අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29

0
4


“අනේ පුතේ, මං කල්පනා කොළේ එදා කොසොල් රජ්ජුරුවන්නේ බිසොව, මල්ලිකා දේවී දානෙ ප්‍රශ්නෙ විසඳූ අපූරුව.”

“මොකක්ද ආච්චියේ එ් දානෙ ප්‍රශ්නෙ?”

“ඇයි පුතා දන්නෙ නැතෙයි, අසදෘශ මහා දානයක් කොසොල් රජ්ජුරුවෝ දුන්නා නොවැ.”

“අනේ මං අහලා තියෙනවා. එ් උනාට ‘අසදෘශ’ යන වචනේ තේරුම දන්නෑ.”

“පුතේ… ‘අසදෘශ’ කියන්නේ කිසිවකට සමාන නැති කියන එක. ‘අසදෘශ මහා දානය’ කියන්නේ ‘කිසි දානයකට සම කොරන්ට බැරි දානය’ කියන එක.”

“අනේ ආච්චි, කොහොමෙයි කොසොල් රජ්ජුරුවෝ එ් දානෙ දුන්නේ?”

“මෙහෙමයි පුතේ එ්ක වුණේ. එක් කාලෙක අපගේ භාග්‍යවතුන් වහන්සේ ජනපද චාරිකාවේ වැඩලා සැවැත්නුවරට වැඩියා. එතකොට කොසොල් රජ්ජුරුවෝ රජගෙදර දානයක් සංවිධානය කොරලා බුද්ධ ප‍්‍රමුඛ සංඝයා වඩමවා දානෙ දුන්නා. ඊට පස්සේ නගරවාසීන් එකතුවෙලා ඊටත් වඩා ජයට දානෙ සංවිධානය කරලා දානෙ දුන්නා. රජ්ජුරුවන්ට මේක ආරංචි වුණා.

“හෑ…. එහෙම කොහොමෙයි කරන්නේ. මං නොවැ රජා… මගේ දානෙ නොවැ ජයට ම තියෙන්න ඕනැ…. එ් ?” කියලා පසුවදා රජගෙදරට වඩම්මලා නගරවාසීන් දුන්නාට වඩා ජයට දානෙ පූජා කර ගත්තා. නගරවාසීන් දානෙ බලන්ට ආවා. ‘හහ්… අපේ රජ්ජුරුවෝ හිතාන ඉන්නේ එයැයිට විතරයි ඔහොම දානෙ දෙන්ට ඇහැක කියා. ඔයිට වඩා හොඳ අපූරුවට දන් පැන් පුදන්ට අපටත් පුළුවනි’ කියා ඊටත් වඩා සරුවට දන් පූජා කළා.

ඉතිං පුතේ… මේ දන් පූජා කිරිල්ලෙදි රජ්ජුරුවෝ පරදිනවා. නගරවාසීන් දිනනවා. කොසොල් රජ්ජුරුවෝ මේ ගැන මහා කණස්සල්ලෙන් හිටියා. මල්ලිකා දේවී හරි නුවණක්කාරි නොවැ පුතේ. ඈ ඇවිත් රජ්ජුරුවන්ගෙන් ඇහැව්වා. “ඕ… මොකෝ දේවයන් වහන්ස, මේ… මහා කණගාටුවෙන් වගේ… මූණත් තඩිස්සි වෙලා.”

“මූණ තඩිස්සි නොවී තියේ යැ දේවී… බලාපන්කෝ මේ නගරවාසීන්ට වෙච්චි දේ. උන් තරඟෙට ආවේ මාත් එක්ක නොවැ. හැම දානෙදි ම උන් දිනුම්…. මං පරාදයි! හහ්….”

“නෑ… දේවයෙනි… එහෙම කොහොමෙයි. ඔයැයි කෝසලාධීශ්වර. ඔයැයිට ඇහැක් විදිහට දන් දෙන්ට ඔය කාටවත් බෑ.”

“හෝ… හෝ… එ් කොහොමෙයි?”

“දේවයෙනි…. මං කියන්නං ක්රමේ… මේ මං කියන පැලෑනෙට දානෙ දුන්නොත් ආයෙ ඉතිං නගරවාසීන් ඇවිත් ඇස්ගෙඩි ලොකු කොරාන, කට බලියාගෙන බලා සිටීවි…එච්චරයි!”

“හොහ්… හොහ්…. හරි අගෙයි. ඉතිං කියන්ටකෝ අනේ.”

