමාජයේ ඇදහීමට ලක් වන දෙවි දේවතාවුන් ගණන එසේ නිශ්චිතව තබා අනුමාන වශයෙන් වත් කිව හැකිද?අප රටේ ජනතාව අදහන දෙවි වරුන්ගේ ගණන කොපමණ දැයි මම නොයෙක් වර බොහෝ දෙනාගෙන් අසා ඇත්තෙමි. එහෙත්, ඒ සෑම විටෙකම මා හට ලැබී ඇති පොදු පිළිතුරක් තිබේ. එනම් ‘තිස්තුන් කෝටියක්’ යන්න ය.එහෙත්, මේ වන විට අපගේ මුළු සමාජයම පිළිගන්නා ඇතැමුන් උපහාසය පිණිස ද යොදා ගන්නා මේ දෙවිවරුන් තිස්තුන් කෝටියේ කතාව මුළුමනින්ම වැරදි සහගත ය.මෙම “දෙවි වරු තිස්තුන් කෝටිය” අපට අයත් වූවක් නොවේ. භාරතීය දේව විශ්වාසවල දී පැවසෙන ත්‍රායතිම්සත් කෝටි යන්න මෙම තිස්තුන් කෝටියේ කතාවට පාදක වී තිබේ.

සංස්කෘත භාෂාවට අනුව ත්‍රායතිම්සත් යනු තිස් තුන ය. කෝටි යන්නෙහි අරුත දෙකකි. ඉන් පළමු අරුත කෝටිය (Crore) වන අතර එහි දෙවැනි අරුත වනුයේ ‘කොටස’ යන්නය. එහෙත් මෙහි කෝටි යන වදන දෙවන අදහස මුල්කොට පැවසෙන්නක් බව පැරණි දේව පුරාණොක්තිවලට අනුව එම දෙවිවරුන් කොටස් වර්ග කොට ඇති ආකාරයෙන් පැහැදිලි වෙයි. එනම් ආදිත්‍ය දොළසක්, රුද්‍ර එකාළහක්, වායු අටක් සහ අශ්චින් දෙකක් වශයෙනි. නමුත් අප ජන සමාජය සම්බන්ධයෙන් මෙම තිස්තුන් කෝටියේ සේම තිස්තුන් කොටසේ කතාව ද බරපතළ ලෙස නොගැළපෙන බව කිව යුතු ය. ඒ ඉහත සඳහන් තිස්තුන් කොටසේ දෙවිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලාංකේය ජන සමාජය නම් වශයෙන් වත් නොහඳුනන බැවිනි.

ඒ අනුව සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇදහීම්වලට ලක්වන දෙවි දේවතාවුන්ගේ ගණන අනුමාන වශයෙන් හෝ විමසා බැලීමට මම කලෙක සිට කොතෙකුත් උත්සාහ දරා ඇත්තෙමි. බෞද්ධ දර්ශනය කිසිදු දෙවියකු හෝ බ්‍රහ්මයකු කේන්ද්‍ර කොට නොගත් එකකි. එබැවින් එය අදේවවාදී( Atheistic)ශාස්තෘ දේශනාවක් බව විද්වත් පිළිගැනීමකි. නමුත් බෞද්ධ සාහිත්‍යය පිළිබඳ විමසා බලන විට දෙවිවරුන් සිය ගණනකගේ තොරතුරු අපට ලැබේ.නමුදු සහතිකවම කිව හැකි පරිදි බෞද්ධ දර්ශනයේ පැත්ත පළාතක වත් එකම දෙවියකු වත් නැත. මෙහි දී මා බෞද්ධ සාහිත්‍යයේ දෙවිවරුන් දහස් ගණනක් යනුවෙන් සඳහන් කරනුයේ එහි එන ඇතැම් දෙවිවරුන් දහස් ගණන්වල පරිවාර සම්පත්තීන්ගෙන් යුක්ත වූ බව සඳහන් වන බැවිනි.

