අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21

0
13


එදා අපේ ආච්චි දෑස් පියාගෙන ගොඩාක් වෙලා භාවනාවෙන් උන්නා. එතකොට ආච්චිගේ මුහුණේ සතුට පිරීගිය අමුතුම සිනාවක් දකින්ට ලැබුනා. භාවනාව අවසන් කළාට පස්සේ ආච්චි දොහොත් මුදුන් දී බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මාත් ආච්චි ළඟට ගොහිං පැත්තකින් වාඩි උනා.

“ආච්චියේ… මේ…”

“ඇයි මයෙ පුතේ…?”

“මොකක්ද ආච්චියේ ඔයා අද කළ භාවනාව?”

“මයෙ පුතා දන්නවා නොවැ. අපගේ ශාස්තෘන් වහන්සේට ප්‍රධාන වශයෙන් බුදුගුණ නවයක් තිබුනා කියලා. මං ඒ උතුම් බුදුගුණ නවය ම එකක් ගානේ මෙනෙහි කොළා. හප්පා… හරී පුදුමයි පුතේ… ඒ බුදුගුණ සිතන්ට සිතන්ට පුදුමාකාර සන්තෝෂයක් නොවැ සිතට එන්නේ. අනේ පුතේ…. අපට මෙවන් කාලෙකත් රාග, ද්වේෂ, මෝහ නැති උතුම් සම්බුදුරජාණන් වන්සේ නමක් සරණ යන්ට ලැබුනා නොවැ කියලා. මං පුතේ මහමෙව්නාවට පිං දෙන්නේ ඒ නිසා ම යි. ඉස්සර මාත් මහා මුළාවක නොවැ උන්නෙ පුතේ. මහමෙව්නාවෙන් නිවැරදිව මේ දහම් දැනුම නොලැබුනා නං මාත් විනාසයි.”

“ඇයි ආච්චියේ එහෙම වෙන්නේ…?”

“ඇයි පුතේ… මාත් ඒ කාලේ භාවනා පංති ගියා. අභිධර්ම පංති ගියා. ඤාණ කටපාඩම් කොළා. නමුත් මේ සූත්තර දේශනා අපට දැනගන්ට පිළිවෙළක් තිබ්බෙ නෑ නොවැ. ඒ නිසා රතනත්තරේ ගැන අවබෝධයෙන් සිත පහදවා ගන්ට පිළිවෙළක් තිබුනේ නැතෙයි කියන්ට පුළුවනි.”

“ඇයි ආච්චිට භාවනා පංතිවලින් වැඩක් උනේ නැද්ද?”

“ඒක මෙහෙමනෙ පුතේ. මගේ හිත ඉක්මනට තැන්පත් වෙනවා. ඒ කාලේ අපට භාවනා ගුරුවරු කියාදුන්නේ මාර්ග-ඵල, ධ්‍යාන අධිෂ්ඨාන කොරලා ගන්ට කියාලා. ඉතින් පුතේ අපිත් අධිෂ්ඨාන කොර කොර භාවනා කොළා. මායාකාරී සිතත් ඉල්ලන ඉල්ලන දේ එයැයිට ඇහැක් විදිහට මව මවා දුන්නා.”

“ඉතින් ආච්චියේ ඒ කාලෙ ආච්චිට දහම් දැනුම ලැබුනේ ම නැද්ද..?”

“ලැබිච්චි දේ පැහැදිලි නෑ මයෙ පුතේ. දැන් අපි ඉගෙන ගන්න චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය ගැන ඒ කාලේ පිළිවෙළට දැනගත්තු නැති ගානයි. ඒ කාලේ අපටත් ඕනෑ කොළේ ඒ ඒ ඤාණ උපදවා ගන්ට මිසක්කා ගුණධර්ම ඇති කොරගන්ට නොවේ. මාත් හිතාන උන්නේ මගඵල ලැබුනාය කියාලා. කලක් යනකොටයි පුතේ මට තේරුනේ මං ඉන්නේ උන්නු තැන ම යි කියාලා. සිතේ මායාවට රැවටුනා විතරයි. වෙන මොකවත් උනේ නෑ පුතේ.”

“එතකොට ආච්චියේ, දැන් කාලේ තව අලුත් දෙයක් මට අහන්ට ලැබුනා. බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වදාළේ නෑලු. ඒ කතාව වැරදිලු. ඒ අනිච්ච කියන්නේ ස්ථිර නෑ කියන එක නිසා ස්ථිර නැති බව අපි කොහොමත් දන්නවාලු. ඒ නිසා අනිච්ච නොවේලු. හරි වචනේ අනිච්ඡ ලු. කැමැත්තට අනුව නොපවතිනවාලු. එනිසාලු දුක හටගන්නේ.”

