අඩුපාඩු හැදෙන්නේ ආදරෙන් කිව්වමද? ආඩපාලි කිව්වමද?

0
13


රැකියාවක් නොකළා වුණාට ගෘහණියක් විදියටත් මං කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුලත්වය ඇඟටවත් හිතටවත් පීඩාවක් කර නොගෙන සරලව දවස ගෙවන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. ඒ උත්සාහය ඊයේට වඩා අද සාර්ථකයි කියලා දැනුණාම මට ගොඩක් සතුටුයි. කොහොමද දන්නවද මම ඒක බලාගන්නේ? මගේ මී ටයිම් (Me Time) එක වෙනදාට වඩා විනාඩි පහකින් හරි වැඩිවෙලා නම් ඒ කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි කියන එක.

කාර්යබහුල දවස් ඇතුළේ වුණත් මං සැහැල්ලුවෙන්ම ඉන්නේ දහම් ගෙදර ඉඳිද්දී. අපේ ඔයා මේක කරන්න, මං මේක කරන්නම්, මං උයන්නම්, ඔයා ඉඳුල් හෝදන්න, ඔයා රෙදි වේලෙන්න දාන්න, මං නවන්නම් වගේ වැඩ බෙදාගෙන නෑ. මං මගේ ගෙදර හැම වැඩක්ම සතුටින් කරනවා. මං සතුටෙන් වැඩ කරද්දි දහම් ඉබේම ඇවිත් පොඩි පොඩි උදව් කරනවා. ඔයා මේක කරන්නම ඕනේ කියලා මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ හින්දාමද මන්දා එයාගෙන් උදව්වක් ලැබෙද්දි මට ලොකු පහසුවක් දැනෙනවා. ඉතින් පුංචි හාද්දකුත් දීලා ඔයා හින්දා අද වැඩ ටික කරගන්න ලේසි වුණා කියලා මං එයාට කියනවා.

දහම්ගෙන් ලැබෙන පුංචිම හරි සහයෝගයක් අගය කරන්න ලැබෙන එක අවස්ථාවක්වත් මං මගහැරගන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ වගේ පුංචි අගය කිරීම්වලින් අපේ ආදරේ අලුත් වෙනවා කියලා මට දැනිලා තියෙනවා.

ඉතින් දිගින් දිගටම මගේ ලිපි කියවන නිසා ඔයාලා දන්නවානේ මං ඉන්නේ ජපානේ කියලා. ජපානේ ජීවත්වෙන්න අරන් දැන් අවුරුදු දොළහක්. මේ කතාව ටිකක් ලැජ්ජා වෙන්න ඕන කාරණාවක් වුණත් ඒ ගැන කියන්නම වෙනවා. ඒ තමයි අවුරුදු දොළහක් ජපානෙ ඉඳලත් මට තවම ජපන් භාෂාව කතා කරන්න බෑ කියන එක. මට ඒ භාෂාව ඉගෙනගන්න වැඩේ ටිකක් අමාරුයි. උත්සාහ කළත් මතක හිටිනවා අඩුයි. හැබැයි දරුවෝ ලැබිලා එයාලා ඉස්කෝලේ යන්නත් ගත්තාම ජපන් භාෂාව බැරි එක ලොකු අඩුපාඩුවක් විදියට මට දැනෙන්න ගත්තා. ඉස්සරනම් දහම් ඕකට පොඩි පොඩි නෝක්කාඩු කියනවා. හැබැයි දැන් දරුවන්ගේ හෝම්වර්ක්වල වුණත් මට නොතේරෙන තැන් දහම් බලලා කරනවා මිසක් එයා මට බණින්නේ නෑ.

ඉතින් මං එයාගෙන් දවසක් ඇහුවා, ළමයින්ගේ වැඩ, ඉස්කෝලේ දේවල් හොයලා බලලා හෝම්වර්ක් කරවන්නේ අම්මා වුණාට අපේ ගෙදර වෙනස්නේ. ඔයා තමයි ඒවා ඔක්කොම කරන්නේ. ඒත් ඔයා මට වචනයක්වත් කියන්නේ නෑ කියලා.

