අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල

0
9




කාලය වර්ෂ 2000 හෝ ඒ ආසන්න වසරක් විය යුතු ය. පුවත් පත් කර්තෘ ජානක ලියනආරච්චි විසින් ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන්ගේ දැනුම සංග්‍රහ කරමින් එවකට ජනප්‍රිය සති අන්ත පුවත්පතක් වූ ඉරිදා දිවයින සංග්‍රහයට සපයන ලද ලිපි කීපයක් මාලාවක් වශයෙන් පළ විය. ඒ වන තෙක් වෙනත් විෂය පරාසයන් වෙත ආකර්ශනය වී සිටි මා පුරාවිද්‍යාව වෙත ආශක්ත කිරීමට මෙම ලිපි පෙළ හේතු වූ වූවාට සැක නැත. තවත් අතකට මා පුරාවිද්‍යා විෂය හැදෑරීම සඳහා යොමුකිරීමට ආසන්න වශයෙන් හේතුභූත වූ ප්‍රස්තුත ධාරණා ද්වයෙන් එකකි ඒ. පුරාවිද්‍යාව වනාහි ගල්කණු, ගඩොළු හා වෙනත් පෞරාණික සම්භාව්‍ය දෑ පිළිබඳ ව හදාරණ විෂයක් බව සිතා සිටි මා හට එකී කරුණු සහේතුක ව වෙනස් කර ගැනීමට අවශ්‍යය ජීවය සැපයු එක් ධාරණාවක් වූයේ නවීන පුරාවිද්‍යා දැක්මකින් සන්නද්ධව ඉදිරිපත් වූ එකී ලිපි මාලාවයි. ආචාර්ය සිරාන් දැරණියගලයන් ශාස්ත්‍රීය ලෝකය තුළ දී මා සම්මුඛ වූ නැතිනම් අත්දුටු ආසන්න අවස්ථාව මෙම ලිපි පෙළයි.

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල
මා හා ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ – ඡායාරුපය ජයන්ත ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලය

එයින් ඉක්බිති, මා විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙකු වශයෙන් පුරාවිද්‍යා විෂය හදාරණ සමයේ දී එතුමාණන් ගේ දැනුමේ පහස ලැබූ ලේඛන පරිශීලනය කිරීමට අවස්ථාව උදා විය. ව්‍යවහාර වසරින් 2006න් අනතුරු ව, නොයෙක් අවස්ථාවන්හි දී එ තුමා දැක බලාගැනීමත්, නේක ශීර්ෂ ඔස්සේ විවිධ ස්ථානවල දී සිදුකළ දේශන ආදියට සවන් දීමටත්, අවස්ථාව උදා වුවත් ආචාර්ය සිරාන් දැරණියගලයන් සමීප වශයෙන් ඇසුරු කිරීමට අවස්ථාව උදා වූයේ 2013 වසරෙන් පසුව විය යුතු ය. එම සමීප ඇසුරු ලැබීමට පූර්වයේ සිට විවිධ ලේඛන හරහාත්, එතුමන්ගේ ඍජු සිසුන් වශයෙන් හැඳිනිය හැකි ආචාර්ය එච්. නිමල් පෙරේරා හා ප්‍රවීන කැනීම් ශිල්පී ඇල්ෆ්‍රඩ් ඩි. මැල් වැනි මහත්වරුන් හරහා එතුමා සතු දැනුමේ විවිධ පැති ස්පර්ශ කිරීමට මට අවස්ථාව උදා වී පැවතිනි. 2013 වසරින් පසු ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් ආචාර්ය දැරණියගලයන්ගේ අධික්‍ෂණය සහිතව ඔහු සමීපයේ කටයුතු කිරීමට ලැබීම හේතුවෙන් එතුමාගේ සතු විශිෂ්ට ඥානයත්, පිරිසිද ගත් දැනුමත් සමීප වශයෙන් අද්දැකීමට අවස්ථාව උදා විය. දීර්ඝ කාල පරාසයන් තුළ අතී සමීප ආකාරයෙන් ඇදී ගිය මේ සාකච්ඡා තුළ දී ශාස්ත්‍රීය ලේඛන තුළින් තමා කිසි දා විෂධ කිරීමට අපේක්‍ෂා නොකළ විවිධ විෂයීය දැනුම අප වෙත මුදා හැරුනේ නිස්සරණාධ්‍යාශයෙනි. අප විසින් මේ දක්වා උපයා ගෙන ඇති දැනුම කෙතරම් පටු පරාසයක දිවෙන්නක් ද යන්නත්, විශ්වවිද්‍යාලයීය ප්‍රජාව නියෝජනය කරන අප විසින් අත් කරගත යුතු ශාස්ත්‍රාලීය පරිචය කෙතරම් ගැඹුරු, පුළුල් හා දුරුතර වූවක් ද යන්නත් නැවත නැවතත් පසක් කිරීමට සමත් විය.