නමුදු ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ දේව ඇදහීම් සහ බෞද්ධ සාහිත්‍යයේ එන දෙවිවරුන් අතරේ ඍජු සබැඳියාවක් ඇති බවක් නොපෙනෙයි. ඒ බෞද්ධ සාහිත්‍යයේ ප්‍රමුඛතම දෙවියා වන ශක්‍ර දේවේන්ද්‍රයා සහ බුදුන් වහන්සේට රැකවරණ සැලසූ බවට පසුකාලීන බෞද්ධ ලේඛනවල සඳහන් ධෘතරාෂ්ට්‍ර, විරූපක, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ යන දෙවිවරුන්වත් බෞද්ධයන්ගේ පුද පූජාවලට ලක් නොවන බැවිනි. ඒ අනුව ශ්‍රී ලාංකේය ජනතාවගේ වැඳුම් පිදුම්වලට ලක්වන සමස්ත දේව සමූහයා ඉන්දීය ආර්ය, ඉන්දීය අනාර්ය, මහා සම්ප්‍රදායට අයත් දේශීය, චූල සම්ප්‍රදායට අයත් දේශීය, ඉන්දීය නොවන විජාතික ලෙසින් වර්ගීකරණයට ලක් කළ හැක.එමෙන්ම එකම දේවත්වය විවිධ ජන සංකෘතීන් තුළ ඇදහීමේ දී බහු විධ ස්වරූපයක් ගැනීම සේම බහු විධ දේව සංකල්ප විවිධ සමාජ සංස්කෘතික සාධක මත ඒකීය දේවත්වයන් බවට පත් වන බව ද පෙනෙයි.මෙරට ජන සංකෘතිය පිළිබඳ විශිෂ්ඨ හැදෑරීමක් කළ දහ නව වන සිය වසේ අග භාගයේ මෙරටර පැමිණි හෙන්‍ රි පාකර් සූරීන් ගණදෙවි සහ අයියනායක යනු ඒකීය දේවත්වයක් ලෙස හඳුන්වා තිබීම එක් නිදසුනකි.එමෙන්ම දකුණු පලාතේ හික්කඩුව ආශ්‍රිතව අදහනු ලැබූ වේරගොඩ දෙවියන් නම් උපාසක දෙවියෝ අද වන විට මුළුමනින්ම සීනිගම දෙවියන් ගේ දේවත්වය තුළට අවශෝෂ්නය වී සිටිති.
ශ්‍රී ලාංකේය ජනතාව අදහන දෙවිවරුන්ගේ නාම ලේඛන සහිත පොතපත කිහිපයක් නිකුත් වී තිබේ. මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එස්. දන්දෙණිය යන විද්වතුන් විසින් සම්පාදනය කරන ලද “සිංහල දේව පුරාණය” ඒ සම්බන්ධයෙන් මෑතක නිකුත් වූ විශිෂ්ටතම ග්‍රන්ථයකි. එහි මෙරට ජනතාවගෙන් පිදුම් ලබන දෙවි දේවතාවුන් දෙසීය හතළිස් දෙකක් පිළිබඳ විස්තර දැක්වෙයි. ඊට අමතරව මාපොටේ චන්ද්‍රසිරි හිමියන්ගේ ‘සිරිලක දෙවිවරු’, ඊබට් අමරසේනයන්ගේ ‘සිරිලක පුද ලබන දෙවිවරු’ ආදී කෘතීන්වල විවිධ මූලාශ්‍ර අනුව විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු දෙවිවරුන් පිළිබඳ සඳහන් වන අතර ඒ කිසිවකින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට සම්බන්ධ නිශ්චිත දෙවිවරුන් සංඛ්‍යාවක් පිළිබඳව කරුණු දත නොහැකි ය. අප රටේ ප්‍රධාන නොවන බණ්ඩාර නමින් යුතු දේවතා සමූහයක් ද ජනතාවගේ ඇදහීම්වලට ලක් වෙයි. ඒ සම්බන්ධයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන්ගේ නිර්වචනය වනුයේ එම බණ්ඩාර දෙවිවරුන්ගේ නාමාවලියවත් හරිහැටි ගණනය කළ නොහැකි බවකි.ඉතින් සමස්ත දෙවි වරුන් ගැන කුමන කතා ද?

