අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24

0
13


වෙසක් පෝයට අපිට හරි සතුටුයි. අපේ ආච්චිත් වට්ටියකට ලාස්සනට පිච්චමල් සකසමින් හිටියා. මාත් හෙමිහිට ආච්චි ළඟට ගොහින් පිච්චමල් සැරසිල්ල කරන්ට එකතු වුනා.

“ආච්චියේ…. දැන් ඔන්න වෙසක් ආවානේ. ඇයි ආච්චි වෙසක් කියලා කියන්නේ? ඒ කියන්නේ වෙනසක්, වෙසක්, අලුත් දෙයක් කියන එක ද ඒ වෙසක් කියන වචනයේ තේරුම?”

එතකොට ආච්චි මං දිහා දෑස් ලොකු කොට බැලුවා. පුදුමයෙන් වගේ දත් නැති කට විදහාගෙන හිනැහුනා. “හෑ…. මයෙ පුතේ…. කවුද ඔයාට ඔය විදිහේ වැරදි අර්ථ කියාදුන්නේ? මයෙ පුතේ, අපේ සිංහල භාෂාවේ අමුතු වේෂයකටත් වෙසක් කියනවා තමයි. නමුත් මෙතනදි වෙසක් කියලා කියන්නේ වෙනසක් කියන අර්ථයෙන් නෙවෙයි පුතේ. ඒ මේ පෝය දවසේ නමයි. පුතේ…. මේ පෝයට පාළි භාෂාවෙන් කියන්නේ ‘වේසාඛ’ කියලා. සංස්කෘත භාෂාවෙන් කියන්නේ ‘වෛශාඛ’ කියලා. සිංහලෙන් කියන්නේ වෙසක් කියලා. ඒක මේ පෝයේ නම මිසක්කා වෙනසක්, අමුතු දෙයක් වැනි අරුතක් මෙතන නෑ පුතේ.”

“එතකොට ආච්චියේ, මිනිස්සු වෙසක් කාලෙට වෙසක් මූණු දාගන්නවා. ඔලුබක්කෝ නටනවා. ඇයි ආච්චියේ එහෙම කරන්නේ? වෙසක් කියන වචනේ එයාලා පටලවාගෙන නේද?”

“ඔව් පුතේ…. හොඳටෝම පටලවාගෙන. මෙවැනි උත්තම වූ වෙසක් පෝයට වෙස්මූණු පැළඳගැනීම මහා බරපතල වරදක් පුතේ. ඒ වගේම ඒක වෙසක් පෝයට කරන නිගරුවක්! ඔලුබක්කෝ නැටීම කියන්නෙත් මහා බරපතල අකුසලයක්. ඔය මිනිස්සු වෙසක් පෝයට නින්දා කරනවා. මේ පෝයේ ඇති උතුම්කම එයාලා දන්නෑ නොවැ.”

“ඉතින් ආච්චියේ… වෙසක් පෝය අපට මේ තරම් උතුම් වූයේ ඇයි?”

“හප්පේ…. මයෙ පුතේ…. වෙසක් පෝය තමයි අපේ සිංහල ජාතියට වාසනාව කැන්දන් ආපු පෝය. ඇයි පුතේ, වෙසක් පෝය දවසේ නොවැ අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ මනුලොව උපන්නේ. වෙසක් පෝයක ම නොවැ බුදුවුනේ. වෙසක් පෝයක ම නොවැ පිරිනිවන් පෑවේ. ඒ විතරක් යැ පුතේ, වෙසක් පෝය දවසේ තමයි අපේ සිංහල ජාතියේ ආදි පුරුෂයා වන විජය රජ්ජුරුවෝ මේ දිවයිනට ගොඩබැස්සේ. ඒ විතරක් යැ පුතේ, වෙසක් පොහෝ දවසක ම තමා අනුරාධපුරේ උඩ මළුවේ ශ්‍රී මහා බෝධිය රෝපණය කළේ. වෙසක් පොහෝ දවසක ම යි රුවන්වැලි මහා දාගැබේ ධාතු නිධන් කෙරුවේ. ඒ වගේම පුතේ, අතීතයේ හිටිය සිංහල රජදරුවෝ ඔටුණු පැළැන්දෙත් වෙසක් පෝයේ ම තමා.

ඉතින් පුතේ, අපේ සිංහල ජාතියේත් ලංකාවේ පිහිටි බුදු සසුනේත් උතුම් අවස්ථා සෑම එකක් ම පාහේ සිදුවුනේ වෙසක් පෝයේ නොවැ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපෙට වැඩම කොළේ පොසොන් පොහොය දවසේ නොවැ. ඒ නිසා සිංහල අපට නම් පොසොන් පෝයත් වෙසක් වගේම වටිනවා.”