“ඉතින් පුතේ, යමක් කැමැත්තට අනුව නොපවතින්නේ ඒක අනිත්‍ය වෙන නිසා නොවේද? ඒක අස්ථිර නිසා නොවේද? අනිත්‍යයි කියන්නේ ඒකට නේ. පුතේ, අපේ බුදුරජාණන් වහන්සේ ඔය ත්‍රිලක්ෂණය ගැන මෙහෙම නොවැ වදාළේ.

“යමක් අනිත්‍ය නම් එය දුකයි. යමක් දුක නං එය තමාගේ වසඟයේ පවත්වන්ට බෑ. අනාත්ම යි” කියලා. ඉතින් පුතේ බුද්ධ වචනය කණපිට හරවන්ට ලෝකයේ කාටවත් බෑ.

කවුරුහරි එහෙම දෙයක් කියාගෙන ගියොත් මාරාවේශයෙන් මුළා වෙලයි එහෙම කියන්නේ. ඔය වැරැද්ද වෙන්නේ පාලි වචනවල හැඩය අනුව කල්පනා කොරන්ට ගොහිං. අර්ථ ව්‍යඤ්ජන වරදවා ගන්නවා කියන්නේ ඕකට යි. අයෝනිසෝ මනසිකාරයෙන් තර්ක විතර්ක කොරන්ට ගියාම මාර බලයට අහුවෙනවා. ඕවා කියන අය හරීම මාන්නක්කාරයි පුතේ. පටිසම්භිදා ලැබුවා කියලා තවත් මුළාවෙනවා. ආයෙ කාටවත් අඩංගු නෑ. හැබැයි මාරයාට නම් අඩංගුයි. බුද්ධ සෑසනේ සුළඟවත් වැදිලා නෑ මයෙ පුතේ.”

“අනේ ආච්චි තවත් තියෙනවා. ආච්චියේ… මේ… අපි මෙතෙක් කලක් ඉගෙන ගත්තේ පටිච්ච සමුප්පාදය කියලා නේ. ඒ වැරදීමක් ලු. හරි එක පටි-හි-ච්ඡ-සමුප්පාදය ලු. පටි කියන්නේ ඉනේ බඳින පටියට ලු. පටියට හිරවුනා වගේ කියලලු කියන්නේ. එහෙම නැතිව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ කියන එක නොවේලු.”

මං ඒක කියපු ගමන් ආච්චි කොක්හඬ තලා හිනැහුනා. ‘හෑ… මොකාක්… හොහ්… හෝ… අනේ පුතේ. එයාලාගේ කල්පනාව ඔය තරම්ම අවුල්වෙලා ද? අනේ මයෙ පුතේ… මේ අහගන්ට…. පටිච්ච සමුප්පාදය කියන්නේ සිංහල වචනයක් නොවේ. පාළි වචනයක්. පාළියෙන් ‘පටිච්ච’ කියන්නේ ‘නිසා, උපකාරයෙන්, හේතුකොටගෙන, ඇසුරින්’ යන අරුතට යි. ‘සමුප්පාද’ කියන්නේ ‘උපදිනවා, හටගන්නවා, ඇතිවෙනවා’ කියන අරුතටයි. එතකොට පුතේ පටිච්ච සමුප්පාද කියන්නේ ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගන්නවා’ කියන එකට යි.”

“ඒ වගේම ආච්චි එයාලා කියනවා සංග වෙනවා, සං වෙනවා, සං කරනවා, සං බණ කියලා සං… සං… කියලා ගොඩාක් කියාගෙන යනවා.”

එතකොට ආච්චි ආයෙමත් කොක්හඬ තලා හිනැහුනා. “අනේ පුතේ… මං මහමෙව්නාව පැත්ත හැරිලා ආයෙ වතාවක් මේං වැන්දා. මහමෙව්නාවෙන් නිර්මල දහම් දැනුම නොලැබෙන්ට මාත් අද ඔය ගොඬේ හිටින්ට බැරි නෑ… හැබෑට පුතේ දැන් පේනවා නේ මාරාවේශයේ බරපතලකොම. දවසක් පුතේ භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ ඔය මාර බන්ධනය වේපචිත්ති බන්ධනයටත් වඩා සියුම් කියලයි.”

“අනේ ඒ මොකක්ද ආච්චියේ වේපචිත්ති බන්ධනේ?”

“පුතේ, ඒක මෙහෙමයි උනේ. ඕන්න දේව අසුර යුද්ධයක් හටගත්තා. එතකොට පුතේ අපගේ සක්දෙවිඳාණෝ තව්තිසාවේ දෙව් පිරිස රැස්කොට මෙහෙම කීවා.