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල
ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල හා ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් – ඡායාරුපය ජයන්ත ශ්‍රි ලංකාවේ රජරට ව්ශ්වවිද්‍යාලය

යටත්විජිතවාදි සමයේ මෙරට වාසය කළ ප්‍රභූ පරම්පරා ද්විත්වයක එකතුවකින් නිර්මාණය වූ ආචාර්ය සිරාන් දැරණියගල විද්වතුන් ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය පරපුරක උත්පාදනයක් ද වූ බව කවුරුත් දන්නා දෙයකි. මෙරට, අපරදිග මෙන් ම පෙරදිග කලාපීය රටවල ප්‍රමුඛ පෙලේ විද්වතුන් ඇසුරේ හැදී වැඩුණු ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගලයන් සෑම අතින් ම පරිපූර්ණ විද්වතෙකු යැයි කිවහැකි ප්‍රාඥයෙකු පමණක් නොව ස්ව ධර්මය මත පිහිටියා වූ ද අනන්‍ය වූ ද දර්ශනයකට හිමිකම් කියන්නෙක් ද වෙයි. මෙරට ප්‍රාග් ඉතිහාසය මෙන් ම පූර්ව ඉතිහාසය ලෝක මට්ටමට ඔසවා විවරණය කළ මෙම ශාස්ත්‍රවන්තයා භාරතීය මහා සංස්කෘතිය පරයා, ලක්දිව සම්ප්‍රදාය විශ්වීය මට්ටමින් ඔසවා තැබීමට සමත් වූ බව මාගේ හඳුනා ගැනීමයි. විද්වතුන් යැයි සැලැකෙන බොහෝ අය තම ඊනියා විද්වත්බව හා ඊනියා පණ්ඩිතමාණි බව ප්‍රකාශ කිරීමට උත්සාහ දරනුයේ පවත්නා, ස්ථාපිත සමාජ අභිමතාර්ථයන් හා සම්මතයන් කඩා විසුරුවා දැරීමට දරන භ්‍රෂ්ට උත්සාහයන් තුළිනි. නිශ්චිත හා ප්‍රමාණවත් හේතු සාධකයන්ගෙන් තොරව මෙකී දෑ සිදුකිරීමට උත්සාහ දැරීමෙන් ඇති විහිළු සහගත බව අනාවරණය වේ. ආචාර්ය සිරාන් දැරණියගලයන් තම විධිමත් හා විශිෂ්ට පර්යේෂණ තුළින් මෙරට මහා ජන සම්ප්‍රදාය වූ මහාවංස සම්ප්‍රදායත් එහි යථාවත් බවටත් දක්වා ඇති සප්‍රමාණාත්මක හා ධනාත්මක ධාරණා ඔහු විසින් මෙරට ජාතිකවාදි ශාස්ත්‍රාලීය සම්ප්‍රදාය වෙත ලබා දී ඇති අවංක හා නිර්භය ප්‍රකාශනය පිළිබඳ හොඳම උදාහරණය වශයෙන් සැලකීමට මා කිසි විටෙක පසුබට නොවෙමි.