“එතකොට ආච්චියේ, අපේ පන්තියේ යාලුවෙක් කීවා බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ නොවේලු. ලංකාවෙලු. ඒක ඇත්ත ද ආච්චියේ?”

එතකොට ආයෙමත් ආච්චි දෑස් ලොකු කරලා මං දිහා බැලුවා. ආච්චිට ටිකාක් කේන්ති ගියාවත් ද. “අනේ මයෙ පුතේ…. ආයෙ නම් ඔවැනි පව්කාර කතාවලට මොහොතකටවත් සවන් දෙන්ට එපා. ඕවා ඔයාලගේ හිතේ උපදවගන්ට තියෙන පිනටත් හානි කරන මහා භයානක අදහස්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ හෑම දෙයක් ම සිදුවුනේ ඉන්දියාවේ නොවැ පුතේ.”

“අනේ ආච්චියේ, ඒ මොනාද ආච්චි ඉන්දියාවේ සිදුවෙච්ච දේ?”

“ඒක වුනේ මෙහෙමයි පුතේ. ඕං…. අපේ මහා බෝධිසත්වයෝ පාරමී ධර්මයන් සම්පූර්ණ කොරලා හිටං තුසිත දෙව්ලොව උපන්නා නොවැ. උන්නාන්සේ තමා තුසිතයේ හිටපු රජ්ජුරුවෝ. සන්තුසිත දිව්‍යරාජයා. ඉතින් දවසක් දසදහසක් සක්වල දෙවියෝ ඇවිදින් මේ සන්තුසිත දිව්‍යරාජයාට ආරාධනා කොළා මනුලොව වැඩලා බුදුවෙන්ට කියලා.

ඉතින් පුතේ…. උන්නාන්සේ ආරාධනාව භාරගත්තා. ඊට පස්සේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව් කියන මේ පස්මහබැලුම් බැලුවා.

ඒකෙදි පුතේ, උන්නාන්සේ ඉස්සෙල්ලාම බැලුවේ කාලයයි. ඒ කිව්වේ ගුණයෙන් නුවණින් මෝරාගිය දෙවිමිනිසුන් ඉන්නවාද කියලයි. බැලින්නම් හරි නොවැ. සංසාරේ බෝධිසත්වයෝ එක්ක පෙරුම් පුරාගෙන ආපු බොහෝ උදවියගේ ගුණනුවණ හොඳට මෝරාපු කාලය ඇවිල්ලා. එතකොට ඒක හරි.

ඊළඟට පුතේ, උන්නාන්සේ බැලුවේ උපදින්නේ කොයි ද්වීපයේ ද කියලයි. උන්නාන්සේගේ දිවැස් නුවණට පෙනී ගියේ අපේ රට නොවේ. ජම්බුද්වීපය යි. ඒ කියන්නේ ඉන්දියාව. ඒ කාලේ පුතේ අපේ රටට ලංකාදීපය කිව්වා. එදත් අදත් අපේ රට අයිති වෙන්නේ ප්‍රත්‍යන්ත දේශයට යි. ඉතින් ඕං ඉන්දියාව තමයි බුදුවරු උපදින ද්වීපය කියලා දැනගත්තා.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ බැලුවා ඒ ජම්බුද්වීපයේ බුදුවරු උපදින දේශය, ඒ කියන්නේ පුතේ ප්‍රදේශය යි. ඕං දැක්කා මධ්‍ය දේශය.”

“මධ්‍ය දේශය කියන්නේ මොකක්ද ආච්චියේ?”

“පුතේ…. මධ්‍ය දේශයේ තමා සියලු බුදුවරු පහළ වෙන්නේ. පසේබුදුවරු පහළ වෙන්නේ. මහා ශ්‍රාවකයෝ පහළ වෙන්නේ. ඉතින් පුතේ, අපේ භාග්‍යවතුන් වහන්සේ ම යි ඒ මධ්‍ය දේශය අසවල් තැන ය කියා පෙන්නා දුන්නේ.

ඒ කියන්නේ පුතේ මෙහෙමයි. බුද්ධගයා මහබෝමැඬ පිහිටි වජිරාසන භූමිය තියෙනවා නොවැ. එතනින් නැගෙනහිරට කජංගලා නමින් නියම්ගමක් තියෙනවා. මහබෝධියෙන් ගිනිකොණට සලලවතී නමින් ගංගාවක් තියෙනවා. මහබෝධියෙන් දකුණට ශ්වේතකර්ණිකා නමින් නියම්ගමක් තියෙනවා. මහබෝධියෙන් බටහිරට ථූන නමින් බ්‍රාහ්මණ ගමකුත් තියෙනවා. මහබෝධියෙන් උතුරට උශීරද්ධ්වජ කියා පර්වතයකුත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඕං ඔය ගම් නියම්ගම්වලින් වටවී ඇති ප්‍රදේශයට මධ්‍ය දේශය කියනවා කියලයි.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ බැලුවේ බුදුවරු උපදින්නේ කොයි කුලේ ද කියලයි. සාමාන්‍යයෙන් බුදුකෙනෙක් උපදින්නේ කුල දෙකකින් එකකයි. එක්කෝ බ්‍රාහ්මණ කුලේ. නැත්නම් ක්ෂත්‍රිය කුලේ. ඉතින් මෙවර අපේ භාග්‍යවතුන් වහන්සේට උරුම වුනේ ක්ෂත්‍රිය කුලේ උපදින්ටයි.