එමෙන්ම ඉහත සඳහන් දේව වර්ගීකරණය ද විෂම හා සංකීර්ණ වන අවස්ථා බොහොමයක් මෙම විෂය සම්බන්ධ විමර්ශනවල දී අනාවරණය කර ගත හැක. නිදසුනක් ලෙස අප රටේ ජන ඇදහීම්වලට ලක් වන දේශීය සම්භවයකින් යුතු දෙවි කෙනෙකුගේ වුව ජනප්‍රියතාව ඉහළ නැංවෙන විට පසුකාලීනව ඒ දෙවියන්ට ව්‍යාජ ඉන්දීය සම්භවයක් ආරෝපණය කිරීම ය. ඒ කල්පිත වෘත්තාන්තයට අනුව එම දෙවියා බොහෝ විට භාරතීය රජ කුමරෙකි. කිනම් හෝ යහපත් නැතහොත් අයහපත් සංසිද්ධියක් මුල්කොට කිසියම් ආශ්චර්යමත් අන්දමකින් තම පිරිවර හා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු මෙහි දී කිසියම් අසිරිමත් අයුරකින් තම බලය ස්ථාපිත කර ගත් අන්දම මනාව විස්තර කෙරේ.

එහෙත්, දැනට සීනිගම ඇදහීමට ලක් වන දෙවොල් දෙවියන් සැබැවින්ම ඉන්දියානු සංක්‍රමණිකයෙකි. ඊට හේතුව එම දේව ඇදහීමට අනන්‍ය වූ දේශීය නොවන සංස්කෘතික ජාලයක් පසුව දේශීයකරණයට ලක්ව තිබීම ය. නමුදු ඒ අතරේ මෙරට ඇතැම් දෙවිවරුන්ට අප ජන සමාජය තුළ අතිරේක ජවයක් පන්නරයක් ලබා දෙනු පිණිස ඔවුන් සම්බන්ධ භාරතීය පුරාණෝක්ති නිර්මාණය කළ අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. නිදසුනක් ලෙස මුළුමනින්ම දේශීය සම්භවයක් සහිත මොරටු දෙවියන් සම්බන්ධයෙන් පවා එවැනි භාරතීය පුරාණෝක්ති නිර්මාණය කොට තිබේ.නමුදු, මුළුමනින්ම දේශීය සම්භවයකින් යුතු සමන්, මින්නේරි ආදී සීමිත දෙවිවරුන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එවැනි භාරතීය පුරාණෝක්ති නිර්මාණය වී නැත. එමෙන්ම අප ජන සමාජයේ අදහනු ලබන දෙවි දේවතාවුන් සංඛ්‍යාව කොතෙක් දැයි නිවැරදිව නිශ්චය කර ගත නොහැක්කේ ප්‍රාදේශීය වශයෙන් අදහනු ලබන දෙවි දේවතාවුන් එසේ සැකසුණු ජාතික නාමාවලීන්ට ඇතුළත්ව නැති බැවිනි.නිදසුනක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, හීනටියන ආශ්‍රිතව දෙවොලක් තනා ජනතාව විසින් පුදනු ලබන ‘උඩවෙල මුත්තා’ සහ ගම්පහ දිස්ත්‍රික්කයේම බඩල්ගම ආශ්‍රිත පැරණි දෙවොලක පිදුම් ලබන ‘පැතිගොඩ ආච්චි’ ආදී දෙවිවරුන් ද තවමත් ශ්‍රී ලාංකේය දේව නාමාවලිවලට ඇතුළත්ව නැත.එමෙන්ම හලාවත මාදම්පේ ප්‍රදේශයේ ඇදහීම් වලට ලක් වන තනියවල්ලභ දේව විශ්වාසය(අශ්වයා දේවාලය) පිළිබඳ මනා හැදෑරීමක් සේම ඒ ප්‍රදේශයේ ජන විෂය පිළිබඳව ගවේෂණය කළ විශ්‍රාමික ගුරු භවතකු වූ රෝහණ මද්දුම රාළ සූරීන් කියා සිටියේ තනියවල්ලභ දේව විශ්වාසය පවතින මාදම්පා පටුන සීමාවෙන් පිටත තවත් පැරණි වෘක්ෂයන් කේන්ද්‍රගත වූ ප්‍රාදේශීය දේව විශ්වාස රැසක ශේෂයන් පවතින බවත් ඒවා පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීමට අවශ්‍ය මූලාශ නොමැති බවකි. ඉනුදු පෙනී යන්නේ ජන විශ්වාස මත පදනම් වන මෙම දේව ඇදහිලි මුල්කොට මෙරට ජන සංගණනයක් පැවැත්වීමට ඇති පහසුව දේව සංගණනයක් පැවැත්වීමට නොමැති බවකි.

තිලක් සේනාසිංහ

 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here