“මෙහෙමයි… දේවයිනි…. රාජාංගනේ මැද සල්කළණ ලීයෙන් මණ්ඩප පන්සීයක් කරවන්ට ඕනෑ. එ් මණ්ඩප බිම නිල් මහනෙල් අතුරන්ට ඕනෑ. එ් මත කසීසළු එලූ ආසන පනවන්ට ඕනෑ. එක එක ඇතා ව ලාස්සනට සරසාලා හිටං එ් ඇත්තුන්නේ හොඬට සුදු කුඩයක් දීලා හිටං එක එක මණ්ඩපය අයිනේ හිටවන්ට ඕනෑ. එතකොට එ් ඡත‍්‍රයෙන් තමයි උන්නාන්සේලාට හෙවණ ලැබෙන්නේ හොඳේ.

ඊට පස්සේ…. භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර සර්වාලංකාරයෙන් සැරසුනු ක්ෂත්‍රී කන්‍යාවෝ දෙන්නා බැගින් වාඩි කරවන්ට ඕනෑ. ඈලා එතැන කරන්නේ සිව් වර්ගයෙකින් යුතු සඳුන් කල්ක අඹරා එතැන මැද තියෙන සඳුන් ඔරුවට දැමීමයි. එතකොට එතැන වාඩි වුණු තව ක්ෂත්‍රීය කන්‍යාවක් නිල් මහනෙල් මල් මිටියකින් එ් සඳුන් ඔරුවේ සුවඳ දිය කලවම් කරමින් ඉන්ට ඕනෑ හොඳේ.

සර්වාලංකාරයෙන් සැරසුණු තව ක්ෂත්‍රීය කන්‍යාවක් තල්වැටින් පවන් සලන්ට ඕනෑ. තව ක්ෂත්‍රීය කන්‍යාවක් පැන් පෙරාගෙන විත් පාත්‍රා ආදිය සෝදන්ට පැන් දමන්ට ඕනෑ හොඳේ. එ් වගේ ම අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ආසනය, හේත්තුවෙන ලෑල්ල, පාපුටුව ආදී මේ සෑම එකක් ම සත්රුවන් කැටයමින් කරන්ට ඕනෑ හොඳේ” මල්ලිකා දේවීගේ මේ සැලැස්ම අසා කොසොල් රජ්ජුරුවන්ට සතුටේ බෑ.

“හරි… හරි… මල්ලිකා… අපි මේ පින්කොම හැකි තාක් ජයට සංවිධාන කොරන්ට ඕනෑ ඕං…” කියලා රජ්ජුරුවෝ මේ මහා අසදෘශ දානය ලේස්ති කොළා.

එදා මයෙ පුතේ හරි වැඩක් උනා නොවැ… ඕං දානේ උස්සවේට සරසාපු ඇත්තු හාරසිය අනූනවයක් ම ගෙන්නුවා. දැං ඇත්තු සුදු කුඩ අල්ලාන අපූරුවට ඉන්නවා. දැන් සංඝයාත් වැඩලා. එදා දානෙට අන්තිමට වැඩලා උන්නේ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ. එ් අන්තිම ආසනේට ඇතෙක් නෑ. රජ්ජුරුවෝ මේ වග මල්ලිකා දේවිට කීවා.

“හරි වැඬේ නොවැ මල්ලිකෝ…. පන්සියයට ගන්ට ඉන්න ඇතා හරීම දරුණු එකෙක්. අන්තිම ආසනේට යි ඕනෑ. නමුත් මේකාව මෙල්ල කොර ගන්ට බෑලූ. දැන් මක්කෙයි කොරන්නේ?”

“දේවයන් වහන්ස, එ් අන්තිම ආසනේ වැඩ ඉන්නේ කව්ද?”

“කව්ද ඉතින්… අර… අර… මේ… ළඟදි අපගේ භාග්‍යවතුන් වහන්සේ දමනය කොරලා හිටං මහණ කොළේ. ආං එ්…. ඔව්… අපගේ අංගුලිමාල තෙරුන්නාන්සේ.”

“ආ… එහෙනම් කමෙක් නෑ. එහෙනම් ඔය ඇතා හොඳා. බලෙන් හරි ඇන්න ඇවිත් උන්නාන්සේ ළඟින් හිටවන්ට. උන්නාන්සේගේ තෙද ඇතාත් දැනගනීවි නොවැ.”

එතකොට පුතේ ඇත්ගොව්වෝ අර දරුණු ඇත්රජාව අමාරුවෙන් එක්කරගෙන ආවා. අපේ අංගුලිමාල මහරහතන් වහන්සේ ව දැක්කා විතරයි, ඇතා පොඩි දරුවෙක් වගේ උනා. කන් සෙලෙව්වේ නෑ. නගුට පිටිපස්සේ ගසාගත්තා. මුතු කුඬේ හොඬවැලට ඇන්න උන්නාන්සේ ළඟට ගොහින් ‘මීක්’ කියන්නැතිව…. එහෝම…. හිටියා.

