අනුරාධපුරයේ දීත් සිරිපා වඳින්න පුලුවන් ! | Sri News

0
21


තවත් ශ්‍රීපාද සමයක් ඇරඹී ඇත. වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්වය ද නොතකා මෙරට සැලකිය යුතු පිරිසක් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධයන් ගේ උතුම් ම පූජා වස්තුවක් සේ සැලකෙන ශ්‍රීපාද ලාංඡනය සිංහල බසින් හැඳින්වෙනුයේ ‘සිරිපද ලස’ යනුවෙනි.

දැනට ව්‍යවහාර වන ලාංඡනය සඳහා අතීතයේ ‘ලස්’ යන වදන යොදා ඇති බව රුවන් මල් නිගන්ඩුව, ධර්ම ප්‍රදීපිකාව තිසර සංදේශය ආදී පැරණි සාහිත්‍ය මූලාශ්‍ර මගින් තහවුරු වෙයි.

නමුත් වර්තමාන ශ්‍රීපාදස්ථානයේ බුදුන් ගේ ශ්‍රීපාද සටහනක් ඇති බවට පවතින ජන විශ්වාසයට අමතරව කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන සිව් බුදු වරුන්ගේ ශ්‍රීපාද ලාංඡන හෙවත් ‘සිරි පද ලස්’ අනුරාධපුරයේ පැවැති බවට ජන විශ්වාසයක් අනාදිමත් කාලයක සිට අප ජන සමාජය තුළ පැවතී තිබේ. ඒ අනුව අප එම ශ්‍රීපාද ලාංඡන හතර පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලනු පිණිස අනුරාධපුරයේ සංචාරයක යෙදුණෙමු.

සිව් බුදුවරුන් තමන් වහන්සේලාගේ ශ්‍රීපාද ලාංඡන පිහිට වූ බවට ජන විශ්වාසය පවතින මෙම ස්ථාන හතර පිහිටා ඇත්තේ ථූපාරාම දාගැබට නැගෙනහිර දෙසට වන්නට පිහිටි භූමි භාගයක ය. ඒ බවට මහා වංශය එහි අටුවාව වන වංසතථප්පකාසිනිය, බෝධි වංශ ගැටපදය යන පැරණි සාහිත්‍ය මූලාශ්‍රවලින් තොරතුරු ලබාගත හැකි ය.

එම ජන සම්මතය අනුව පසුව ථුපාරාමය ඉදිකළ තැනට වැඩම කළ ඉහත සඳහන් සිව් බුදුවරුන් එහි ස්ථාන සතරක සිට දඹදිව බලා වැඩම කරනු පිණිස සෘද්ධි බලයෙන් අහස් ගත වූ ස්ථානවල(ශ්‍රී පාදයන් පොළොවට තෙරපීම මත?) එලෙස ශ්‍රීපාද ලාංඡන සටහන් වී තිබේ.

එනිසාම එම ස්ථාන හතර මුල් කොට අනුරාධපුර යුගයේ දීම ථුපාරාම දාගැබට නැගෙනහිර දෙසින් ‘පද ලස චේතිය’ නම් වන කුඩා දාගැබ් හතරක් ඉදි කොට ඇත.

නමුදු දහ වන සියවසේ දී පමණ ඉන්දියාවෙන් පැමිණි සොලී ආක්‍රමණිකයන් විසින් අනුරාධපුර සිද්ධස්ථාන විනාශ කිරීමේ දී මෙම පූජනීය ස්ථාන ද විනාශ වී ගොස් පසුව බලයට පැමිණි සිව් වන මිහිඳු රජු විසින් එම ස්ථූප පිළිසකර කළ බවත් මහා වංශයේ සඳහන් ය.

පසුව ථූපාරාම භූමියේ පිහිටි මෙම පද ලස චේතිය හතර පොලොන්නරු යුගයේ දී ද පූජනීය ස්ථාන වශයෙන් සැලකුණු බව පැවසෙයි.

පර්වත ශිඛරයක් වන ශ්‍රී පාදස්ථානයේ බුදුන් ගේ සිරි පතුල් සටහන පිහිටා ඇති මුත් මෙම සිව් බුදුවරුන්ගේ සිරිපද ලස පිහිටි තැන්වල එලෙස සිව් බුදුවරුන්ගේ පාද ලාංඡන ස්ථාපිතව තිබිණි දැයි නිශ්චිතව පැවසීමට නොපුළුවන.

එහෙත්, බෝධිවංශ ගැටපදයෙහි සඳහන් වන අන්දමට ථූපාරාමය තැනූ ස්ථානයේ සිට දේවානම් පියතිස්ස රජුට එම ස්ථාන පෙන්වා දී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි.

ඒ සම්බන්ධ වෙනත් සාක්ෂි නැතත් එය මිහිඳු හිමියන් ගේ ප්‍රකාශයක් නිසා අප රටේ බෞද්ධයෝ එය ආගමානුකූලව පිළිගනිති.

