අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති – Sri News | Sri Lanka Business News

0
9

  • පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි.

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි.

“අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action for our Nation and the Planet)” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ඊයේ ඇරඹුණු අතර එය මැයි 09වනදා දක්වා පැවැත්වේ.

ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමඟින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම මෙම දේශගුණික සමුළුවේ අරමුණයි.

විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ද මේ වන විට ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර තිබෙන බවත් දේශගුණික විපර්යාස අවම කිරීමේ නීති සැකසීමේ දී ගෝලීය මූල්‍ය සංවිධාන විසින් පිළිගනු ලබන එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එසේම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ඉන්දියන් සාගරයේ හා නිවර්තන කලාපයේ රටවල භූමිකාව සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මැදිහත්වීමද පැහැදිළි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත දේශගුණික විපර්යයාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව ද පැහැදිළි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා කෙරෙන මෙම හමුවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙනවා.

මම ජනාධිපති ධුරයට පත් වූ දා සිට දේශගුණික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මගේ කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඒ පිළිබඳ උපදේශකවරයෙකුද පත් කිරීමට කටයුතු කළා.

මෙතෙක් අපේ අවධානය යොමුව තිබුණේ පරිසරය පිළිබඳව පමණයි. නමුත් ඒ තුළ දේශගුණික විපර්යාසයන් ඉටු කරන වැදගත් කාර්යභාරය අප වටහා ගත යුතුයි. දේශගුණික විපර්යාස ඉහළ ගියහොත් සමස්ත පරිසරයම නරක අතට හැරෙනු ඇතියි. ඒ නිසා, දේශගුණික විපර්යාසවලට අපට අනුගත විය හැකි ආකාරය සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කළ හැකි ආකාරය පිළිබඳ අප නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා.

පසුගිය දින කිහිපයේ සිට අපට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයපහත් දේශගුණික විපර්යාසවල සලකුණක් පමණයි.

ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි. මේ වන විට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙන අතර අප දැන් ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දැනට රටේ පවතින ආර්ථික ක්‍රමය තුළ අපට ඉදිරියට යා නොහැකියි. මා මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබෙන ආකාරයට අපනයන සඳහා නැඹුරු වූ ඉහළ තරගකාරී ආර්ථිකයක් බවට අප පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් නව නිති සම්පාදනයට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත බොහෝ විට ලබන සතියේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අපේක්ෂා කරනවා.

‍මෙම ආර්ථික පරිවර්තන පනත මඟින් 2050 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත්වීමේ ඉලක්කය කරා ළඟා වීම ද සහතික කෙරෙනවා. ඒ වගේම එම කාලයට පෙර මේ ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා. ඒ නිසා මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ පමණක් නොවයි. ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වයට පත්වීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මත පදනම් වූ හරිත ආර්ථිකයක් බවට පත් කිරීමටත් අපගේ අවධානය යොමු කර තිබෙනවා.

පරිසරය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අප නව නීතියක් ද කෙටුම්පත් කරමින් සිටින අතර පරිසරය සහ දේශගුණික විපර්යාස යන දෙකම හසුරුවන එක් නීතියක් ගෙන ඒමට අප තීරණය කර තිබෙනවා. එමඟින් මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් පවත්වාගෙන යන අතර එයට දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ද ඇතුළත් කෙරෙනවා. මෙම නීති සම්පාදනය කිරීමේදී එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම එමඟින් දේශගුණික විපර්යාස කමිටුවේ උපදෙස් මත ක්‍රියා කිරීම සහ පාර්ලිමේන්තුවට රෙගුලාසි ඉදිරිපත් කිරීම ආණ්ඩුවට සහ අදාළ විෂය භාර ඇමතිවරයාට පැවරෙනවා.

එක්සත් රාජධානියේ දේශගුණික විපර්යාස පනත අනුගමනය කිරීමට එක් හේතුවක් වන්නේ එය මූල්‍ය සංවිධාන විසින් හොඳින් පිළිගත් පනතක් වීමයි. ඒ නිසා අපට පවතින විවිධ විකල්පයන් සහ අපගේ හරිත මූල්‍යකරණය, නිසැකවම එක්සත් රාජධානියේ සමාන භාවිතයන් මත පදනම් වන බව අප සහතික කරනවා. වාණිජ මණ්ඩලය, කොටස් හුවමාරුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය මේ සියල්ල මේ සමඟ සම්බන්ධ වන්නේ ඒ අනුවයි.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. අපගේ සූර්ය බලශක්ති ධාරිතාව සහ සුළං බලය සඳහා පවතින ධාරිතාව දෙස බැලුවහොත්, ගිගාවොට් 30 ත් 50ත් දක්වා වූ පරාසයක විභවයක් අප සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ අප සතුව ඇති මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි.

