අද දවසට තමයි ලෝක පරිසර දිනය යෙදිලා තියෙන්නේ… මුළු පරිසරයම විනාශ කරන්න අනාගත ස…

0
13


අද දවසට තමයි ලෝක පරිසර දිනය යෙදිලා තියෙන්නේ…

මුළු පරිසරයම විනාශ කරන්න අනාගත සැකසුම් සකස් කරන අතරෙ අපි පරිසර දිනයකුත් මේ විදියට සමරනවා. අප අවට පරිසරය කියන මාතෘකාව පුංචි කාලෙ ඉඳන්ම පාඩම්වල පවා ඇතුලත් වෙලා තිබුණා ඔබට මතක ඇති. අප හා පරිසරය. මේ පාඩම් වලින් ඇත්තටම අපිට පරිසරය ගැන හැඟීමක් ඇති කලාද නැත්තම් ලකුණු වෙනුවෙන් විතරක්ම ද අපි මේ පාඩම් ඉගෙන ගත්තේ?

ඒ ගැන නම් මේ වෙද්දි අපි හැමෝටම තේරුම් යමින් තියනවා. රටේ ඉහළම තැන ඉඳන් පහලටම යනකම් වැඩිපුරම ඉන්නෙ පරිසරය විනාශ කරන්න තුඩු දෙන විදියෙ ක්‍රියාවලට අනුබල දෙන පුද්ගලයන්.

ඇයි මේ විදියට මිනිසුන් පරිසරය කෙරෙහි අසංවේදී වෙලා තියෙන්නෙ. පලවෙනියටම පරිසරය ගස්වැල් ජලය මේ හැමදෙයක්ම අජීවි දේවල් කියලා හිතන තත්වයක් ඇති වෙලා තියන එක එක හේතුවක්.

ජලයෙන් ඇති ප්‍රයෝජන, ගස්වලින් ඇති ප්‍රයෝජන මේ විදියට පෙළ පොත්වල ඇතුලත් කරලා තිබුණත් මේ හැම මාතෘකාවකින්ම ගන්න තියෙන්නෙ වාසි සහ ප්‍රයෝජන විතරයි. කෘතගුණ සැලකීමක් ගැන ස්තූතිවන්ත වීමක් ගැන එහෙම නැත්තම් ඒ ගස්වැල් වලට ආදරේ කරන හැටි ගැන එක පොතකවත් අපිට කියලා දීලා නෑ.

ඉතින් පොඩි දරුවන්ට මේ දේ දෙන්න ඕනම තැනින් ලැබෙන්නෙ නෑ. ගෙදර අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ගස්වැල් වලට පණ වගේ ආදරේ කරනවා නම් ආරක්ෂා කරනවා නම් පුංචිම දරුවා පවා පරිසරයට සංවේදී වෙන එක අහන්න දෙයක් නෙවෙයි.
අනාගතය වෙනස් වෙන්න නම් දැන් හැදෙන පුංචි අංකුර වලට මේ පරිසරය ගැන සහකම්පනය දැනෙන්න ඕන.

අපි පුංචි කාලෙ විජය පත්තරේ , මිහිර පත්තරේ, බිංදු පත්තරේ අපිව පරිසරයට පුදුම විදියට සමීප කලා. ඉතින් ඒකටත් පොත් කියවන්න ආසා විදියෙ දරුවෙක් බිහිවෙන්න ඕන. ඒ වගේම සිබිල් වෙත්තසිංහ නැන්දා වගේ ආදරණීය කතුවරු අපිව පරිසරයට ගොඩක් සමීප කලා.

මට මතකයි එතුමිය විජය පත්තරේටම ලියලා තිබුණා පුංචි කාලෙ බෝංචි ඇට හිටවලා පැල වෙනකම් බලන් ඉන්න විදිය. හැමදාම පුංචි බෝංචි අංකුරය ගොළුබෙල්ලෙක් කෑමට ගන්නවලු. නමුත් එහෙම වුනා කියලා ඇයට ඒ ගැන තරහක් ඇති වුනේ නෑ කීවා. මුලින් දුකක් හිතුනත් ඇය පසුව තේරුම් ගත්තාලු ඒ තමයි සොබාදහම.

