අපිට ස්විමින්ග් පූල් තිබුණෙ නෑ කියලා දරුවොත් ඇලේ දාලා නාවන්න ඕනද?

0
9


ළඟදි දවසක අවුරුදු නවයක් වයස මගේ ලොකු දුව නතාරි මගෙන් ඇහුවා එයාට අවුරුදු විස්සක් වුණාම යාළුවෝ එක්ක තනියම ඇවිදින්න යන්න දෙනවද කියලා. මං කිව්වා අනිවාර්යයෙන්ම යන්න දෙනවා, අවුරුදු විස්සක් වෙනකන් ඉන්න ඕනත් නෑ ඊට කලින්ම යන්න දෙනවා කියලා. එතකොට නතාරි දූගේ මූණ ලස්සන හිනාවකින් මලක් වගේ පිපුණා.

දරුවෝ ටික ටික ලොකු වෙද්දි එයාලා සමවයසේ මිතුරු මිතුරියෝ එක්ක ගැවසෙන්න, චිත්‍රපට බලන්න යන්න, පුංචි සවාරි යන්න ආසයි. ලංකාවේ ගෑනු දරුවෙකුට ගොඩක් වෙලාවට මේ නිදහස ලැබෙනවා අඩුයි. ලැබෙන අයත් ඉන්නවා. හැබැයි වැඩිපුරම ඉන්නේ එහෙම අවස්ථාවල් නොලැබුණ අය. දෙමව්පියෝ දරුවන්ව ඕනවට වඩා ආරක්ෂා කරන්න ගියාම තමයි එහෙම වෙන්නේ. යාළුවෙකුගේ ගෙදර යන්න, යාළුවෝ එක්ක ඇවිදින්න යන්න, කොටින්ම කිව්වොත් ඉස්කෝලෙන් යන විනෝද චාරිකාව යන්නවත් ඉඩ නොදෙන දෙමව්පියෝ අපි අතර ඕනතරම් ඉන්නවා. ඒකෙන් දරුවගේ ළමා කාලයට කරන්නේ ලොකු අසාධාරණයක් කියලා ඒ මොහොතේ දෙමව්පියන්ට තේරෙන්නේ නෑ. දරුවට ඒ වයසෙදී ඒ අත්දැකීම ලැබෙන්න ඕනේ කියන දේ දෙමව්පියෝ තේරුම්ගන්නකොට සමහරවිට ප්‍රමාද වැඩියි.

හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ දරුවන්ගේ සතුට නැති කරලා දාලා දරුවන්ව ආරක්ෂා කරන එක නෙවෙයි. දරුවන්ට නිසි වයසෙදි ඒ අත්දැකීම ලබන්න දීලා ඒ අත්දැකීම් ලබාගනිද්දී කළයුතු දේ වගේම නොකළ යුතු දේ ගැන ආදරෙන් කියාදෙන එකයි දෙමව්පියන්ගේ යුතුකම වෙන්න ඕන. විශේෂයෙන්ම අම්මා කෙනෙක් සහ දුවෙක් අතර ලස්සන සම්බන්ධයක් ගොඩනැගෙන්නේ වගේම තමන්ව විශ්වාස කරනවා කියලා දරුවට දැනෙන්නේ ඊට පස්සෙයි.

දරුවෙක්ගේ වැරැද්දකදි ‘අපි ඔහොම නෑ. අපේ කාලේ අපි ඔහොම දේවල් කළේ නෑ’ කියලා දරුවන්ට ගහන එක බණින එක කවදාවත් කරන්න නරකයි. අපි එහෙම තරවටු කළා කියලා දරුවා වැරදි නොකර ඉන්නේ නෑ. අපිට නොදැනෙන්න හොරෙන් කරන විදියක් හොයාගන්න එක විතරයි වෙන්නේ. මං මගේ අත්දැකීමක් කියන්නම්කෝ.

එතකොට මං සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ දවස්වල ‘ටයිටැනික්’ කියන චිත්‍රපටය කොළඹ සිනමාහලක පෙන්නුවා. අපේ යාළුවෝ අටදෙනාම ඒක බලන්න යන්න කතා වුණා සෙනසුරාදා දවසක. මටත් ඉතින් හරි ආසයි යාළුවෝ එක්ක එහෙම ගමනක් යන්න. ඉතින් මං ඕක මගේ අම්මාට කිව්ව ගමන් එකපාරට ඇඟට කඩන් පැන්නා. ඒ විතරක් නෙවෙයි තාත්තාටත් කිව්වා. ‘ලැජ්ජ නැද්ද ඔහොම දේවල් අහන්න’ කියලා මට හොඳටම බැන්නත් එක්ක. මං අදත් ඒක මතක් වෙද්දි කල්පනා කරනවා චිත්‍රපටයක් බලන්න යාළුවෝ එක්ක යන්න අහපු එකේ තිබුණු වැරැද්ද මොකක්ද කියලා. හැබැයි ඒ මතකය නිසා උසස් පෙළ පන්තිවලට ආවට පස්සේ යාළුවොත් එක්ක කොහේහරි යන්න ඕන වුණාම මම ගෙදරින් අහන්න ගියේ නෑ.

ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යද්දිත් මට ගොඩක් වෙලාවට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ඉතින් මට නිතරම දැනුණේ අම්මා මාව විශ්වාස කරන්නේ නෑ කියන හැඟීම. දරුවෙක්ගෙ හිතට ඒක ලොකු වේදනාවක්.

මට දැනුණ ඒ හැඟීම මගේ දරුවන්ට දැනෙන්න නොදී ඉන්නයි මට ඕන. ඒ නිසා අදටත් එයාලා එළියට ගිහින් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්නද අහද්දි, ගෙදරට යාළුවෝ එක්ක ඇවිත් සෙල්ලම් කරද්දි මං ඒවාට එපා කියන්නෙ නෑ. ඒවා වැරදි නෙවෙයි, එයාලගේ වයසේ විඳින්න ඕන දේවල්.

දැන් දරුවෝ ගොඩාක් තාක්ෂණය එක්ක මුහුවෙන නිසා ඒ ගැන අපි දැනුවත් වෙන එක වගේම එයාලා දැනුවත් කරන එකත් වෙන්නම ඕන දෙයක්. මොබයිල් ෆෝන්, ටැබ් එහෙම දරුවන්ට කිට්ටු කරන්න එපා කියලා කවුරුහරි කියපු පලියට ඒවා දරුවන්ගෙන් ඈත් කරන්න ඕන නෑ. ඒ ගැන හොයලා බලලා අපිත් දැනුවත් වෙලා දරුවට හානියක් නැත්තම් පාවිච්චියට දුන්නාට කමක් නෑ කියන එකයි මගේ අදහස. උදාහරණයක් විදියට ඉන්ටර්නෙට් ක්‍රීඩා ගත්තොත් ඒවාට නියමිත වෙලාවක් දෙන්න ඕන. දවසකට පැයක් හෝ පැය එකහමාරක් විතරක් ඒ වෙනුවෙන් අවස්ථාව දුන්නාම දරුවන්ට දැනෙනවා අපි එයාලා ගැන හිතනවා සහ හොයනවා බලනවා කියලා.

අපේ ළමා කාලය එක්ක අපේ දරුවන්ගේ ළමා කාලය සංසන්දනය කරන්න යන එකෙන් දරුවන්ටවත් දෙමාපියන්ටවත් විශේෂ හොඳක් වෙනවා කියලා මටනම් හිතෙන්නේ නෑ. මොකද අපේ දරුවන්ට ලැබිලා තියන මේ යුගය හරි වෙනස්. තාක්ෂණික වශයෙන් ගත්තත් හැමදේම අපේ කාලෙට වඩා දියුණුයි. ඉතින් ඒ නිසා අපේ කාලේ ඕවා තිබිලා නෙවෙයි අපි හැදුනේ කියලා දරුවන් ඒ දේවල්වලින් ඈත්කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

පිරිමි දරුවෙක්ට වගේම ගෑනු දරුවෙක්ටත් ඔවුන් යා යුතු සීමාව ගැන කියලා දීලා ඊටපස්සේ නිදහස දෙන්න. ගහනවට බණිනවට වඩා ආදරෙන් දරුවන්ට දේවල් කියලා දෙන්න ලේසියි. ගහලා, බැනලා හදන දරුවෙකුට වඩා ආදරයත් එක්ක හැදෙන දරුවා වෙනස්. තරවටු කිරීම් මැද්දේ හැදෙන දරුවෙක් වැරදි නොකරන්නේ බයට. ඒත් අවස්ථාවක් ලැබුණ ගමන් එපා කියන දේ කරන්න එයා උත්සාහ කරනවා.

දරුවෝ වෙනුවෙන් අපි හැමදේම කළාට එයාලගේ නිදහස අපි කැමැති විදියට සීමා කරන්න අපිට අයිතියක් නෑ. හොඳ අම්මා කෙනෙක් වෙන්න නම් දරුවාගේ පැත්තෙන් හැමවෙලේම හිතන්න. එහෙම නැති වුණොත් අපි එයාලගේම හොඳට කියලා හිතලා කරන කියන දේවල් සමහරවිට එයාලගේ ජීවිත කාලෙටම මතක හිටින වේදනාවක් වෙන්නත් පුළුවන්.

පිරිමි ළමයෙක් වගේම ගෑනු ළමයෙකුටත් තනියම දේවල් කරන්න උගන්නන්න. පුංචි කාලේ ඉඳන් මං එයාගේ පස්සෙන්මයි කියනවට වඩා, එයා හැමදේම තනියම කළා, මං එයාට ඒවාට මගපෙන්නුවා කියන අම්මා කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. දරුවෙක් ස්වාධීන වෙන්නේ එතකොට.

අපි දරුවෝ ඇහේ මූණේ තියන් හදමු. ඒත්, එයාලට ස්වාධීන වෙන්න ඕන තැනදි දෙමව්පියෝ විදියට අපි පිටිපස්සෙන් ඉඳන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙමු. එතකොට අපි නැති කාලෙකත් එයාලා අපි ගැන ආඩම්බරෙන් කතා කරාවි.

හෂිණි මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here