ඒ වගේම රට තුළ කෘෂි ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අප මේ වන විට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

දේශගුණික අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ එකඟතාවකට පැමිණීමට තවමත් ගෝලීය ප්‍රජාවට ‍ නොහැකි වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ (COP) සෑම සමුළුවකටම ශ්‍රී ලංකාව සහභාගී වුණා. එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු වූ නමුත් අවසාන එකඟතාවයකට එළැඹීමට නොහැකි වී තිබෙනවා. ඊළඟ රැස්වීම් දෙකේදී අපි යම් එකඟතාවකට පැමිණිය යුතුයි, නැතහොත් මෙය අත්හැර දැමිය යුතුයි කියා මා විශ්වාස කරනවා. නමුත් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී ශ්‍රී ලංකාව තනිවම, මූලික පියවර තුනක් ගෙන තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අප්‍රිකානු රටවලට උපකාර කළ යුතුයි. ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අප්‍රිකානු රටවලට අරමුදල් අවශ්‍ය වෙනවා. එසේ නොවුවහොත් එම මහාද්වීපය තුළ විනාශයක් සිදු වෙනවා. අප අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කරගනු ලැබුවා. අප ඉතා අසීරුවෙන් එම කාර්යය සිදු කළා. ශ්‍රී ලංකාවට එම අභියෝගයට මුහුණදීමට හැකියාව තිබුණා. නමුත් ඒ සඳහා සහාය අවශ්‍ය පිරිසක් ද සිටිනවා.

දෙවනුව දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අප අපේක්ෂා කරන අරමුදල් ග්ලාස්ගෝ නුවර පැවති සමුළුවේදී ලබාදීමට පොරොන්දු වූ නමුත් යම් යම් ක්‍රමවලින් මුදල් නැති වී හෝ එය එක්රැස් කර තිබූ බැංකුවලින් එම අරමුදල් ලබා දී නැහැ. නමුත් අපට මෙම අරමුදල් අවශ්‍යයි. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ සඳහා සටන් කළ යුතු බව මතක තබා ගන්න. අප එක පැත්තකින් සටන් කළ යුතුයි වගේම අනෙක් පැත්තෙන් එය වාණිජමය වශයෙන් දියුණු කිරීමට අපට හැකි සෑම දෙයක්ම ද කළ යුතුයි.

ශ්‍රී ලංකාව තුළ නිවර්තන කලාපය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමට මම කටයුතු කළේ මේ නිසයි. මේ සියල්ලට පසුව, කාබන් අවශෝෂණය කරන කලාපය වන්නේ නිවර්තන තීරයයි. එබැවින් දේශගුණික විපර්යාස පිළිබඳ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් වාණිජමය වශයෙන් හැකියාව පවතින නිවර්තන කලාපයේ සෑම ප්‍රදේශයක්ම හඳුනා ගත යුතු වෙනවා.

ඒ වගේම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) ගත්විට ඒ තුළ අප ඉන්දියන් සාගරය තුළ පවතින හැකියාවන් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා. එබැවින් නිවර්තන කලාපය සහ ඉන්දියානු සාගරය තුළ විශාල කාබන් අවශෝෂක ප්‍රදේශයක් නිර්මාණය වනු ඇතියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ගන්නා අතර එමගින් විශාල වෙනසක් සිදු වනු ඇතියි.

දේශගුණික අනුවර්තනය සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා අප මේ වන විට කලාපයේ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නීති ද ශ්‍රී ලංකාව විසින් ගෙන එනවා. අපි දැනටමත් ඒ සඳහා කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක් පමණ තෝරාගෙන තිබෙන අතර එම ඉදිකිරීම් කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෙන්නායි IIT Madras Research Park හි සභාපති මහාචාර්ය අශෝක් ජුනුජුන්වාලා (Prof. Ashok Jhunjhunwala), ඉන්දියාවේ බලශක්ති පරිසර හා ජලය පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අරුණභා ඝෝෂ් (Dr. Arunabha Ghosh), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), ආචාර්ය රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති සහ ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආනන්ද මලවතන්ත්‍රි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදේශීය සංවිධාන නියෝජිතයින්, ව්‍යපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here