“පින්වත් දෙවිවරුනි, දැන් අපට දේව අසුර යුද්ධයකට මුහුණ දෙන්ට වෙලා තියෙනවා. ඔයාල මේ යුද්ධයේදි කොහොමහරි වේපචිත්ති අසුර රජ්ජුරුවන්ව අල්ලා ගන්ට ඕනෑ. අල්ලාගෙන එයැයිගේ දෑත් දෙකයි, පාද දෙකයි, බෙල්ලයි ගැටගසා මයෙ ළඟට කුදලාගෙන ගෙනෙන්ට ඕනෑ” කියලා.

එතකොට පුතේ වේපචිත්ති අසුර රජ්ජුරුවොත් අසුර සේනා රැස්කොරලා හිටං ඕක ම කීවා. එයැයි කීවේ සක්දෙවිඳුගේ දෑතයි, දෙපයයි, බෙල්ලයි අසුර බැම්මෙන් ගැටගසාගෙන අසුරපුරයට ගේන්ට කියලයි.

ඔන්න පුතේ, දැන් ඉතින් දේව අසුර යුද්ධෙ පටන් ගත්තා. එවර යුද්ධයේදී අසුරයෝ පැරදුනා. දෙවියෝ දින්නා. ඊට පස්සෙ පුතේ දෙවිවරු අසුර රජාගේ, ඒ කීවේ වේපචිත්තිගේ අත් දෙකයි, පා දෙකයි, බෙල්ලයි කියන මේ පස්තැනින් බැඳලා තව්තිසාවට ගෙනාවා. ගෙනැවිත් සුධර්මා කියන ශාලාවේ රන්පොළොවේ බිම දෑවා. ඔය විදිහට පස් තැනකින් බැඳුම් ලැබූ වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ බන්ධනය පිටතට පේන්නේ නෑ. එයැයි ගැටගසා ඇති බවක් පිටින් දැකගන්ට නෑ. නමුත් පුතේ එයැයි ගැටගැහිලා ඉන්නේ. ඒ මෙහෙමයි. එයැයි මෙහෙම හිතනවා.

‘දෙවියෝ හොඳා. එයාලා ධාර්මිකයි. දෙව්පුරේ යහපත්. සැපයි’ කියලා. එහෙම සිතූ සැණින් වේපචිත්තිගේ බන්ධනය නොපෙනී යනවා. එතකොට එයැයිට සුධර්මා සභාවේ සුවසේ එහා මෙහා ඇවිද යන්ට පුළුවනි. දිව්‍ය ආහාරපානත් ලැබෙනවා. ඒවා අනුභව කරන්ටත් පුළුවනි.

එතකොට පුතේ, එයැයිට හිතෙන්නේ දැන් තමුන් නිදහස් වුනා ය කියලා. එතකොට එයැයි මෙහෙම හිතනවා. ‘නෑ… දෙවියෝ හොඳ නෑ. අසුරයෝ තමා හොඳ. අසුරයෝ තමයි ධාර්මික. දෙවියෝ ධාර්මික නෑ. අසුරපුරේ ඉන්න එක මට සැපයි. මං දැන් එහෙනං අසුරපුරේට යනවා’ කියා සිතූ සැණින් වේපචිත්තිගේ නිදහස නැතිවෙලා හිට අත් දෙකයි දෙපයයි බෙල්ලයි කියන පස් තැනින් සිරවෙනවා. දිව්‍ය ආහාරපාන නොපෙනී යනවා.

ඉතින් පුතේ, මේ කතාව වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පහදා දුන්නේ මාරයාගේ බන්ධනය ඔයිටත් වඩා ගොඩාක් සියුම් කියලයි. මේ කාලේ රහත් උනා ය, මගඵල ලැබුවා ය, ධ්‍යාන සමාපත්ති ඉපදුවා ය, බුදුරජාණන් වහන්සේ මෙහේ උපන්නා ය, මෙහෙ බුදු උනා ය, මෙහෙ දම්සක් දෙසුවා ය, මෙහෙ පිරිනිවන් පෑවා ය, අනිත්‍ය දුක්ඛ අනාත්මය වැරදි ය, පටිච්ච සමුප්පාදය වැරදි ය කියන කාටත් වෙලා තියෙන්නේ දෑසට නොපෙනෙන වේපචිත්ති බන්ධනයට අහුවුනා වගේ වැඩක් පුතේ.

හප්පේ… ඔය පුහු මාන්නක්කාරකොමක් නැතිව, තිසරණයේ සිත පිහිටුවාගෙන භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදාගෙන සිටියාම අපට ඇති පුතේ. එයින් අපි රැකෙනවා මයෙ පුතේ.

එහෙම නොවුනොත් සැඟවුනු අරුත් මතුවුනා ය, හැබෑම දහම හමුවුනා ය, අපි සෙවූ මගඵල හමුවුනා ය කිය කියා අනුන්ටත් ගරහාගෙන, කෙළෙහිගුණත් නසාගෙන, පිනත් නසාගෙන අපායට යන ගමනට ම එක්වේවි පුතේ. ඉන් එහා දෙයක් නෑ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 21 appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here