පුතාට මතකෙයි, අපේ භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න සේරුවාවිල මංගල මහා චෛත්‍යරාජයාට මහා පලතුරු පූජාවක් කොළා. භාග්‍යවතුන් වහන්සේට කළ පූජාව දැක්ක ගමන් බුද්ධපුත්‍ර වේශයෙන් සිවුරු පොරවා ඉන්න හිස් පුද්ගලයන්ටත් සර්දා මාත්තරයක් නැති ගොබිලන්ටත් හොඳටෝම කේන්ති ගියා නොවැ. ඇති පදමට බණින්ට තියා ගත්තා. ඔච්චර මක්කට පූජා කොන්නවා ද? මිනිසුන්ට කන්ට දෙන්ට වටිනවා නොවැ” කිය කියා බැණලා අපාගත වෙන පව් රැස් කොර ගත්තා.

ආං එ් වගේ මේ අසදෘශ මහා දානේ ගැනත් කොසොල් රජ්ජුරුවන් ළඟ හිටිය ‘කාල’ කියන ඇමැතියට හොඳටෝ ම කේන්ති ගියා. එ්කාට කටින් කියන්ට විදිහක් නෑ. හිතෙන් බණින්ට පටන් ගත්තා. ‘හහ්… රටේ විසඳන්ට පුරස්න නැතිව ද මෙච්චර ධනය නාස්ති කොරන්නේ? මේ ධනයෙන් දුප්පත් ඈයොන්ට ගෙවල් හදා දෙන්ට තිබ්බා නොවැ. අපරාදේ මේ නිකාං ධනය නාස්ති කොන්නවා. මුන්දැලාට ඔය හැටි සලකන්ට ඕනයැ’ කියලා හිත හිතා හිතෙන් බණින්ට පටන් ගත්තා.

එදා පුතේ… අපේ භාග්‍යවතුන් වහන්සේ දානයට අනුමෝදනා හැටියට වදාළේ මේ ගාථාව විතරයි.

න වේ කදරියා දේවලෝකං වජන්ති
බාලා හවේ නප්පසංසන්ති දානං
ධීරෝ ච දානං අනුමෝදමානෝ
තේනේව සෝ හෝති සුඛී පරත්ථා’ති.

ලෝභ කෙනා නම් සැබැවින් – නැත දෙව්ලොව උපදින්නේ
එ්කාන්තයෙන් අසත්පුරුෂයා – නැත දානය පසසන්නේ
නුවණැති සත්පුරුෂයා – දානය අනුමෝදන් වන්නේ
පරලොව ගිය විට එනිසා ඔහු – දෙව් සැපයට නිති පත්වන්නේ”

ඔය ගාථාව විතරක් වදාළ භාග්‍යවතුන් වහන්සේ සංඝයා සමග විහාරයට වැඩියා. කොසොල් රජ්ජුරුවන්ට හරි දුකයි. ඇයි කෝටි පනස්හතරක ධනය වියදම් කොරලා හරිම ආසාවෙන් දානෙ පූජා කොර ගත්තේ. මෙතරම් කෙටියෙන් අනුමෝදනා කොළේ මයෙ අතින් වරදක් වුණාවත් ද කියා සිතා හැන්දෑ ජාමේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ගියා.

භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. “මහරජ්ජුරුවෙනි, අද දානෙන් පස්සේ පුණ්‍යානුමෝදනා බණ කියන්ට තරම් එතන පිරිස පිරිසිදු නෑ. එතැන ඇමතිවරු දෙන්නෙක් උන්නා නොවැ. එයින් ‘ජුන්හ’ කියන ඇමතියා “හනේ රජෙක් ම මිසක් මෙහෙම දානයක් වෙන කවුරු නම් දෙයි ද! අපටත් මේ දානේ කොටස්කාරයෝ වෙන්ට ලැබුණා නොවැ. මොනතරම් වාසනාවක් ද!” කිය කියා සතුටු වුණා. නමුත් ‘කාල’ කියන ඇමතියා හිතින් බැණ බැණ උන්නා. රජතුමනි, මං බණ කිව්වා නම් ‘කාල’ ඇමතියාගේ හිස ගැලවී වැටෙනවා. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනා නොකළේ” කියා වදාළා.

බලන්ට පුතේ… දානයට ගැරහීමේ භයානකකොම. එදා සේරුවාවිල මහසෑයට කොරාපු පලතුරු පූජාව භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිදූ දානයක්. භාග්‍යවතුන් වහන්සේගේ දානයට ගැරහූ අය සේරුවිලට ගොහින් මහාසෑය වන්දනා කොට සමාව නොගත්තෝතින් පරලොව දුගතිය තමයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 29 appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here