ඊට පස්සේ පුතේ බැලුවේ බුදුකෙනෙක් පිළිසිඳ ගන්නා මව්කුස ඇති මෑණියෝ ඉන්නවාද කියලයි. ඒකත් හරි. බෝධිසත්වයෝ මව්කුස පිළිසිඳ ගත්තාට පස්සේ දස මාසයකුත් සතියකට ආයුෂ තියෙන්ටත් ඕනෑ. ආං ඒ බුද්ධමාතාව කපිලවස්තුපුර ඉන්නවා දැක්කා.

ඉතින් පුතේ ඔන්න ඔය විදිහට පස්මහබැලුම් බලාලයි අපේ බෝධිසත්වයෝ මනුලොව උපන්නේ. බෝධිසත්වයන්ට වයස විසිනවය වෙද්දි නුවණ හොඳට මෝරා තිබුනා. දෙවියෝ සතර පෙර නිමිති පෙන්නුවා. එතකොට උන්නාන්සේ සංසාරේ කළකිරිලා නිවන හොයාගෙන ඇසළ පුන් පොහෝ දවසක ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්ට පිටත් වුනා. එතකොට ම මාරයා පෙනී හිටියා නොවැ. පෙනී හිටලා කිව්වා ‘හාපෝ…. ගිහි ජීවිතය ඔහොම අත්හරිනවද? පොඩිත්තක් ඉවසාගෙන ඉන්ට. වැඩිම වුනොත් සතිය යි. සතියකින් ඔයැයි සක්විති රජ වෙනවා ම යි’ කිව්වා.

නමුත් මයෙ පුතේ, අපේ බෝධිසත්වයෝ උන්නැහේගේ කතා ගණන් ගත්තේ නෑ. අනෝමා ගඟෙන් එතෙර වෙලා ගොහින් පැවිදි වුනා. හප්පේ…. ඊට පස්සේ නොවැ ගත්තු වෙහෙස තියෙන්නේ. ඇයි පුතේ, උන්නාන්සෙට ආලාර කාලාම, උද්දක රාමපුත්ත කියා තාපසවරුත් මුණගැසුනා. එයාලා භාවනාව ඉගැන්නුවා. නමුත් උන්නාන්සේගේ නුවණට තේරුනා තමන් හොයන්නේ ඒක නොවේය කියා. ඒකත් අත්හැරියා.

ඊට පස්සේ පුතේ, උන්නාන්සේ වැඩියා නොවැ නේරංජරා ගංතෙරට. එහේ තමයි තපස් කොළේ. මහා දුක් වින්දා. නොකා නොබී හිටියා. සිහිසන් නැතුව වැටුනා. එතකොට මාරයා භයවුනා. ‘මේ ඇත්තා මෙහෙම වීරිය කළෝතින් නම් බුදුවෙන්ට බැරි නැතෙයි’ කියා. ඉතින් උන්දෑ ඇවිත් පෙනී හිටියා. පෙනී හිටලා මෙහෙම කිව්වා. ‘මේ…. ශ්‍රමණයන් වහන්ස, ඔහේ ඔය වීරිය අත්හරින්ට. ඔහොම වීරිය කළොතින් මැරිලා යාවි. මට දුකායි. කොහොමත් නිවනක් හොයාගෙන වීරිය කරපු කෙනෙක් දින්නේ නෑ. ඒ නිසා ඔය අදහස අත්හැරදමන්ට’ කියා කිව්වා. උන්නාන්සේ එයැයිගේ අදහසට පසුබට වුනේ නෑ.

ඊට පස්සේ පුතේ, අද වගේම වෙසක් පොහෝ දවසක හැන්දෑ ජාමේ අපේ භාග්‍යවතුන් වහන්සේ නේරංජරා නදිය අසබඩ ජය සිරි මහබෝ සෙවනේ වජිරාසනය මත වාඩිවුනා නොවැ. මහා අධිෂ්ඨානයක් ගත්තා. නිවන් අවබෝධ නොකොට නැගිටින්නේ ම නෑ කියා සිතට ගත්තා. ආන්න එතකොටයි මාරයා ගැස්සුනේ. උන්දෑ කලබල වුනා. මහ භයානක හස්තිරාජයෙකුගේ පිටින් මහබෝමැඬ ඉදිරියට දුවගෙන ආවා නොවැ. දස බිම්බරක් මාර සේනාව ලවා වට කොළා නොවැ. මහා බිහිසුණු විදිහට තර්ජන ගර්ජන කරන්ට පටන් ගත්තා නොවැ.