එතකොට දහම් මට කිව්වා, දරුවෝ අපි දෙන්නාගෙම. ඒවා මං කරත් ඔයා කරත් දෙකම එකයි. අනික ඔයාට ඒවා පොඩ්ඩක් අමාරු භාෂාව බැරි නිසානේ. නැත්තම් ඔයා ඒකත් කරනවා කියලා මං දන්නවා. මං ඔයාට ඉගෙනගන්න කිව්වට ඔයාට ඒක අමාරුයි කියලා මට තේරෙනවා. ඉතින් මං ඒකට ඔයාට බැනලා වැඩක් නෑනේ බබා. ඒකයි දරුවන්ගේ ඔයාට කරන්න අපහසු දේවල් ඔයාගේ ඔලුවට බරක් වෙන්න නොදී මං කරන්නේ. ඔයාට බැරිම නෑනේ, මං ගෙදර නැති දාට ඔයානෙ ඔක්කොම හෝම්වර්ක් කරවන්නේ. මට ඔයා මේ කරන දේවල් ඇති. ඔයාට අමාරු කොටස මං කරනවා එච්චරයි. ඒක ඔයාගේ වැරැද්දක් කියලා හිතන්න එපා. ඔයා කරන දේවල් අපේ පවුල වෙනුවෙන් මට හොටම ඇති. අනික අම්මා තමයි කුස්සියේ වැඩයි, දරුවන්ගේ වැඩයි කරන්න ඕනේ කියලා මිනිස්සු එක එක මත හදාගත්තාට, මං එහෙම නෑ කියලා ඔයා දන්නවානේ. ඔයා ලොකුවට ඔලුවට බරක් කරගන්නේ නැතුව ජපන් ඉගෙනගන්න. ඔයාට පුළුවන්. මං ඉන්නවානේ කිව්වා.

මට ජපන් භාෂාව බෑ කිව්වාම ගොඩක් අය අහන්නේ කොහොමද දරුවන්ගේ හෝම්වර්ක් කරවන්නේ, ඉස්කෝලේ වැඩවලට යන්නේ කියලා. මං එතකොට කියනවා දහම් ඒවා කරනවා කියලා. මුලදි මං ඒක ලැජ්ජාවෙන් කිව්වේ. ඒත් දැන් මට ඒක කියන්න ලැජ්ජාවක් නෑ. මට ජපන් බැරි එක අඩුපාඩුවක් නෙවෙයි. ඒකත් තවත් එක භාෂාවක් විතරයි කියලා මගේ හිත ශක්තිමත් කරේ දහම්. ඒ නිසාම මං එච්චර ප්‍රිය නොකරපු ජපන් භාෂාව ඉගෙනගන්න මට ලොකු ආසාවක්, උනන්දුවක් ඇති වුණා.

දහම් මගේ ඒ නොහැකියාව අඩුපාඩුවක් විදියට දැකලා ඒකට බැන්නා නම්, මට ආසාවෙන් උවමනාවෙන් ජපන් ඉගෙනගන්න හිත දෙන්නේ නෑ. ඒත් එයා මට ඒක ආදරෙන්ම ලස්සනට තේරුම් කරා.

අපේ පවුල් ජීවිත ඇතුළේ සැමියාගේ බිරිඳගේ අඩුපාඩු ඕනතරම් තියෙන්න පුළුවන්. වැඩ බෙදානොගෙන කවුරු කරත් ඒක කරන්නේ අපේ පවුල වෙනුවෙන් කියලා හිතුණ දාට පවුල් ජීවිතේ තව ලස්සන වෙනවා.  අඩුපාඩුවලට ආඩපාලි නොකියා, බිරිගෙන් වගේම සැමියාගෙන් පවුලට වෙන හොඳ පැත්ත මතක් කරලා ප්‍රසංශා කරාම අඩුපාඩුවක් හදාගන්නත් හිතට ලොකු උනන්දුවක් එනවා. මගේ අඩුපාඩුව ආසාවෙන් හදාගන්න හිතෙන විදියට උනන්දුව මට ඇති කරේ දහම්ගේ ආදරේ. ඔයාගේ මහත්තයාගේ වුණත් පුංචි අඩුපාඩු එයාම ආසාවෙන් උනන්දු වෙලා හදාගන්න තැනට ගේන්න ඔයාට පුළුවන්. ඒකට ඕනේ ආදරේ විතරමයි.

හෂීණී මනමේන්ද්‍ර



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here