අද සිට ලංකාවේ ක්‍රියාත්මක ඉන්දියාවේ UPI මුදල් ගනුදෙනු ක්‍රමය

0
6

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතයක් මගින් ගෙවීම් කටයුතු සිදු කරන UPI ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

මෙම ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම අද (පෙබ. 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

ජනාධිපතිවරයා පසුගිය දා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරට ත් ශක්තිමත් කරමින් මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

UPI (Unified Payments Interface) ලෙස හැඳින් වෙන මෙම ක්‍රමවේදය හරහා QR කේතයක් භාවිත කරමින් ගෙවීම් කටයුතු සිදු කළ හැකි ය.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට ඉලක්ක කර තිබේ.

ඒ අනුව පළමු පියවර වශයෙන්, වෙළෙඳසල් දස දහසක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමිව සිදු කෙරිණි.

තවදුරට ත් මෙම පහසුකම පුළුල් කරමින්, මෙම වර්ෂයේ මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසල් සංඛ්‍යාව හැට පන්දහසක් දක්වා ඉහළ නැංවීමට නියමිත ය.

එසේ ම, ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීම සඳහා සැලසුම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමග සම්බන්ධ වන බව ත් ඒ හරහා මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බව ත් ය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here