අනේ මයෙ පුතේ…. එදා උන්නාන්සේ ළඟ ඉන්ට කොයියම් ම දෙවියෙකුටවත් බැරිව ගියා. උන්නාන්සේ තනිවුනා. එතකොට පුතේ, මාරයා මහ භයානක හඬ පතුරුවාගෙන ගල්වරුසා එව්වා. ආයුධ වරුසා එව්වා. අවීචි මහා නරකයෙන් ගිනිදැල් උඩට ඇන්න එයින් පහර දුන්නා. ඒත් අපේ භාග්‍යවතුන් වහන්සේ නොසැලී සිටියා නොවැ. බැරිම තැන මාරයා කෑගසා කීවා ‘ඒයි සිද්ධාර්ථ, ඔතනින් නැගිටපං. ඔය වජිරාසනය අයිති මටයි කිව්වා. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ඇහුවා පුතේ ‘මාරය, ඔහේ මේ වජිරාසනයට අයිතිවාසිකම් කියන්නේ මොන වගේ සාක්කි ඇතුවද?’ කියලා.

එතකොට පුතේ, දස බිම්බරක් මාර සෙනඟ එක්පැහැර මහා හඬින් ‘ඇයි මේ අපි ඉන්නේ. අපි තමයි සාක්කි’ කිව්වා. දැන් මාරයාට හරි ආඩම්බරයි. උන්නැහේ හිතුවේ අපේ භාග්‍යවතුන් වහන්සේව නැගිටුවන්ට ඇහැක කියලයි. ඉතින් උන්නැහේ ඇහුවා ‘හරි සිද්ධාර්ථයෙනි, ඔයැයි ඔය වජිරාසනයේ වාඩිවෙන්ට තියෙන අයිතිවාසිකමට සාක්කි කෝ?’ කියලා.

අනේ මයෙ පුතේ, එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ ඇඟිලි මහපොළොවට ස්පර්ශ කරලා මිහිකතගෙනුයි ඇසුවේ ‘එම්බා මිහිකත, තී හොඳ හැටි දන්නවා නොවැ මං පාරමී ධර්ම පිරූ හැටි. දැන් ඉතින් තී තමයි මං ගැන සාක්කි දෙන්ට ඕනෑ’ කියලා. හප්පේ මයෙ පුතේ, පුදුමෙනුත් පුදුමයි නොවැ. එතකොට පුතේ, මහා මුහුදේ රළගෙඩි ඕං ඔහොම පෙරලෙන්නැහේ පෙරලි පෙරලී හිටං ගිගුම් දිදී නටන්ට පටන් ගත්තා නොවැ. ඇත්රජා කලබල වුනා. බිම වැටුනා. ඒත් එක්ක ම මාරයත් බිම වැටුනා. මාර සේනාව හිස හැරුණු අතේ පළාගියා. මාරයාට පරාජය පිළිගන්ට සිද්ධ වුනා.

ඒ වුනාට පුතේ, මාරයා මේ සත්වයා සංසාරෙන් එතෙර වෙනවාට කැමති නෑ. වැඩි කලක් නොගිහින් ඉන්දියාවෙන් බුදු සසුන අතුරුදහන් වුනා නොවැ. ලංකාවෙත් වරින් වර සාසනේ නැතිවුනා. කොටින් ම භික්ෂූන් වහන්සේනමක් දකින්ට නැති කාලයකුත් ලංකාවේ තිබ්බා. දැන් වුනත් මිනිස්සු තෙරුවන් සරණ ගොහින් පින් කරගන්නවාට උන්නැහේගේ කැමැත්තක් නෑ නොවැ. කැමැති ම අවුල් කරන්ටයි. ඒකට පාවිච්චි වෙන්නේ මිනිස්සුන්ව ම යි. ඉතින් උන්නැහේගේ බැල්ම වැටුනහම ඒ උදවිය කියනවා බුදුවරු උපන්නේ ලංකාවේ ය කියා. රහත් වුනා ය කියනවා. මගඵල ලැබුවා ය කියනවා. එහෙම මුළාවෙලා උඩඟු වුනාට පස්සේ නිහතමානී වෙන එක ලේසි නෑ. අන්තිමේදි ස්වල්ප පිනක්වත් කරගන්ට තියෙන අවස්ථාව නැතුව යනවා.

ඒ නිසා මයෙ පුතේ, භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ උපන්නා ය කියන මිසදිටු කතාවලට රැවටෙන්ට එපා. ඒක හරිම භයානක මුසාවක්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 24 appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here