අපිට උවමනා විදියට නෙවෙයි සොබාදහම හැසිරෙන්නෙ.
සොබාදහම වෙනස් කරනවා කියන්නෙ අපි අපිටම කරන ලොකු වැරද්දක්.
මේ පුංචි අත්දැකීම් ඇයව ඒ වගෙ ලස්සන ලේඛිකාවක් කරන්න ලොකු පිටුවහලක් වෙන්න ඇති.

පරිසර දිනය කියන්නෙ ගහක් හිටවන එක විතරක් නෙවෙයි. ලෝකයේ පරිසර විනාශය දිගින් දිගටම වෙන අතරේ දෙදහස් පන්සිය වසරක ඉතිහාසයක් තියන බෞද්ධ රටක් වන අපි ඉන්නෙ කොතනද කියලා හිතලා බලන්න. මොකක් හරි අවුල් සහගත දෙයකදී විතරක් බුදුදහම ඉස්සරහට ඇදලා ගන්න අපි ධර්මයේ අඩංගු කරුණු ගැන හරියට දැනුවත් ද කියලා හිතලා බලන්න.

බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයේ භික්ෂූන් වහන්සේලා ට පිඩුසිඟා වඩින එක අකැප බව සඳහන් කලේ ඇයි කියලා හොයලා බලන්න.
වැසි කාලයේ පොළොවෙන් මතුවෙන පුංචි පුංචි තණකොළ පැළෑටි පයට පෑගිලා විනාශ වෙලා යන එක වළක්වන්න ඒ වගේ ආචාර ධර්ම පද්ධතියක් පවා සකස් කරපු ධර්ම මාර්ගයක ගමන් කරනවා යැයි කියන අපි නිරන්තරයෙන් බුදු සරණයි! තෙරුවන් සරණයි! කියන අපි අපේ ජීවිත වලට බුදුදහම කොයිතරම් දුරට ඇතුල් කරගෙන තියනවාද කියලා අද වගේ දවසක තමන්ගෙ හදවතින්ම අහලා බලන්න. තමන් පරිසරය වෙනුවෙන් කරලා තියන දේවල් ගැන හදවතින් අහලා බලන්න.

පරිසරය වෙනුවෙන් කැපවෙන්න. ඔබට ඒ කුසලය නීරෝගී භාවය ඇතිවෙන්නම හේතුවක් වේවි.

බුදුරජාණන් වහන්සේ රුක්ඛ සූත්‍රයේදී ගස් වලට උපමා කරමින් දහම් කරුණු දේශනා කලා.
බුදුහාමුදුරුවො මේ සූත්‍රයේදී දේශනා කරපු උපමාවකින්ම ලිපිය අවසන් කරන්නම්..

“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ගස් වර්ග තියනවා. ඒවා මහා වෘක්ෂයෝ. විශාල ට වැඩෙන ගස්. බීජයේ පටන්ම ඇටෙන් පැලය ඇතිවූ මොහොතේ පටන් මහත් ආකාරයෙන් වර්ධනය වෙනවා. යම් ගසක් මත මේ කියන ලද ගහක් රෝපණයක් වුනොත් මූලික ගස සම්පූර්ණයෙන් විනාශ වෙලා කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පතිත වෙනවා. එහෙම නැත්නම් දිරාපත් වෙලා යනවා. ඒ විදියට වනාන්තරවල පවතින මහා ගස් පවා කඩලා බිඳලා විනාශ කර දමන්නට සමර්ථ වූ බීජයේ පටන්ම මහත් සේ වැඩෙන්නාවූ ඇතැම් ගස් වර්ගයෝ මේ ලෝකෙ විද්‍යාමාන වෙනවා.

ඔබත් සරු ගස් පිරිවරා පවතින සරු ගසක් වෙන්න..
සොබාදහමේ කොටසක් වෙන්න උත්සාහ කරන්න. ඔබට දැනට වඩා මහත්වූ ආශිර්වාදයක් නිතැතින්ම හිමි වේවි.

👩‍⚕‍ සටහන – මලිති රසාංජනා ඉලංකෝන්,
(BAMS(Ug) – කැළණිය විශ්වවිද්‍යාලය
🌍 www.helaarana.lk
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #ලෝක_පරිසර_දිනය #පරිසර_දිනය
#World_Environment_Day_2021
#WorldEnvironmentDay #WorldEnvironmentDay2021



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here