අපට අමතක වී ගිය ලාංකී​ය දානපති චරිත – Sri News

0
3

කාලයක් ලංකාවේ මාක්ස්වාදයට වැඩි තැනක් හිමිවීම නිසාද මන්දා අපි බොහෝ විට පොහොසත් පුද්ගලයන් කෙරෙහි එතරම් ප්‍රසන්න විදිහකට විදියට බලන්න පුරුදු වෙලා නැහැ. මේ නිසාම අපි ඔවුන්ව දකින්නේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බකරන්න පෙළඹෙන පුද්ගලයන් පිරිසක් විදිහට. හැබැයි අපේ මෑත කාලීන ඉතිහාසය දිහා හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් පැහැදිලි වෙන දේ තමයි, ලංකාවේ බොහෝ ධනවතුන් සල්ලි හම්බ කර ගැනීම වගේම රටට සේවයක් කිරීම ගැනත් ලොකු  අවධානයක් යොමු කරලා තියනවා කියන එක. අපි අද මේ සටහන ගෙන එන්නේ අපිට අද වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තියන දානපති චරිත කීපයක් ගැන.

 

වර්තමානයේ පානදුර නගරයේ පිහිටා ඇති කේතුමතී මාතෘ රෝහල පානදුර ජනතාවට වගේම කළුතර දිස්ත්‍රික්කයේ සියලුම දෙනාට සපයන්නේ අතිමහත් සේවයක්. නමුත් මේ රෝහල පිහිටි ගොඩනැගිල්ල ලංකාවේ සුප්‍රකට  දානපතියෙකුගේ නිවසක් බව ඔබ දැන සිටියාද? පානදුරේ සුප්‍රකට දියෙස් පවුලේ සාමාජිකයෙකු වූ චාල්ස් හෙන්රි දියෙස් මහතා කාමර අනූ නමයකින් යුතු සුවිශාල මන්දිරයත් තමන්ගේ පරිහරණය සඳහා නිර්මාණය කළ අතර ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ අවසාන ඉල්ලීමට ගරු කරමින් ඔහුගේ බිරිඳ සහ දරුවන් විසින් මෙම නිවස රජයට පරිත්‍යාග කරනු ලැබුවා.

 

කාලයක් ලංකාවේ දේශපාලනය තුළ බණ්ඩාරනායක පවුල සමගම කියවෙන තවත් දේශපාලන පවුලක් තිබුණා. ඒ තමයි ඔබේසේකර පවුල. ඔවුන් විවාහ සබඳතා වලින් එකිනෙකා සමඟ සමීපව බැඳුණු පවුල් දෙකක්. වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ඒ ප්‍රදේශයේ ජනතාවට සේවා සපයන ස්ථාන ආරම්භ කිරීමට මුල් වුණේ මේ පවුල් දෙකේ සාමාජිකයන්. වර්තමානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශාල සේවයක් සපයන වතුපිටිවල රෝහල නිර්මාණය කොට එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව සඳහා පරිත්‍යාග කරන ලද්දේ කොරනේලියා බණ්ඩාරනායක ඔබේසේකර මහත්මිය විසින්. ඒ තමාගේ මිය ගිය ස්වාමිපුරුෂයා වූ ජේ. පී ඔබේසේකර මහතා සිහිපත් කිරීම සඳහා.

 

අද වෙනකොට අපිට අමතක වෙලා ගිය ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පතාක යෝධයෙක් විදියට ඩබ්ලිව් ඒ සිල්වා මහතාව හඳුන්වන්න පුළුවන්. කාලයක් එතුමා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට විදිහටත් කටයුතු කළා. තමන්ගේ මුළු ජීවිතයම එතුමා කැප කළේ ලංකාවේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා. තමන් ජීවත් වන ශ්‍රාවස්ති මන්දිරය පවා උගසට තබමින් ලබාගත් මුදල් වලින් සමාජ සේවා කටයුතුවල යෙදීම නිසා අවසානයේදී  එම මන්දිරය පවා එතුමාට අහිමි වුණා. වර්තමානයේ අනුරාධපුර ආසන්නයේ පිහිටා තිබෙන ශ්‍රාවස්තිපුර ප්‍රදේශය සංවර්ධනය කොට ජනතාව පදිංචි කිරීමට කටයුතු කළේ එතුමා විසින්.

 

අද වෙන කොට අර්නස්ට් ද සිල්වා කියන නම අපිට මතකයේ තියෙන්නේ අන්තර්ජාලයේ හුවමාරුවෙන මුද්දර රජා යැයි සඳහන් වන ලිපි නිසා. ලංකාව තුළ හිටපු විශිෂ්ට ගණයේ මුද්දර එකතු කරන්නෙක් විදිහට එතුමා ගැන සඳහන් වෙනවා. නමුත් එතුමා මුද්දර වලින් කරපු දේවල් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමා සතුව තිබූ වටිනාකමින් ඉතාමත් ඉහළ මුද්දරයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු මුදලින් කොළඹ තරුණ බෞද්ධ සංගමය උගස්කරයක් නිසා වෙන්දේසි වීමට ආසන්නව තිබියදී බේරා ගැනීමට එතුමා කටයුතු කළා. ඒ වගේම දිවයින පුරා ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය පිහිටුවීමටත් එතුමා කටයුතු කළා. තම උපන් බිමේ දිළිඳු දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් රත්ගම දේවපතිරාජ විශ්ව විද්‍යාලය ඉදිකිරීමත් එතුමා අතින් සිදු වුණු විශිෂ්ටතම කාර්යභාරයක්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here