1977 සමාජ ආර්ථික විවෘතභාවයෙන් පසු උපන් පරපුර නියෝජනය කරන අප, පෙරදිග සම්ප්‍රදාය විසින් බිහිකළ හා ද්විභාෂික මහා ප්‍රාඥයන් මහා විද්වතුන් පිළිබඳ ව ශ්‍රැති මාත්‍රයෙන් පමණක් දත්, එවැන්නන් ඇසුරු කිරීමේ අවස්ථාව අවම වූ පරපුරක් බව බොහෝ දෙනාගේ ඇදහීමයි. මෙවන් වටපිටාවක වුවත් විශිෂ්ට විද්වතුන් යැයි ගිණිය හැකි කිහිප දෙනෙකු ඇසුරු කිරීමේ දුර්ලභ වාසනාව හිමි වූවෙක් බව, මා සිහිපත් කරනුයේ නිහතමානි සතුටකිනි. එ වැනි විද්වතුන් අතරිනුදු ජාතිකවාදි දෘෂ්ටියකින් හෙඹි අතළොස්ස අතරට අයත් වන විශිෂ්ට විද්වතෙක් වශයෙන් ආචාර්ය සිරාන් දැරණියගලයන් ප්‍රමුඛ වන බව මාගේ අවබෝධයයි. අතීතය පිළිබඳ පිරිසිඳගත් දැනුමත්, අනාගතය පිළිබඳ ඉමහත් අපේක්‍ෂාවත් පිළිබඳ අවබෝධයෙන් යුක්ත වුවත්, කිසිදු උත්කර්ශයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව වර්තමායේ පය ගසා ජීවත් වීමට සමතෙකු වීම එතුමාගේ පෞද්ගලික දිවියේ මා දත් විශිෂ්ට ම ලක්‍ෂණයකි. මා දැන සිටි හා සිටින මිනිසුන් දහස් ගණනාවක් අතරේ එවන් ලක්‍ෂණ සහිත තැනැත්තන් ඇත්තේ අල්ප ප්‍රමාණයකි.

පෙරදිග සම්ප්‍රදායත්, අපරදිග ශික්‍ෂණයත් මැනවින් අත්කරගත් මෙතුමාගේ ඤාණ දර්ශනයේ සංස්පර්ශය ජාතියක් වශයෙන් අප කෙතෙක් ලබාගෙන තිබේ ද යන්න පසු කාලීන හා තත් කාලීන විද්වතුන් විසින් නැවත සිතා බැලිය යුත්තකි. හුදු හිතලු ඉවත ලා, එවන් බුද්ධි ස්කන්ධයක සංස්පර්ශය නොලබා අලුත් අලුත් දෑ තනනා ජාතියක් වශයෙන් පුනරුත්තානය ලබන්නේ කෙසේ ද යන්න මේ අවස්ථාවේ දී අප විසින් බරපතල ලෙස නැවත නැවතත් සිතා බැලිය යුතු ය.

අප ජීවිත කාලය තුළ මාගේ චින්තයට කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කිරීමට සමත් වූ මිනිසුන් නොහොත් ගුරුවරුන් මා හට හමූ වී ඇත්තේ අල්ප වශයෙනි. ආචාර්ය සිරාන් දැරණියගලයන් කෙසේ පිළිගත්ත ද, මා කෙරෙහි බලපැවැත් වූ විශිෂ්ඨ ගුරුවරයෙකු වශයෙන් එ තුමා හඳුනාගැනීම කෙරෙහි මා සන්ථානයේ ඇත්තේ බෙහෙවින් පෙළඹී ගිය අපේක්‍ෂාවකි. අප අත්දුටු, අප කාලයේ මහා විද්වතෙක් මෙන් ම නිහඬ ප්‍රාඥයෙකු වූ ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල විද්වතාණෙනි, ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගි සුවයත් චිර කාලින ජීවනයත් පතමි.

(2021.10.05 වැනි අද දින ඔබ තුමාණන්ට එසේ පැතිය නොහැකිය. එබැවින් මෙසේ කියමි. ඔබ තුමා පැතූ අයුරින්ම අවසන් පැතුම් ඉටුවේවා. එහෙත් මාගේ පැතුම ඔබතුමා නිවන් සුව ලැබේවා යන්නයි.)

චන්දිම බණ්ඩාර අඹන්වල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
2018.02.25 වැනි දින දී ය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here