අනෙක් මිනිස්සුත් එක්ක විශ්වාසය ගොඩනඟා ගන්නේ මෙහෙමයි. – Sri News

0
3

විශ්වාසය කියන එක හරි අමුතු දෙයක් සහ හරි අපූරු දෙයක්. ඇත්තටම මනුස්සයෙක්ට තියෙන වටිනාම වස්තුවක් වෙන්නේත් විශ්වාසය. හැබැයි මේ විශ්වාසය හරියට ගත්තොත්, නිකම් බිඳෙන සුළු වීදුරු වර්ගයක් වගේ එකක් තමයි. ඉතාම වටිනවා වගේම ඉතාම ලේසියෙන් බිඳිලා යන්නත් පුළුවන්. හැබැයි විශ්වාසය බොහොම ලේසියෙන් කැඩුනට, ආයෙමත් හදාගන්නත් සෑහෙන කාලයක් යනවා. ආන්න ඒ නිසාම තමයි, අපි කොහොමද පොදුවේ අපි ගනුදෙනු කරන, සන්නිවේදනය කරන සමාජේ අනික් මිනිස්සුත් එක්ක විශ්වාසය හදාගන්නේ කියන එක වැදගත් වෙන්නේ. ඒකට මේ උපදෙස් ටික කියවන එක පාඩු නැහැ!

 

මේක බොහොම සරල දෙයක්. තමන් භාරගන්න වැඩක්, කරනවා කියපු කොලිටියට, කරනවා කියපු දිනේට කරන්න. එහෙම පොරොන්දු වුණු කොලිටියට සහ දිනේට වැඩේ කරලා දෙන්න බැහැයි කියලා හිතෙනවා නම්, නෑ බෑ කියන්න බැරි කමට කිසිම දෙයක් භාරගන්න එපා. බැරි දේ බැහැයි කියන්න පුරුදු වෙන්න. ඇත්තටම සමහර වෙලාවට නැහැ බැහැ කියන්න බැරි නිසා වගේම, වැඩකදී එන ප්‍රායෝගික ගැටළු කලින් අනුමාන කරන්න බැරි නිසා මේ ලියන මමත් ඇතුළුව ගොඩක් දෙනෙක්ට මේ වචනේ තියනවා කියන එක කරන්න බැරි වෙනවා. එතනදී විශ්වාසය බිඳෙනවා. ආන්න ඒකට කරන්න තව දෙයක් තියෙනවා. වැඩේ වෙලාවට දෙන්න බැරි නම්, අන්තිම මොහොත වෙනකල් ඉන්නේ නැතුව ඒ බව දැනුම්දෙන්න. වැඩේ දෙන්න පුළුවන් හරි වෙලාවකුත් ඒ ගමන්ම කියන්න.

 

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. හොඳ සන්නිවේදනය. ඒ කියන්නේ තමන්ට වුවමනා දේ, තමන්ට කරන්න පුළුවන් දේ, තමන් කරන්න කැමති දේ වගේ හැම දෙයක්ම තවත් කෙනෙක්ට පැහැදිලිව කියන්න පුළුවන් හැකියාවක් කෙනෙක්ට තියෙන්න ඕන. ඒ වගේම තමයි, තමන්ට බැරි දෙයක් බැහැයි කියලා පැහැදිලිව කියන්න හැකියාවක් තියෙන්න ඕනෑ. ඒ වගේම කියන්න අසීරු දෙයක් නොකියා ඉන්න එකත් හොඳ දෙයක් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් යටතේ වැඩ කරන කෙනෙක්ගේ වැඩ කිරීම හොඳ නැතිනම්, එයාගේ හිත රිදෙයි කියලා ඒක නොකියා ඉන්න එකෙන් වෙන්නේ දීර්ඝ කාලීනව තමන්ටත්, ඒ තමන් යටතේ වැඩ කරන කෙනාටත් ප්‍රශ්න ඇතිවෙන එක. අන්න ඒ නිසා හොඳම දේ තමයි කාරුණිකව, ඒත් පැහැදිලිව ඒ වගේ දෙයක් කියන්න හැකියාව තිබීම. ඒ ඔස්සේ තමන් ගැන තියෙන විශ්වාසයත් වැඩි වෙන එක තමයි වෙන්නේ.

 

මෙන්න මේක විශ්වාසය ඇති කිරීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒ තමයි අපි ඕනම කෙනෙක්ට අවංක ආධ්‍යාශයෙන් ලැදියාවක් පෙන්වීම. හැබැයි දැන් කාලේ ගොඩක් දකින්න නොලැබෙන්නේත් ඒකම තමයි. ඒ කියන්නේ දැන් කාලේ ගොඩක් දෙනෙක් කෙනෙක්ගේ දුක සැප අහන්නේත් එක්කෝ මූනිච්චාවට. එහෙම නැතිනම් මොකක් හරි වැඩක් කර ගන්න. හැබැයි අපි කෙනෙක්ගේ දුක සැප හොයාබැලීමේ ඉඳලා ඒ කෙනාට ලැදියාවක් දැක්වීම දක්වා කරන්න ඕන කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අවංක සිතින්. අන්න එහෙම වෙනකොට, අපි ගැන හොඳ විශ්වාසයක් තියන්න මිනිස්සු පෙළඹෙනවා.

 

මෙන්න මේකත් විශ්වාසය කියන දේ ඇතිවෙන්න ඉතාම වැදගත් දෙයක්. කෙනෙක් අපිට කියන දෙයක්, ඒ කෙනාගේ පැහැදිලි අවසරයකින් තොරව වෙනත් කෙනෙක්ට නොකියන එක. අපිට එහෙම කෙනෙක් අපිව විශ්වාස කරලා කියන රහසක් පිට කරන්න අවසර තියෙන්නේ, ඒක මොකක් හරි නීතිය සම්බන්ධ බලධාරී ආයතනයකට අවශ්‍ය නම්, ඒ රහස රකින එකෙන් මහජන ගැටළුවක්, විනාසයක් ඇතිවෙන්න පුළුවන් නම් විතරයි. ආන්න ඒ නිසා තමන්ට රහසක් කෙනෙක් කියනවා නම්, මුලින්ම හිතලා බලන්න තමන්ට රහස් රකින්න පුළුවන් කෙනෙක්ද කියලා. තමන්ට රහස් රකින්න බෑ කියලා හිතෙනවා නම් කරුණාකරලා අනුන්ගේ රහස් අහගෙන ඉන්න යන්න එපා. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here