තමන් අද වන විට එම පද ලස චේතිය හතරෙන් ඉතිරිව ඇත්තේ දාගැබ් දෙකක් පමණි. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කොට ඇති මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවසා ඇත්තේ පසුකාලීනව අටමස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සව සිදු කෙරෙන ආදාහන මළුව එම ස්ථානයේම පිහිටි නිසා පසුකලෙක එම පද ලස චේතිය හතරෙන් දෙකක්ම විනාශ වන්නට ඉඩ කඩක් තිබූ බව ය.

ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි කුඩා ස්ථූපය ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ එච්. සී. පී. බෙල් විද්වතාණන් විසින් විසි වන සියවසේ මුල්භාගයේ කැනීම් සිදුකොට ඇති අතර පසුව 2011 වසරේ දී නැගනෙහිර දිසාවට වන්නට ඊටත් ඔබ්බෙන් පිහිටි ස්ථූපය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට මහා වංශ පාඨයක් පදනම් කර ගනිමින් ඊට ‘සංඝමිත්තා සොහොන’ යන හැඳින්වීම ලබා දී තිබේ.

එහෙත්, ඉංග්‍රීසි පාලන සමයේ මතු කර ගත් ප්‍රථම ස්ථූපය ඉහත සඳහන් ‘පදලස චේතිය’ හතරෙන් එකක් බව University of Ceylon Review වන වෙළුම (1958) “අනුරාධපුර පාද ලාංඡන” යන මාතෘකාව මගින් ලිපියක් ලියූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධාරණය කොට ඇත.

මීට අමතරව විසිවන සියවසේ මුල් භාගයේ දී අනුරාධපුර සිද්ධස්ථාන ආශ්‍රිතව මානව ජනාවාස ඉදිවීම මත එවකට කැනීම් කොට සංරක්ෂණය නොවීම නිසා නටබුන් ව තිබූ අවශේෂ ස්ථූපයන් හි ගඩොල් එම මානව ජනාවාසවල ඉදිකිරීම් සඳහා ගෙන තිබීම මුල්කොට අද වන විට මුළුමනින් ‘අතුරුදන්’ තිබේ.

එමෙන්ම අද අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ඔබට මෙම සිව් බුදුවරුන් ගේ පාද ලාංඡන සහිත පදලස චේතිය දෙකින් එකක් වත් නිවැරදිව හඳුනා ගත නොහැකි වීමට ඉඩ තිබේ. ඒ ථූපාරම දාගැබ් මලුවෙන් නැගෙනහිරට වන්නට පිහිටි කුඩා දාගැබ තවමත් ‘සංඝමිත්තා ස්ථූපය’ නමින් හඳුන්වමින් එය ඉදිරිපිට පුවරුවක් පවා සවි කොට ඇති බැවිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ අපට දැනගැනීමට හැකිවූයේ වර්තමාන බුදු සමය තුළ යළි ස්ථාපිත වන ‘භික්ෂූනී ශාසනය’ මුල් කොට එහි පරමාදර්ශය වන සංඝමිත්තා තෙරණිය මුල් කොට ගත් පූජනීය ස්ථානයක් පැවතීමේ වැදගත්කම සලකා එම ස්ථූපය අදටත් එනමින් හැඳින්වෙන බවකි.

ඒ අනුව අද වන විටත් ථූපාරාම දාගැබට දකුණින් දක්නට ලැබෙන මෙම කුඩා ගඩොල් ස්ථූප දෙක ‘පද ලස චේතිය’ වශයෙන් හැඳින්වීම මුලුමනින්ම පාහේ නතර වී තිබේ.

ඒ කෙසේ හෝ සම්මානිත පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් විසින් 2018 වසරේ රචිත “අනුරාධපුර මහා විහාරය” නම් අනගි කෘතියෙන් ඉහත සඳහන් වරද ඉතා පැහැදිලි ලෙස නිවරද කොට දක්වා ඇත.නමුදු තවමත් එම ස්ථූපය ජන සම්මත ජන සම්මාන වී ඇත්තේ ‘සංඝමිත්තා ස්ථූපය’ ලෙසිනි.

එවන් තත්වයක් යටතේ වුවද ඉහත සඳහන් ඓතිහාසික, සාහිත්‍යමය සහ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර සම්පිණ්ඩනය කරන්නකු හට දැනට ඉතිරිව පවතින එම පද ලස චේතිය දෙක මුල් කොට අනුරාධපුරයට ගොසින් වුව ශ්‍රීපාද වන්දනාවක් කිරීමේ කිසිදු අපහසුවක් පැන නොඟින බව මගේ වැටහීම ය.

සටහන සහ ඡායාරූප : තිලක් සේනාසිංහ

The post අනුරාධපුරයේ දීත් සිරිපා වඳින්න පුලුවන් ! appeared first on Sri News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here